2019 ජුලි 27 වන සෙනසුරාදා

පරුෂ වචන කීමේ විපාකය

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 708

බුදුරජාණන්වහන්සේ දෙව්රම් විහාරයේ වැඩවසන විට සය වර්ගයකට අයත් භික්ෂූන් එහි වැඩවාසය කළා. මේ භික්ෂුන් “ෂඩ්වර්ග” භික්ෂුන් ලෙසට හැඳින්වූවා. ළඟ ළඟ කුටිවල වාසය කළ නිසා මේ භික්ෂුන් නිතර අඬදබර කරගත්තා. බැණ අඬගහ ගත්තා. විටක පරුෂ වචන ද කිව්වා.

මේ භික්ෂූන්ගේ නරක හැසිරීම යහපත් හිමිවරුන්ට මහත් හිරිහැරයක් වුණා. දබර කරගන්නේ නැතිව මහණ දම් පුරන්න යැයි වැඩිහිටි හිමිවරු අවවාද කළා. එහෙත් පළක් වුණේ නෑ. එවෙලෙට ඔවදන් පිළිගත්තත් යළි සුළු දේකට ආරවුල් ඇතිකර ගත්තා. අවසානයේ ඒ හිමිවරු ෂඩ්වර්ග භික්ෂුන්ගේ හැසිරීම ගැන බුදුරජාණන්වහන්සේට පැමිණිලි කළා.
බුදු රජාණන්වහන්සේ ෂඩ්වර්ග භික්ෂුන් කැඳෙව්වා.

ඔබ නිතර දබර කරගන්නේ ඇයි. බුදුහු විචාලා.

ඒ හිමිවරු පිළිතුරක් දුන්නේ නෑ.

මහණෙනි! ඔබ දබර කරගන්නා අතර පරුෂ වචන කියා බැණ ගන්නවා නේද?

ඒ හිමිවරු නිහඬව උන්නා.

ඔබේ නිහඬ වීම වරද පිළිගැනීමක් මහණෙනි. පරුෂ වචන නම් අමනෝඥය. පිළිකුල් සහගතය. පෙර කල එක් සත්ත්වයෙක් තමාට පරුෂ වචනයෙන් බැන්න නිසා තම හාම්පුතාට මසුරන් දසදහසක් පරාජය කළා යැයි පවසා මෙම කතාව වදාළා.

යටගිය දවස ගාන්ධාර රට තක්සලා නුවර ගාන්ධාර නම් රජ කෙනෙක් උන්නා. එකල එනුවර බමුණෙක් වසුපැටවකු සුරතලයට හැදුවා. ඌට නන්දිවිසාලයැයි නමකුත් දැමුවා. කැඳබත් ආදිය නොඅඩුව ලබාදුන්නා. ආදරයෙන් රැක බලාගත්තා.

කලක් ගෙවුණා. මේ වසු පැටියා ලොකු මහත් වුණා. හැඩි දැඩි ගොන් නාම්බෙක් වුණා. එහෙත් බමුණා ඌට කුඩා කල වගේම හොඳට සැලකුවා. දවසක් නන්දිවිසාල කල්පනා කරන්න වුණා. දැන් මගේ හාම්පුතා මහලුයි. එහෙත් මට පෙරසේම ආදරෙයි. කන්න බොන්න අඩු කරන්නේ නෑ. මමත් ඔහේ නිකන් කකා ඉන්නවා. මමත් යුතුකමක් කරන්න ඕනෑ යැයි සිතුවා. අනෙක මම දැන් මේ නුවර ඉන්න ශක්තිමත්ම ගවයා. මගේ බලයත් පෙන්වන්න ඕනෑ. ඌට වැඩිදුරටත් හිතුණා. නන්දිවිසාල හාම්පුතා සොයාගියා.

ඒ වනවිට බමුණා අසුනක ඉඳගෙන කල්පනා කරමින් උන්නා.

නන්දිවිසාල ළඟට ගියා. බමුණා උගේ හිස අතගෑවා.

ඔබ ඔතරම් මොනවද කල්පනා කරන්නේ

මොනවා කල්පනා කරන්න ද? ජීවත්වෙන හැටි තමා බමුණා කිව්වා.

මම ආවේ ඔබට යහපතක් කරන්න.

කුමක්ද ඒ. ඔබට මට කරන්න පුළුවන්.

මොකක්ද බමුණා සිනාසී ඇසුවා.

ඔබ සිනාසෙන්න එපා. මටත් දැන් යමක් කරන්න පුළුවන්.

හොඳයි කරන්න පුළුවන් කුමක්ද?

ඔබ මෙනුවර මහ සිටානන් ළඟට යන්න. බර පැට වූ ගැල් සියයක් එකට අමුණා අදින්න පුළුවන් ගවයෙක් මට ඉන්නවා කියන්න. එතකොට සිටුතුමා විශ්වාස නොකරනවා ඇති. ඔබ පසුනොබසින්න. ඔට්ටුවට මසුදහසක් අල්ලන්න. සිටුතුමන් පසුබට වෙන එකක් නෑ. ඔට්ටුව අල්ලයි. නන්දි විසාල කියාගෙන ගියා.

