2019 ජුලි 20 වන සෙනසුරාදා

අසත්පුරුෂ ඇසුර නිසා සිදු වූ අනර්ථය

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 788

අජාසත් රජතුමා දේවදත්ත හිමිට ගයා ගඟ හිස පන්සලක් හදා දුන්නා. දිවා රෑ උපස්ථාන කරන්න පිළියෙල කළා. අවවාද අනුශාසනා පිළිගත්තා. දේවදත්ත ස්ථවීරගේ උපදෙස් පිට බුදුන් ඉදිරියට රා පොවා නාලාගිරි ඇතා යැව්වා. බුදුන්ට විඳින්න දුනුවායන් යැව්වා. එසේ බුදුරජාණන් වහන්සේට බොහෝ අනර්ථ සිදු කළා. එසේම තම පියා වද දී මැරුවා.
එසේ දේවදත්තට රැවටී අනුවණකම් කරමින් සිටින අතර එක් දිනක් පොළොව පළාගෙන ගිනි දැල් මැවී දේවදත්ත නරකාදියට ගෙන ගියා. එදින සිට අජාසත් රජතුමා දිවා රෑ බියෙන් පසු වුණා. මහ රැයේ නින්ද ගියේ නෑ. ඇස් පියවෙනකොට පොළොව පළා ගිනිදැල් පේන්න පටන්ගත්තා. එවිට බියේ වෙවුලා නැගිට්ටා. රජතුමා නොනිදා සිටින නිසා ඇමැතිවරු ද රජ ගෙදරට වී නිදිවර්ජිතව උන්නා.

රජසැප කොතෙක් ලැබුණත් මම විඳින්නේ මහ දුකක්යැයි එතුමාට හිතුණා. ඒ ගැන කල්පනා කර දුක් වුණා. මේ ගිනිදැල් පෙනෙන සිහිනය ගැන විමසා දැනගන්න බුදුන් වහන්සේ හමුවෙන්න යන්නත් හිතුවා. එහෙත් කළ වැරදි නිසා යන්න ලැජ්ජා වුණා. දිනක් රාත්‍රියේ ඇමැතිවරුන් අමතා මෙසේ ඇසුවා.

ඇමැතිවරුනි! අර බලන්න සඳ පහන දහවල සේය. දුන්නකින් විඳින්න තරම් ළඟට පෙනේ. සඳ ඉතා ප්‍රසන්නය. නිස්කලංකය. මනෝඥය. රම්‍යය. මේ සුන්දර රාත්‍රියේ අපි මේ කුමක්ද කරන්නේ. යහපත් උගත් ශ්‍රමණ බ්‍රාහ්මණයකු ළඟට ගොස් බණ දහමක් ඇසුවොත් කොපමණ හොඳද? අපූරුද? ඉතින් කා ළඟටද අප යායුත්තේ ඇමැතිවරුනි ඔබමැ කියන්න.

දේවයන් වහන්ස පුරාණ කාශ්‍යප ශාස්තෘන් වෙත යමු. උන්වහන්සේ හරි ප්‍රබුද්ධයි. ඇමැතිවරයෙක් ඉමහත් භක්තියෙන් කිව්වා.

ඊට එරෙහිව තවත් ඇමැතිවරයෙක් නැගී සිටියා. 

දේවයන් වහන්ස මක්කලී ගෝසාල ශාස්තෘ දැන් ඉන්න හොඳම ශාස්තෘවරයා. බණ දහම් හොඳට පැහැදිලි කර දෙනවා. මම අදහන්නෙත් එතුමා. ඔහු කිව්ව

දේවයන් වහන්ස ඔය දෙදෙනාට වඩා දක්ෂයි කකුඨ කත්‍යාන උතුමාණන්. එතුමා ළඟට ගියොත් විචිත්‍ර ධර්ම දේශනාවක් අහන්න පුළුවන්. තවත් ඇමැතියෙක් කියා සිටියා. 

ඊළඟට තවත් ඇමැතියෙක් යෝජනාවක් ගෙනාවා. ඒ සඤ්ජය බෙල්ලට්ඨ පුත්‍ර ශාස්තෘන් වෙත යන්න. එතුමා ළඟට ගියොත් අර්ථවත් ධර්ම දේශනාවක් අසන්න පුළුවන් වෙනවා කියා ද ඔහු කිව්වා.

අපෝ එයාට වඩා හොඳයි නිගණ්ඨනාථ පුත්‍ර ශාස්තෘන් වහන්සේ. එතුමා තමයි දැන් ඉන්න තණ්හාව දුරු කළ මහා මුනිතුමා. කොටින්ම කියනවනම් එතුමා සිටින විදිහ සොයා බලන්න දේවයන් වහන්ස. සතා සර්පයාට පමණක් නොවේ පරිසරයට ද හිතකාමිය. උන්වහන්සේ අනුගමනය කරන පිරිස ඇඟට නූල් පොටක්වත් පළදින්නේ  නෑ. ඒ තරම් ආශාව දුරු කළ අය. කියා ඒ ඇමැතියා නිහඬව ඔවුන්ගේ ශාස්තෘන්වරුන්ගේ වර්ණනා අසා උන්නා.

මේ අතර කුමාර භණ්ඩුක නම් ඇමැතිතුමා ද කිසිවක් නොකියා බලා උන්නා.

