මහලු භික්ෂුවක් සහ සාමණේර භික්ෂුවක් එක විහාරයක වාසය කළා. මේ මහලු භික්ෂුව සාමණේර භික්ෂුවගේ ගුරුහිමියෝ වුණා. ඒ වුණාට මහලු භික්ෂුව නිතර ගෝල භික්ෂුවට සැරවැර කළා. තලාපෙලා වැඩ ගත්තා. සාමණේර භික්ෂුව අමාරුවෙන් ඒවා ඉවසාගෙන උන්නා. එහෙත් මහලු භික්ෂුවගේ සැරවැර අඩු වුණේ නෑ. එන්න එන්නම වැඩි වුණා. බැරිම තැන සාමණේර භික්ෂුව සිවුරු හැර ගියා.
මහලු භික්ෂුව තනිවුණා. ගෝලයා නැතිව කිසිම දෙයක් කරගන්න බැරිව ගියා. තනිකම පාළුව දැනුණා. මහත් සේ දුක් වුණා. ගෝලයා සොයාගෙන ගියා. හමුවුණා. එන්න විහාරයට යන්න. නැවත පැවිදි කරන්නම්. මගෙනුත් වැරදි සිදුවුණා තමයි. ඊට සමාවෙන්න. මම ඔබේ ගුරුවරයානේ. පහුගිය දේවල් අමතක කොට එන්න යන්න යැයි ඇවිටිලි කළා.
බෑ. මට එන්න බෑ. ඔබවහන්සේ හරිම දරුණුයි. නිවැරැද්දේ මට ගුටි කන්න බෑ. ඔබ වඩින්න. මට එන්න බෑ. ඒ සාමණේර භික්ෂුව කිව්වා.
ගුරුහාමුදුරුවෝ පසුබට වුණේ නෑ. ගෝලයාට නොයෙක් බස් දොඩා විහාරයට එක්ක යන්න උත්සාහ ගත්තා.
ගෝල භික්ෂුවට ගුරුහිමියන් ගැන දුක හිතුණා. යළිත් විහාරයට ගියා. පැවිදි වුණා.
ටික දිනක් ගෙවුණා. ගුරුහාමුදුරුවෝ නැවත සැරපරුෂ වුණා. සුළු වැරැද්දකටත් පහර දුන්නා.
සාමණේර භික්ෂුවට විහාරය එපා වුණා. යළිත් සිවුරු හැරදමා ගියා.
මහලු ගුරුහිමියෝ යළිත් අසරණ වුණා. දුක් වුණා. ගෝල භික්ෂුව සොයා ගියා. යළි එන්න කියා කන්නලව් කළා.
මට ඔබ සමඟ වසන්න බෑ. ඒ නිසා යළිත් එන්නේ නෑ. යළි මහණ වෙන්නෙත් නෑ. මට කරදර නොකර ඔබවහන්සේ ආපසු වඩින්න කිව්වා. හේ ගුරුහිමියන් මගහැර ගියා. මහලු භික්ෂුව බොහෝම දුකින් ආපසු වැඩියා.
මෙම සිදුවීම සංඝයා වහන්සේලා දම්සභාවේ සාකච්ඡාවට ගත්තා. බුදුන් වහන්සේට එය ඇසී, මහණෙනි! දැන් මතුනොව පෙරත් ඔය දෙන්නා විරසක වී එකට වාසය නොකර වෙන්ව ගියා යැයි පවසා මෙම කතාව වදාළා.
දඹදිව එදා තිබුණු හොඳම වෙළෙඳ නගරය බරණැසයි. දුර බැහැරින් වෙළෙන්දෝ එහි ආවා. එකල එම නුවර පුරා දිවා රැයේ සැණකෙළි තිබුණා. එ නුවර පුරා ජනතාව දිනපතා පිරී ඉතිරී ගියා. මේ වෙළෙඳුන් අතර වී වෙළෙඳාම් කරන්නෙක් උන්නා. ඔහු සාධාරණ කෙනෙක්. හැමදෙනාටම හිතවත්. කාටත් උදව් උපකාර කළා. එම නිසා ඔහු වෙත පිළිසරණ පතා එන අය අපමණයි.
මෙම වෙළෙඳ පුරයේ නයකු සහ වඳුරකු නටවන්නෙක් උන්නා. ඒ වඳුරා පුදුම සතෙක්. නැටුමට හපනෙක්. ඒ වාගේම හාම්පුතාටත් හරිම ආදරෙයි. නයා එසේ නොවේ. ඌ හාම්පුතාගේ අණට නැටුවා විතරයි. ලෙන්ගතුකම් පාන්න ගියේ නෑ.
මේ නයි නටවන්නා මත්පැන් බීමට වගේම සූදුවට ලොල් වූවෙක්. එක් දිනක් ඔහුට බලාපොරොත්තු වූ නැති ලෙසට ආදායම ලැබුණා. එම නිසා සූදුවට යෑමට සිතුණා. නයා පෙට්ටියක දමා වැසුවා. වඳුරා අරගෙන වී වෙළෙන්දා ළඟට ගියා. මම ඉක්මනට එනවා. එතකම් මේ නයි පෙට්ටියයි වඳුරයි බලාගන්න කිව්වා.
වී වෙළෙන්දා ඔහුගේ ඉල්ලීම ඉටුකළා. වඳුරා සහ නයි පෙට්ටිය භාරගත්තා. නයි පෙට්ටිය පැත්තකින් තැබුවා. වඳුරාට නිදැල්ලේ ඉන්න ඉඩ හැරියා.
නයි නටවන්නා මත්පැන් හලට ගියා. හොඳ හැටියට මත්පැන් බිව්වා. සූදුවට ගියා. ඔට්ටු අල්ලන්න පටන් ගත්තා. ඔහු වෙරි මතින් ඇල්ලූ සියලු ඔට්ටු පැරදුණා. මුදල් පසුම්බිය සිඳුණා. එතැනින් නැගිට ආපසු ආවා ඒ වුණු පාඩුව ගැන හිත හිතා.
වඳුරා හාම්පුතා නැතිව කනගාටුවෙන් උන්නේ. හාම්පුතා එනවා දැක්කා විතරයි ඉදිරියට දිව්වා. ඇඟට පැන්නා. සිදුවුණු පාඩුව නිසා කෝපයෙන් උන් ඒ මිනිසාට වඳුරා ඇඟට පැනීමෙන් කෝපය ඉහවහ ගියා. වඳුරා බිමට ඇද දැමුවා. කනෙන් අල්ලගත්තා. අසල තිබූ උණ පතුරක් අහුලගත්තා. වඳුරාට ගහගෙන ගහගෙන ගියා. ඌ කෑගැසුවා. අතහැරියේ නෑ. ඒ මිනිහා කෝපය නිමවනතුරු වඳුරාට පහර දුන්නා. ඊට පස්සේ ලණුවක් ගෙන ගසක බැන්දා. එදින රාත්‍රියම ඒ ගස ළඟ ඌ වේදනා වින්දා.
පසුදින ඔහු නයි පෙට්ටිය ගත්තා. වඳුරා ලිහාගත්තා. ගම රට බලා පිටත් වුණා. වඳුරා ඔහු පස්සෙන් ගියේ සතුටකින් නොවේ. තරහෙන්. එසේ සෑහෙන දුරක් ගියා. මිනිසාට වෙහෙස දැනුණා. යන මඟ අයිනේ කැලෑරොදක් හමුවුණා. එහි අතුපතර විහිදුණු අඹ ගසක් තිබුණා. මේ මිනිසා ඒ ගස යටට ගියා. වඳුරා අසල කුඩා පඳුරක ගැටගැසුවා. නයි පෙට්ටිය පැත්තකින් තැබුවා. අඹ ගස යට ඇළවුණා. වෙහෙස නිසා ඔහුට නින්ද ගියා.
වඳුරා එය දුටුවා. හෙමින් සැරේ ලණුව ලිහාගත්තා. අඹ ගහට නැග්ගා. අඹ කඩා කෑවා. ඇටවලින් හාම්පුතාට දමා ගැසුවා. ඒවා වැදීමෙන් නයි නටවන්නා ඇහැරුණා. උඩ බැලුවා. වඳුරා ගස උඩ. ඒ මදිවාට විරිත්තනවා. ඉක්මනට ඔහු නැගිට්ටා. පුතා මටත් ඉදුණු අඹ ගෙඩියක් අරන් බහින්න. පමාවුණා. අපි ගෙදර යමු. එන්න පුතා. එන්න කිව්වා.
ඔබ තනියම යන්න. මම ඔබට යළි උදව් කරන්නේ නෑ. ඔබත් එක්ක එන්නෙත් නෑ. මෙතෙක් කල් මම ඔබට රැවටුණා. මගේ හාම්පුතා කියා ගරු කළා. කියන කියන දේ කෙරැවා. එහෙත් ඔබ කෙළෙහි ගුණ දන්නේ නෑ. වඳුරා කිව්වා.
නයි නටවන්නාට කාරණය වැටහුණා. වඳුරා කෙසේ හෝ අල්ලා නොගත්තොත් රස්සාව කරලා හමාරයි. ඔහුට හිතුණා.
ඇයි පුතා මට ඔහොම කතා කරන්නේ. මම ඔබට ඉතා හොඳට සැලකුවා නේද?
මම මෙහෙම කතා කරනවා හොඳ වැඩියි. ඊයේ ඔබ පමාවුණු නිසා මම දුක් වුණා. කුමක් හෝ කරදරයක් වුණා යැයි සිතුවා. පාර බලා හිටියා. ඈත ඔබ එනවා දකින විට ලොකු සතුටක් දැනුණා. ඉවසුම් නැතිව ගියා. දුවගෙන ගොස් ආදරයෙන් ඔබේ ඇඟට පැන්නා.
එහෙත් ඔබ මට කළේ කුමක්ද? මම කෑගසද්දී ඇඟෙන් ලේ පනිනතුරු පහර දුන්නා. බැණ වැදුණා. කන්න බොන්න දුන්නේ නෑ. ගහක බැන්දා. ඒ ගැසූ පහරවල වේදනාව තාම මට දැනෙනවා. ඉතින් කොහොමද ඔබ විශ්වාස කරන්නේ.
හා.. හා.. එහෙම කියන්න එපා පුතා. මගේ ආදරය පෙර වගේම ඔබට තියෙනවා. හොඳ පුතා වගේ බිමට බහින්න. මට ඔබ නැතිව ඉන්න බෑ. ඉක්මනට බහින්න.
අනේ... අනේ.. ඔබේ ඔය චාටු බස්වලට යළිත් මම රැවටෙන්නේ නෑ. යන අතක් බලා යන්න. වඳුරා කිව්වා. ගසේ අත්තක් දිගේ කෙළවරට ගියා. වෙනත් ගහකට පැන්නා. එසේ ගහෙන් ගහට පැන නොපෙනී ගියා.
නයි නටවන්නා ඒ දෙස දුකින් බලා උන්නා. නයි පෙට්ටිය කරේ එල්ලාගත්තා. ගමරට බලා කම්පා වෙවී ගියා. ඒ නයි නටවන්නයි වඳුරයි තමයි අද ඔය මහලු භික්ෂුවයි සාමණේර භික්ෂුවයි. බුදුහු වදාළා.
අහිගුණ්ඨික ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක