දෙව්රම් වෙහෙරේ වැඩසිටි භික්ෂූන් අතර ඉක්මන් කෝපකාර භික්ෂුවක් විසුවා. ඒ භික්ෂුව කෝප වුණාම චණ්ඩයි. පරුෂයි. මේ වාගේම සැර පරැෂ භික්ෂුවක් සැවැත්නුවර පසල් දනව්වක වැඩවාසය කළා. මේ දෙනම ගැන දන්නා භික්ෂූන් නිතර ඒ හිමිවරුන්ගේ කෝපය පිළිබඳව කතාබහ කළා.
ඔය දෙනම එක තැනක වාසය කළොත් කොහොම වෙයිද? ඇනකොටා ගනීවි නේද? යැයි කිව්වා. එහෙම වුණොත් බලන්න වැඩේ යැයිද සමහර භික්ෂූන් කිව්වා. මේ අතර පසල් දනව්වේ භික්ෂුව සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩියා. මේ දෙනම මුණගැසුණා. ආචාර සමාචාර කර ගත්තා. එකට වාසය කරන්න වුණා. හොඳම මිතුරන් සේ දවස් ගෙව්වා. සැර පරුෂ ගති දැක්වූයේ නෑ. අනෙක් භික්ෂූන් පුදුමයට පත් වුණා. ඒ සුළු දේකට කෝප වී කෑකෝ ගහන භික්ෂූන් දෙනමගේ හික්මීම ගැන. ඒ හිමිවරු දම්සභාවේදීද මේ දෙනම ගැන සාකච්ඡා කළා. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි! ඔය භික්ෂූන් දෙනම දැන් මතුනොව යටගිය දවසද සැර පරුෂව උන්නා. දෙදෙනා මුණගැසුණා. එවිට දෙන්නාගේම චණ්ඩ බව පරුෂ බව දුරු වුණා. හික්මුණු අය මෙන් හැසිරුණා යැයි පවසා මෙම කතාව වදාළා.
එදා බරණැස ඉසුරුමත් නුවරක්. නිසි කල අව් වැසි වැටුණා. බවභෝග අඩුවක් වුණේ නෑ. එනුවර වැසියෝද යහපත් අය. දැහැමිව ජීවත් වුණා. සාමකාමී පාලනයක් තිබුණේ. බඹදත් රජතුමා වැසියන්ට බොහෝම සමීපව කටයුතු කළා. එහෙත් රජතුමා ටිකක් ලෝභයි.
රජතුමාට නැණවත් ගුණවත් පුරෝහිත ඇමැතියෙක් උන්නා. ඒ ඇමැතිතුමාගේ අවංකකම නිසා රජතුමා භාණ්ඩාගාරික තනතුරක් ඔහුට පැවැරුවා. පුරෝහිතතුමා එම රාජකාරි හොඳින් කළා. නිවැරුදිව ගණන් හිලව් පෙන්නුවා.
එකල බරණැස අශ්ව වෙළෙඳපොළක් තිබුණා. ඊට දුරුරටවලින් වෙළෙන්ඳෝ ආවා. ඔවුන්ට අශ්වයන් ගාල් කර තැබීමටද ස්ථානයක් තිබුණා. ඒ රජ මාලිගාවට නුදුරින්. එතැනදී වෙළෙඳුන්ගෙන් බදු අයකර ගත්තා. ඒ නිසා ලොකු ආදායමක් රජයට ලැබුණා. එම ආදායම පාලනය වුණේ සම්පූර්ණයෙන්ම පුරෝහිත ඇමැතිතුමා යටතේ. රජතුමා ඒ ගැන සොයා බැලුවේ නෑ.
දුරුරටවලින් ගෙන එන මේ අශ්වයන් රජතුමාට සී මැඳුරු කවුළුවෙන් බැලූවිට පෙනෙනවා. සමහර අශ්වයන් පෙනෙන විට උන් ගැන රජතුමාට ආශාවක් ඇතිවෙනවා. එක් දිනක් රජතුමා එවැනි අශ්වයකු දැක උගේ මිල ගණන් අසාගෙන එන්න ඇමැතියෙක් වෙළෙඳුන් ළඟට යැව්වා. මිල ගණන් අධිකයි. ඇමැතියා ඇවිත් රජතුමාට කිව්වා.
එම මිල ගෙවීමට බඹදත් රජතුමා ලෝභ වුණා. එහෙත් අශ්වයා ගැන ආශාවද ප්‍රබලයි. වෙන කිසිවකු ඌ මිලදී ගැනීමට පෙර කුමක් හෝ කළ යුතු යැයි සිතුවා. එතුමාට හොඳ උපායක් කල්පනා වුණා. ඒ ඇමැතිට යළිත් කතා කළා.