ඉතින් ඔබට පුළුවන්ද ඒ ගැල් අදින්න.

පුළුවන් හින්දා තමයි කිව්වේ.

නන්දි විසාලගේ බහ පිළිගත් බමුණා සිටුතුමා හමුවීමට ගියා. සිටුතුමා ඔහු පිළිගත්තා. 

ඇයි බමුණා තකහනියක් ඇසුවා. 

සිටුතුමනි! මෙනුවර බඩු පිරූ ගැල් සියයක් එකට බැඳ අදින්න පුළුවන් ගවයෙක් ඉන්නේ කාටද?

කාටවත් නෑ. ඇයි එසේ ඇසුවේ.

මට එහෙම කරන්න පුළුවන් ගවයෙක් ඉන්නවා.

සිටුතුමා.. බොරු එපා කියා හයියෙන් සිනාසුණා.

සිනා නොවේ මම කීවේ ඇත්ත. ඔට්ටුවක් අල්ලන්න. මම මගේ ගවයා ගෙනත් අද්දනවා. දාන්න මසු දහසක් ඔට්ටුවට.
හරි දානවා. ගේන්න ඔබේ ගවයා සිටුවරයා කිව්වා. දිනයක් වෙන්කර ගත්තා. ඔට්ටුව ප්‍රසිද්ධ කළා. ගැල්සියයක් එකට ඇමුණුවා. ඊට අවශ්‍ය සියලු දේ ලකලැහැස්ති කළා. 

දිනය උදා වුණා. මේ ක්‍රියාව බලන්න සෙනඟ රැස් වුණා. බමුණා නන්දිවිසාල රැගෙන ආවා. බඩු පැටවූ ගැල් සියයේ පළමු ගැලේ බැන්දා. සිටුතුමන් සෙසු ප්‍රභූවරුන් අසුන්ගෙන සිටියා. සෙනඟ වටවී සිටියා.

බමුණා නන්දි විසාලගේ වලිගය මිරිකුවා. කෙවිටක් ගෙන පහරක් ගැසුවා. අදුකුළා කියා කෑ ගැසුවා.
නන්දිවිසාලට තරහා ආවා. නොසෙල් වී හිටියා.

බමුණා කෝප වුණා. නන්දිවිසාලට පරුෂ වචනයෙන් බැන්නා. කෙවිටෙන් පහර දුන්නා.

ඌ වගට වගක් නැතිව හිටිතැනම උන්නා. රුස් වූ සෙනඟ කෑ ගසන්න වුණා. සිටුතුමා බමුණා ළඟට ආවා ඔබ පරාදයි කිව්වා. බමුණා පිළිගත්තා. නන්දිවිසාල ගැලෙන් ලිහිව්වා. එතැනම දාලා ගෙදර ආවා. පරාජය ගැන කල්පනා කරමින් උන්නා.

නන්දිවිසාල මඟදිගට තණකමින් ගෙදර ආවා. බමුණා කල්පනාවේ. ළඟට ගියා. 

ඔබ පැරැදුණේ ඔබේ වරදින් කිව්වා. 

කුමක්ද මා කළ වරද?

මම ඔබේ භාණ්ඩ කඩා බිඳදමා තියනවා ද? නුසුදුසු තැනක මළ මුත්‍රා කර තියෙනවාද?

නෑ. බමුණා කිව්වා.

එසේ නම් කුළා කිව්වේ. පරුෂ වචනයෙන් බැණ වැදුණේ. ඔබ මට කතා කළ විලසට කෝටුපහර ගැසුවට තමයි ගැල් ඇද්දේ නැත්තේ. දැන් කල්පනා කරලා පළක් නෑ. නැවත යන්න. සිටුවරයා ළඟට කියන්න යළි ගැල් අදින්න ඔට්ටුව දාන්න හැබැයි මසුරන් දෙදහසක් අල්ලන්න. යන්න.

බමුණා සිටුතුමා ළඟට ගියා. යළි මසුරන් දෙදහසක් ඔට්ටු ඇල්ලුවා. නන්දිවිසාල ගෙන ගියා. පළමු ගැලේ බැන්දා. පිටට අත තැබුවා. මගේ හොඳ පුතා මේ ගැල් ඇද පෙන්නන්න ආදරයෙන් කිව්වා.

නන්දිවිසාල එක හුස්මට ගැල්සියය ඇද්දා. ඔට්ටුව බමුණා දිනුවා. නන්දි විසාල ලිහාගෙන ගෙදර ආවා.
මහණෙනි! පරුෂ වචනවලට කිසිවෙක් මනාපන්නේ නෑ. බුදුන් පවසා ෂඩ්වර්ග භික්ෂුන්ට ශික්ෂාපද පැනවූවා. මෙසේද වදාළා අන්‍යයන් සමඟ මිහිරි වූ මටසිළුටු වචන කතා කරන්න කියා. ධර්ම දේශනාවක් ද පැවැත්තුවා.

නන්දිවිසාල ජාතකය ඇසුරින් 
බී.පී.කේ. තිලක