ඇයි භණ්ඩුක මේ අය තම තමන් අදහන අය ගැන මහා ඉහළින් කතා කරනවා. ඔබ නිහඬව බලා ඉන්නවා. ඔබට ශාස්තෘවරයෙක් නැද්ද? රජතුමා ඇසුවා.

භණ්ඩුක ඇමැතිවරයා උන් අසුනින් නැගී සිටියා. එක් දිසාවකට තෙවරක් වැන්දා. 

කුමක්ද ඇමැතිය ඔබ එක් දිසාවකට වැඳීමේ අර්ථය. රජතුමා පුදුමයෙන් මෙන් ඇසුවා.

දේවයන් වහන්ස අප තථාගත බුදුරජාණන් වහන්සේ එක් දහස් අටසියයක් සංඝයා වහන්සේලා පිරිවරා අඹ උයනේ වැඩ වසනවා. ඒකයි මම ඒ අඹ උයන ඇති දිසාවට වැන්දේ.

හොඳයි එහෙම නම් අපි යමු. ඒ අසමසම බුදු රජාණන් වහන්සේ ළඟට ධර්ම දේශනාවක් අසන්න රජතුමා කිව්වා. ඇත් අස් පිරිවර පිළියෙල කරගත්තා අඹ වනයට ගියා. බුදුන් වහන්සේ වැඩ සිටින තැනට නුදුරින් රජතුමා බැස්සා. මහා ලෙස ඉඳුරන් දමනය කර ඒ අජාසත් රජතුමා පළමු කොට මහා සංඝයා වහන්සේ වෙත ගියා. බියෙන් වගේ සිරි පද සිඹ ගත්තා. එකත් පාස් වුණා.

යහපත් මහරජ මේ වෙලාවේ කුමක් නිසා මෙහි පැමිණියේද? බුදුන් විචාලා.

අජාසත්ත රජතුමා තමන් සිදු වී ඇති දෙය කිව්වා. බුදුන්වහන්සේ රජතුමාගේ හිත හැදෙන්න ධර්ම දේශනාවක් පැවැත්තුවා. රජතුමා පැහැදුණා. ශ්‍රද්ධාවක් පහළ වුණා. යළි සිරිපා වැඳගත්තා. බුදු පියාණෙනි! මා නොදැන කළ ද්‍රෝහිකම් ඉවසා වදාරා මට සමාව දෙන මෙන් ඉල්ලා සිටියා. 

රජතුමනි! ඔබ නොමඟ ගිය බව මම දන්නවා. බුදුවරැන් ළඟ වෛරය ක්‍රෝධය නෑ යැයි පවසමින් බොහෝ අවවාද අනුශාසනා කළා. රජතුමා සිත පහදාගෙන ආපසු ගියා. 

මහණෙනි! අජාසත් රජ අසත්පුරුෂයන් සමඟ එක් වී පීතෘ ඝාතනය නොකර සිටියා නම් අද සෝවාන් ඵලයට පත්වෙනවා යැයි බුදුහු වදාළා.

මේ සිද්ධිය පසු දිනක දම් සභාවේ කතාබහට ලක් වුණා. එවිට බුදුරජාණන් වහන්සේ ඔය රජ දැන් නොව පෙරත් අසත්පුරුෂ ඇසුර නිසා අනර්ථ සලස්වාගත්තා යැයි පවසා මෙම කතාව වදාළා.

පෙර කල බරණැස සංජීවක නම් බමුණු කුමරෙක් උන්නා. මේ කුමරා තක්සලාවට ගියා ශිල්ප හදාරන්න. ඔහු එහි අති දක්ෂ සිසුවෙක් වුණා. ඇදුරුතුමාගේ හොඳ සිත දිනාගත්තා. ඇදුරුතුමා මේ කුමරුට මළමිනීවලට පණ දී ඇවිද්දන්න පුළුවන් මන්තරයක් කියා දුන්නා. ඒ ගැන අනික් සිසුවන් දැනගත්තා. දවසක් මේ සිසුවෝ කැලයට දර සොයන්න ගියා. එවිට මැරුණු ව්‍යාඝ්‍රයෙක් දුටුවා. අනෙක් සිසුවෝ කිව්වා ඔබට මළමිනී නැගිට්ටව්න පුළුවන් නේද? එහෙමනම් මේ ව්‍යාඝ්‍රයාට පණ දෙන්න. මොනවද මේ කියන්නේ ආවට ගියාට එහෙම කරන්න හොඳ නෑ. ඔහු කිව්වා. සිසුවෝ සිනා වුණා. ඇයි ඔබ සිනා වෙන්නේ? ඔහු ඇසුවා. 

ඒ ඔබට එය කරන්න බැරි හින්දා. ඉන් ගැලවෙන්න බොරු කියන නිසා කියා. ඔවුන් යළි සිනාසුණා. 
බමුණු කුමරාට ලජ්ජාවක් ආවා. එහෙමනම් බලාගන්න කිව්වා. මතුරන්න වුණා. අනේ සිසුවෝ අසල ගස්වලට නැග්ගා. කුමරා ව්‍යාඝ්‍රයා ළඟ මතුරන විට ඌට පණ ආවා. නැගිට්ට ගමන් සිසුවාගේ ගෙල කෑවා. සිසුවා මියගියා. 

ඒ සිසු කුමරා තමයි ඔය රජතුමා. බුදුන් වදාළා.

සංජීවක ජාතකය ඇසුරින් 
බී. පී. කේ. තිලක

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00