ඇමැතිය! ඔබ රාජකීය අශ්ව ගාලට යන්න. එහි ඉන්න (සෝන) අශ්වයා ගන්න. පරිස්සම් වන්න. ඌ හරිම කුලෑටියි. දඩබ්බරයි. හෙමින් සැරේ ඌ වෙළෙඳුන්ගේ අශ්වයන් ඉන්න පෙදෙසට ගෙනියන්න. එතැන පේන නොපෙනෙන දුරදී නවතින්න. සෝන අශ්වයාට හොඳටම රිදවන්න. එවිට ඌ කුලප්පු වෙනවා. අශ්වයන් දෙසට දුවනවා. එවිට ඒ අශ්වයෝ බිය වෙනවා. කුලප්පු වෙනවා. කැලයට දිව යනවා. රජතුමා කිව්වා.
හොඳමයි දේවයන් වහන්ස! ඇමැතියා කිව්වා.
ඔහු අශ්ව ගාල දෙසට යන්න හැදුවා. එවිට රජතුමා කිව්වා ඔබ මේ වග පුරෝහිත ඇමැතිතුමාට දැනගන්න ඉඩ තියන්න එපා. ඇමැතියා එය හිස නමා පිළිගත්තා.
ඇමැතියා අශ්ව ගාලට ගියා. සෝන අශ්වයා අරගත්තා. වෙළෙඳාමට ගෙන ආ අශ්වයන් උන් පෙදෙසට ගියා. සෝන කුලප්පු කළා. ඌ වලිගය උස්සාගත්තා. පිඹගෙන දිව ගියා. ඒ අශ්වයන් මැද්දට පැන්නා. ඒ අශ්වයෝ බිය වුණා. කුලප්පු වුණා. ළඟ තිබූ කැලයටම දිව්වා. වෙළෙන්ඳෝ උන් අල්ලා ගැනීමට පුළුවන් තරම් උත්සාහ ගත්තා. පලක් වුණේ නෑ. ආපසු ආවා. එවිට අර ඇමැතියා ඔවුන් වෙත ගියා. දැන් ඔබට ඒ අශ්වයන් අල්ලන්න බැහැ නේද? උන් මට විකුණන්න. මම උන් කැලයෙන් අල්ලා ගන්නම්. වෙළෙන්ඳෝ ඊට කැමැති වුණා. අතේ පාඩුවට අශ්වයන් විකිණුවා. ගමට ගියා. ඊට පසුත් අශ්වයන් ගෙනාවා. රජතුමා ඒ දෙයම ඇමැතියා ලවා කරවූවා. වෙළෙන්ඳෝ පාඩුවට අශ්වයන් වික්කා. ඔවුන් හොඳටම කලකිරැණා. මේ කුලප්පු වීමට හේතුව සෙව්වා. සියලු දේ සොයාගත්තා. ඔවුන් පුරෝහිත ඇමැතිවරයා හමුවුණා.
මේ රජතුමාගේ වංචාව කිව්වා. ඒ වනවිට පුරෝහිත ඇමැතිවරයාත් එය දැනගෙන හිටියේ. එය හැඟවූයේ නෑ. මෙසේ ඇසුවා.
තොප ළඟ කුලෑටි අශ්වයන් නැද්ද?
එකෙක් ඉන්නවා. ඇමැතිතුමනි! ඌ (සුබ). ඌට නිදැල්ලේ ඉන්න ඉඩ හැර තියෙන්නේ.
ඌ අනික් වාරයේ එනකොට අරන් එන්න. අනෙක් අශ්වයන් සමඟ තබන්න. පුරෝහිත කිව්වා. වෙළෙන්ඳෝ එසේ කළා. එය නොදත් ඇමැතියා පෙර පරිදි සෝන කුලප්පු කර ඇරියා. ඌ ගිහින් අශ්වයන් මැදට පැන්නා. එවිට සුබ කුලප්පු වී ඌ ඉදිරියට ආවා. මුහුණට මුහුණ දීගෙන උන්නා. ඒ නිසා අනෙක් අශ්වයොත් කුලප්පු වුණේ නෑ. රජතුමා සී මැඳුරු කවුළුවෙන් ඒ දෙස බලා සිටියා. වහා පුරෝහිත කැඳෙව්වා. පුරෝහිත අර බලන්න. අශ්වයන් දෙන්නා ඒ විලසට ඉන්නේ ඇයි? ඇසුවා.
රජතුමනි! අසත්පුරුෂයකුට අසත්පුරුෂයකුත් නීචයකුට නීචයකුත් හමුවුණාම ඔහොම තමා. එක්වෙනවා. පුරෝහිත කිව්වා.
අනෙක රජතුමනි! කෙනකු ළඟ අධික ලෝභකම ඇත්නම් ඔහුද නිරායාසයෙන් නීච වැඩවලට පෙළඹෙනවා. ඉන් ඔහු අගතියට යනවා. වැඩිදුරටත් පුරෝහිත කිව්වා. රජතුමාට කාරණය වැටහුණා. වෙළෙන්ඳන් රජගෙදරට කැඳවාගත්තා. ඔවුන්ගෙන් සමාව ගත්තා. සිදුවූ පාඩුවලට හරියන්න වටිනා තෑගි දුන්නා.
අන්න ඒ සෝන සහ සුබ තමයි මෙදා ඔය භික්ෂූන් දෙන්නා. බුදුන් වදාළා.
සුහුනු ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක