බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩවසන සමයේ එක් භික්ෂුවක් දැඩි ලෙස ලෝභ වී වාසය කළා. මේ භික්ෂුවට වැඩිහිටි භික්ෂූන් වහන්සේලා නිතර අවවාද කළා. ඔබ ඔය ලෝභ ගතිය අතහරින්න. අපි ලෝභය නැති කරන්න පැමිණි අයයි. නිර්වාණ මාර්ගය අවබෝධ කර ගන්න උත්සාහ කරන අය. ඉතින් ඔබට ඔය ලෝභය නිසා ඒ උතුම් මාර්ගයට පිවිසෙන්න කිසිදාක ලැබෙන්නේ නෑ යනුවෙන් පැහැදිලි කළා.
ඒ ඔවා එම භික්ෂුව පිළිගත්තා. එහෙත් දින කිහිපයක් ගතවූ විට ඔවදන් අමතක වුණා. සුපුරුදු ලෝභකමින් කල් ගෙව්වා.
වැඩිහිටි භික්ෂූන් දැනගත්තා මේ භික්ෂුවට අවවාද අනුශාසනා කිරීමෙන් පලක් නැති බව. ඉන්පසු ඔවදන් දුන්නේ නෑ. බුදුරජාණන් වහන්සේට භික්ෂුව ගැන දැන්වූවා. බුදුන් වහන්සේ භික්ෂුව කැඳවූවා.
මහණ! ඔබ දැඩි ලෙස ලෝභයෙන් ජීවත් වන්නේද? විමසුවා.
එසේය ස්වාමිනී!
ඒ ගැන වැඩිහිටි හිමිවරුන් අවවාද කළා නේද?
එසේය ස්වාමිනී!
ඇයි ඉතින් ලෝභය අතහරින්න බැරි?
ස්වාමිනී! මම කොතෙක් උත්සාහ කළත් ඒ නරක පුරුද්ද අතහරින්න බෑ. ඉබේම ඊට පෙළඹෙනවා.
බුදුරජාණන් වහන්සේ අනෙක් භික්ෂූන් අමතා මහණෙනි! මේ භික්ෂුව පෙරත් ඔය ලෝභ ගතිය නිසා දුකට පත්වුණා යැයි වදාළා.
ස්වාමිනී! ඒ විස්තරය අපට වදාළ මැනවි. ඒ භික්ෂූන් ඉල්ලා සිටියා.
බුදුරජාණන් වහන්සේ එවිට මේ කතාව වදාළා.
එදා බරණැස් නුවර විශාල සිටුපායක් තිබුණා. එම පායේ මුළුතැන්ගෙයි බිත්තියක පරෙවියෙක් වාසය කළා. බරණැස් වැසියෝ එදා කුරුල්ලන්ට ආදරය කළා. අබ මල් රොනක තරමේවත් හිංසාවක් කළේ නෑ. දාන පවා දුන්නා
මේ සිටුපායේ මුළුතැන්ගෙයි ආහාර වර්ග බහුලව තිබුණා. ඒ අතර නොයෙක් ධාන්‍ය වර්ග ද වුණා. පරෙවියා නොවේ ඒ දෙසවත් බැලුවේ. ඌ අසරණ ලෙස කෑම සොයාගෙන කෑවා. ඒ නිසා මුළුතැන්ගෙයි අරක්කැමියා ද පරෙවියා ඉන්නවාට අකැමැති වුණේ නෑ. මේ අතර දිනක් කපුටෙක් අහම්බෙන් වගේ සිටුපාය පැත්තට ආවා. එහි ඉදෙන ආහාර සුවඳට ඌ වහ වැටුණා. මුළුතැන්ගෙය වටා කරකැවුණා. පලක් වුණේ නෑ. අරක්කැමියා උන්නා. ඒ මිනිහාගේ පෙනුමත් දරුණු පෙනුමක්. කපුටා බිය වුණා. ළඟ තිබූ ගසක් උඩට නැග්ගා. කල්පනා කරමින් උන්නා. සෑහෙන වෙලාවක් ගතවුණා. ඒ සමඟ පරෙවියා ද පියාඹා ආවා. ඌ කෙළින්ම නවාතැනට ගියා. කපුටා හෙමින් හෙමින් එතැනට ගියා.
පරෙවියා බිය වුණා. ඒ බව පෙන්නුවේ නෑ. රවා බැලුවා. මෙසේ කිව්වා. ඔබ ඇයි මෙතැනට ආවේ? යන දිහාවක යන්න.
එහෙම කියන්න එපා. උතුමාණෙනි! මා අසරණ වෙලයි ඉන්නේ. මට පිහිට වන්න. ඔබ ළඟ මටත් නවතින්න ඉඩ දෙන්න.
අපෝ බෑ බෑ.. කොහෙත්ම ඒක කරන්න බෑ. හිටිය දිහාවකට යන්න. මට කරදර කරන්න එපා.
උතුමාණෙනි! මට අනුකම්පා කරන්න.
මිතුර! එකවරක් කී දෙයම තමයි තවදුරටත් කියන්නේ. මෙතනින් යන්න. වෙන අතක් බලාගන්න.
උතුමාණෙනි! මම කියන දෙයත් අහන්න. කෙනකු අසරණ වුණාම ඔහොම සලකන්න එපා. උපකාර කරන්න. මට සුළු ඉඩක් දෙන්න. මම ඔබට යටහත්ව ඉන්නම්.
යහළුව! තොප වෙනත් වර්ගයක. අපි වෙනත් වර්ගයක. හැඩරුව සහ ගන්න ආහාර පවා වෙනස්. තොප ළඟ නිතර ඇත්තේ සොර සිත. එය වෙනස් කරන්න බෑ. මේ පායේ මස් මාළු බහුලව තියෙනවා. ඒවාට කපුටෝ කෑදරයි. යම් විටෙක තොප ඒවා සොරාකෑවොත් මටත් මෙහි ඉන්න ලැබෙන්නේ නෑ. එබැවින් මිතුර තරහ වන්න එපා. නවාතැන් දෙන්න බෑ.
අනේ උතුමාණෙනි! අපේ අනෙක් අය වගේ නොවෙයි මම. මා ගැන විශ්වාස කරන්න. මම සිටුපායේ ඇති කෑම දිහා බලන්නෙවත් නෑ. ඔබතුමා සමඟ කෑම සොයා එන්නම්. මට නවතින්න පමණක් ඉඩ දෙන්න. ඌ කිව්වා.
පරෙවියාට දුක හිතුණා. කපුටාට නවාතැන් දුන්නා. පසුදින සිට දෙන්නා එකට කෑම සොයා ගියා. උන් සැන්දෑවට එකට ආපසු ආවා. මුළුතැන්ගෙයි බිත්තියේ ලැග්ගා.
කාලය එසේ ගෙවී ගියා. සිටුපායේ උත්සවයක් පවත්වන්න සිදු වුණා. ඒ වෙනුවෙන් මස් මාංශ වෙනදාට වඩා ගෙන ආවා. පෙරදින රැයේ අරක්කැමියා ඒවා සකස් කළා. භාජනයක දමා වැසුවා. ඒ පසුදින වෙලාවට ගන්න. ඒ මාංශවලින් පිටවුණු සුවඳට කපුටා වශී වුණා. සොරාකෑමට හිත දුන්නා. එහෙත් පරෙවියා නිසා එය කරන්න බෑ. ඉවසාගෙන උන්නා. පසුදා පහන් වුණා. පරෙවියා කෑම සොයා යෑමට සැරසුණා. කපුටා නිදි. යහළුවා නැගිටිනවා. කෑම සොයා යන්නේ නැද්ද?
මට හරි අමාරුයි. බඩේ අමාරුවක්. පස්සෙ එන්නම් කිව්වා.
පරෙවියා සිනාසුණා. අනේ යහළුවා කපුටන්ට බඩේ අමාරු හැදුණේ කවදද? උන් කන ජරාවට බඩවල් පුපුරන්න එපායැ. බොරු නැතිව එනවා යන්න.
බෑ උතුමාණෙනි! මම තව ටිකක් නිදාගන්නවා.
නිදාගත්තට කමක් නෑ. සිටුපායේ කෑම සොරා කනවා නොවෙයි කී පරෙවියා කෑම සොයා ගියා.
සිටුපායේ අරක්කැමියා පිළියෙල කර තිබූ මස් මාංශ ලිප මත තැබුවා. ඒවා ඉදෙන විට ආ සුවඳට කපුටා හොඳටම වශී වුණා. ඉදුණු මාංශ අරක්කැමියා ලිපෙන් බෑවා. උණුසුම යන්න භාජනයේ පියන භාගෙට ඇරියා. ටිකක් විවේක ගන්න එළියට ගියා.
මේ අතර කපුටා ඉගිල ගොස් මාංශ බඳුනේ වැසුවා. උගේ නරක වෙලාවට එම පියන බිම වැටුණා. ඉන් හඬක් ආවා. අරක්කැමියා වහා දුව ආවා. කපුටා භාජනය උඩ. ඔහුට තරහ ආවා. මුළුතැන්ගෙයි දොර වැසුවා. කපුටාට ඉගිල යන්න බැරි වුණා. අරක්කැමියා ඌ අල්ලා ගත්තා. පිහාටු ගැලවූවා. අඹරා තිබූ මිරිස් ඇඟ පුරා ගෑවා. එළියට විසි කළා. කපුටාට ඉගිලෙන්න බැරිව එතැනම උන්නා. වේදනාවෙන් කෙඳිරි ගෑවා. පරෙවියා කෑම සොයා ගියත් කපුටා ගැන සැකයෙන් හිටියේ. ඌ ඉක්මනට කෑම කෑවා නොකෑවෙන් ආපසු ආවා. ඒ වනවිට කපුටාට හොඳටම අමාරුයි. ඌ ළඟට ගියා. කුමක් වූවාදැයි ඇසුවා. කපුටා පරෙවියාට සිදුවූ දේ කිව්වා.
අධික ලෝභය නිසාත් ජන්මගති නිසාත් තොප විනාශයට පත් වුණා. තොප වැටී ඉන්න ඔය තත්ත්වයෙන් ගොඩගන්න මට කළ හැකි දෙයක් නෑ. පරෙවියා කිව්වා. කපුටා දුක් විඳ එතැනම මළා.
ඒ ලෝභය නිසා එදා වැනසුණු කපුටා තමයි මේ භික්ෂුව. බුදුන් වහන්සේ වදාළා.
(කපොත ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක