දේවදත්ත හිමියන් නාලාගිරි ඇතු ලවා බුදුන් වහන්සේ නැසීමට ගත් උත්සාහය අසාර්ථක වූ විටදී කවුරුත් පුදුමයට පත් වුණා. මේ ස්ථවිර තථාගතයන් වහන්සේ නසන්නට මොන මොන ක්‍රම යෙදවූවාද? ඒ සියල්ලම අසාර්ථකයි. එහෙත් ඒ ස්ථවිර අදහස අතහරින්නේ නැති හැටි. පුදුමයි. යනුවෙන් දම්සභාවට රැස් වූ භික්ෂූන් සාකච්ඡා කළා. ඊට සවන් දී සිටි බුදුරජාණන් වහන්සේ ඔය දේවදත්ත ස්ථවිර එක් කලකදී මගේ හෘදය ගලවා ගැනීමටත් උත්සාහ ගත්තා යැයි වදාළා.
ස්වාමිනී! ඒ කෙසේදැයි අපට වදාරන මැනවි. භික්ෂූන් ඉල්ලා සිටියා.
එවිට බුදුරජාණන් වහන්සේ මෙම කතාව වදාළා.
කසී රට එදා එක පැත්තක කැලෑවක් තිබුණා. ඒ කැලය මැද්දෙන් ගඟක් ගලා ගියා. එහි කිඹුල්ලු ජෝඩුවක් උන්නා. උන් ඉතා සතුටින් ජීවත් වුණා.
මේ ගඟේ එක ඉවුරක වඳුරෙක් වාසය කළා. ඌ රැළෙන් වෙන්වූ එකෙක්. ඇඟපතද ආරා තිබුණා. ඒ වගේම කෙළිලොල් එකෙක්. වැඩිපුරම උන්නේ ගඟ ඉවුරේ ගස් අතර. එහෙත් කිසිම සතකුට කරදරයක් හිරිහැරයක්. කළේ නෑ.
කිඹුල්ලු ජෝඩුවද නිතර වඳුරා දැක්කා. ඌ අත්තෙන් අත්තට පනින හැටි බලා උන්නා. ඉන් සතුටක්ද ලැබුවා. මෙසේ ටික කලක් ගෙවී ගියා.
හිටිහැටියේම කිඹුල් දෙනට දොළදුකක් ඇතිවුණා. ඒ මේ වඳුරාගේ හදවත කෑමට. ඒ බව කිඹුලාට කිව්වා.
ඌ විස්මයට පත් වුණා. මෙසේ කිව්වා.
ඔබට ඇතිවී තිබෙන්නේ පුදුම දොළදුකක්. එය සංසිඳවන්න හරිම අපහසුයි. නිකමට හිතන්න අපි ජලයේ වසන්නෝ. වඳුරා ගොඩබිම ගස් උඩ වසන්නෙක්. මා කෙසේ උගේ හදවත ගෙන එන්නද?
ස්වාමිනී! අසුභව නොහිතන්න. උත්සාහ ගන්න. ඔබ දන්නා උපා යොදන්න. එවිට වඳුරා රවටාගෙන එන්න බැරිවෙන එකක් නෑ. කිඹුලිය කිව්වා.
කිඹුලා නිහඬව අසා උන්නා. ඒ කියමනේ ඇත්තක් තිබෙන බව සිතුණා. ඌ වඳුරා ඉන්න ගං ඉවුරට ගියා. ඉවුරට ගොඩ වුණා.
වඳුරා කිඹුලා දුටුවා. ගසෙන් ගසට පැනගෙන කිඹුලා උන් තැන ගසට ආවා. ගස උඩ ඉඳන් කිඹුලා දෙස බැලුවා. කිඹුලාත් වඳුරා දෙස බැලුවා. වඳුරා ගසේ පහළ අත්තට ආවා.
කිඹුලා දුකින් වගේ වඳුරා දෙස බලා උන්නා.
මිතුර! ඔබ මොකද මෙතැනට වෙලා? වඳුරා ඇසුවා.
කිඹුලා කතා නැතිව වඳුරා දෙස බලා හිටියා.
මිතුර! කතා කරන්න. ඇයි මා දෙස දුකින් වගේ බලා ඉන්නේ?
උතුමාණෙනි! ටිකක් විවේක ගන්න මෙතැනට ආවේ. ඒ වුණාට ඔබතුමා දකින විට මට දුකක් ඇතිවුණා.
ඒ මොකද?
බලන්න. මේ පැත්තේ කොතරම් ආහාර හිඟද? සෑහෙන මහන්සියක් ගන්නවා නේද කෑම ටිකක් සොයාගන්න.
ඒක නම් ඇත්ත තමයි. මිතුර! ඉතින් මොනවා කරන්නද?
ඒකටත් එක්ක ගඟෙන් එයා පැත්තේ කැලය බලන්න එපායැ. උතුමාණෙනි! මිහිරි පලවැල ඕනෑ තරම්. කන්න කෙනකු නැතිව ගස් යට වැටිලා කුණු වෙනවා. දුකේ බෑ.
ඒ ගැන කතා කරලා පලක් නෑ මිතුර, ගඟ විශාලයිනේ. මට එතෙරට පනින්න බෑ. කරන්න තියෙන්නේ හූල්ල හූල්ල ඉන්න එක විතරයි.
එහෙම හිතන්න එපා. ඔබතුමා කැමැති නම් මට පිළිවන් පිටේ තබාගෙන එතෙරට ගිහින් ඇරලන්න.
එහෙම හොඳද? ඔබට කරදරයක් කරන එක? මම කැමති නෑ එහෙම කරන්න.
මොනවද මේ ඔබතුමා කියන්නේ? ඔබ වැනි කෙනකුට උදව්වක් කිරීම කරදරයක් වන්නේ කොහොමද? ඒක මට ලොකු සතුටක් මිසක්. එන්න නගින්න පිට උඩට.
අනේ මන්දා, කමක් නෑ. මම මෙහේ ඉන්නම්.
මොනවද මේ කියන්නේ? එන්න යන්න.
එහෙම නම් යමුකෝ බලන්න. වඳුරා කිව්වා. ගසෙන් බැස්සා. කිඹුලාගේ පිට උඩට නැග්ගා. කිඹුලා වඳුරාත් අරන් එතෙරට පීනන්න වුණා.
උන් ගඟ මැදට ආවා. කිඹුලා දිය යට ගිලෙන්න හැදුවා.
හා.. හා.. මේ මොකද කරන්න හදන්නේ? වඳුරා ඇසුවා.
කිඹුලා සිනාසුණා. වඳුරෝ කරන්න හදන දෙය තේරෙන්නේ නැද්ද? එහෙනම් අහගනින්. මා ඔබ ගෙන ආවේ එතෙරට ගෙනියන්න නොවේ. අනෙක ඔබ එතෙර ගෙන යන්න මට තියෙන රැදාව මොකක්ද? ඔබ මගේ කවුරුද? මට ඕනෑ කළේ ඔබ රවටාගෙන ගඟ මැදට අරන් එන්න. මගේ බිරියට ඔබේ හදවත කන්න දොළදුකක් හැදිලා. මෝඩ වඳුරා ඔබ මට රැවැටුණා. කිඹුලා කිව්වා.
වඳුරාට තැනට සුදුසු නුවණ පහළ වුණා. ඌ හඬ නගා සිනාසුණා. කිඹුලා විස්මයට පත් වුණා. ඇයි ඔබ මරණය පෙනි පෙනී හිනැහෙන්නේ? ඇසුවා.
අනුවණ කිඹුලෝ මා මැරුවාට මගේ හදවත ගන්න ලැබෙන්නේ නෑ.
ඒ මොකද?
තොපගේ මෙන් ශරීරය තුළ වඳුරන්ගේ හදවත නෑ.
එතකොට හදවත තියෙන්නේ කොහේද?
අර බලපන් අර ඈත දිවුල් ගසේ උඩ දිවුල් ගෙඩියක් වගේ වැනෙන්නේ. ඒ තමයි මගේ හදවත.
අනේ වඳුරු උතුමාණෙනි! මට සමාවෙලා ඒ හදවත ගෙනත් දෙන්න.
මේ ගඟ මැද ඉඳන් මම කොහොමද එතැනට යන්නේ?
හරි ඔබ උන් තැනටම ගෙන යන්නම් කී කිඹුලා වඳුරත් අරන් ආපසු පීනුවා. වඳුරා ඉවුරට ළඟාවෙනකොට ගොඩට පැන ගසකට නැග්ගා. කිඹුලාට මෙසේ කිව්වා.
කපටියා මා රවටා ගඟ මැදට ගෙන ගොස් මා මරන්න හැදුවා. තැනට සුදුසු නුවණින් මා ප්‍රයෝජන ගත්තා. මෝඩයෝ වඳුරන්ට කියා වෙනසක් නෑ. හදවත හැම සතකුගේම ඇත්තේ තොපගේ මෙන් ශරීරය තුළයි. එය හිතන්න තොපට බැරිවුණේ කපටිකම වැඩි නිසා. කපටිකම වැඩි වුණාම ඉක්මනින් රැවටෙනවා කිව්වා.
ඒ අසා උන් කිඹුලා ලජ්ජාවට පත්ව ගඟට පැන්නා.
එ දවස කිඹුල් දෙන චිංචිමානවිකාව. කිඹුලා දේවදත්ත. වඳුරා බුදු වූ මම යැයි බුදුන් වදාළා.
(සුරසුමාර ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක