2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

නිවැරදි මඟක ගිය යහපත් බිරිඳක්

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

ඈ සැවැත් නුවර රූමත් තරුණියක්ය. සිටු කුලයට අයත් වූ මේ තරුණියගේ මවුපින් දෑගසව්වන් වහන්සේලාගේ ප්‍රධාන උපාසක පවුලක්. මේ නිසා එම තරුණිය කුඩා කල පටන්ම තිසරණ සරණ ගියා. දැහැමි දිවි පෙවෙතක් ගත කළා.
ඇගේ විවාහයට සුදුසු කලවයස එළැඹුණා. ඒ නිසා මවුපියෝ සිටු කුමරකුට ඇය සරණ පාවා දුන්නා. මේ සිටු කුමරා යහපත් කෙනෙක් වුණාට ස්ත්‍රී ලෝලියෙක්. ඔහු බිරියට හොරෙන් පරස්ත්‍රීන් සොයා ගියා. මේ කුමරිය ඔහුගේ මේ පාප ක්‍රියාව දැනගත්තා. කම්පා වුණා. ඔහු ඉන් ගලවාගන්න ක්‍රම යෙදුවා. පලක් වුණේ නෑ. ඔහුගේ නරක පුරුද්ද නවත්වන්නම බැරි වුණා. කුමරිය හිත හදාගත්තා. මවුපියන් වෙත ගියා. සුපුරුදු දැහැමි දිවිපෙවෙත ගත කරන්න පටන්ගත්තා. නිතර දෑගසව්වන් වහන්සේලා හමුවීමට ගියා. 

දෑගසව්වන් වහන්සේලා ඇයට අනුකම්පා කළා. ධර්ම දේශනා කළා. හිත සන්සුන් කළා. නිතර ඇයට පහන් සිතිවිලි ඇති කළා.

එම දහම් පිළිවෙත් ඈ අනුගමනය කළා. සංසාර දුක අවබෝධ කරගත්තා. සිත එක අරමුණක තබාගත්තා. ඈ සෝවාන් ඵලයට පත්වූවා. එසේ කලක් දන්පින් කරමින් සිටියා. පැවිදි වෙන්න සිතුවා. මවුපියන්ගෙන් අවසර ගත්තා. මෙහෙණි ආරාමයකට ගොස් පැවිදි වුණා. නොබෝ දිනකින් විදර්ශනා වඩා  රහත් ඵලය ලබාගත්තා.

මේ මෙහෙණිය ගැන දිනක් දහම් සබාවේ කතාබහට ලක්වුණා. බුදුරජාණන් වහන්සේටත් කතාබහ ඇසුණා.

“මහණෙනි! ඔය මෙහෙණිය දැන් නොවේ පෙරත් ඔය තත්ත්වයට පත්වුණා. නැණනුවණ දියුණු කරගෙන සංවේගයෙන් බිඳුණා.” බුදුහු වදාළා.

“ස්වාමීනි! එම සිද්ධිය අපටත් දැනගන්න වදාළ මැනවි.” භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියා.

එවිට තථාගතයන් වහන්සේ මේ ජාතක කතාව වදාළා.

යටගිය දවස උන් බඹදත් රජතුමාට කඩවසම් හොඳට වැඩුණු පුත් කුමරෙක් උන්නා. ඒ කුමරු රාජ්‍ය පාලනයට ඇවැසි ශිල්ප හොඳින් හැදෑරුවා. කලවයස පැමිණි විට කුමාරියක් සරණ පාවාගත්තා. ඈ අභිතාප නම් වූවා.

මේ කුමරිය දනට පිනට ලැදි යහපත් තැනැත්තියක්. කුමරු සමඟ සරණ ආවාට පසු ස්වාමි භක්තියෙන් විසුවා.
රජ කුමාරයා ද රට වැසියන්ට ආදරය කළා. ඒ වැසියන්ගේ අවශ්‍යතා පුළුවන් පරිදි ඉටු කළා. ඒ නිසා කුමරු ජනප්‍රිය වුණා. එනුවර වැසියන්ගේ ආදර ගෞරව නොඅඩුව ලබාගත්තා.

කුමරුගේ ජනප්‍රියතාවය ගැන රජතුමා සැක කළා. රජකම පැහැරගනීවි යැයි සිතුවා. කුමරු එනුවරින් පිට කරන්න තීරණය කළා. කුමරු කැඳවූවා. මෙසේ කිව්වා.

“ඔබ දැන් මෙනුවර උන්නා ඇති. මින් පිට වී යන්න ඕනෑ.”

“ඒ ඇයි පියාණෙනි?”

“විස්තර අහන්න එපා. මේ මගේ නියෝගය. ඒ පියකු පුතකුට දෙන නියෝගයක් නොවේ. රජතුමා රාජ පුරැෂයකුට දෙන අණක්. එය පිළිපැදීමට ඔබ කැප වී සිටිනවා.”

“හොඳයි පියාණෙනි! මා කොහෙද යන්නේ?”

“දුරු රටකට බිසවත් සමඟ ගොස් ජීවත් වෙන්න හිතන්න. මා මළ පසු ඇවිත් රජකම බාරගන්න.” දැන් යන්න කිව්වා.
කුමරු අභිතාප බිසවත් සමඟ එනුවරින් පිටත් වුණා.

මේ අතර බරණැස බමුණු කුමරෙක් ගිහිගෙදර එපා වී හිමාලයට ගියා. ඉසිවරයකු වගේ දැහැන්ගතව සිටියා. ඒ තවුසා අෂ්ට සමාපත්තිය උපදවාගත්තා. හිමාලයේම අසපුවක් තනාගෙන වාසය කළා. මිනිස් වාසයට ආවේම නෑ. මේ කුමරැත් බිසව සමඟ හිමාල වනයට වැදුණා. තාපසතුමාගේ අසපුව ළඟ පැලක් ගසාගත්තා. පලවැල කමින් තාපසතුමන්ගෙන් දහම් අසමින් සිටියා. එහෙත් ඔවුන් ගත කළේ දුක්බර ජීවිතයක්. අභිතාප බිසව සිය සැමියාට දැක්වූ භක්තිය නිසා සියලු දුක් විඳගත්තා.

කුමරා  එක් දිනක් වනයේ වසන ලිය කින්නරාවක් දුටුවා. ඒ කින්නරාවගේ අසීමිත රූප සොබාවට ඔහු වශී වුණා. සියල්ල අමතක වුණා. අර යහපත් බිසව බලා ඉන්දැද්දිම කිඳුරගන පස්සෙන් ගියා.

බිසව කම්පා වුණා. අසීමිත සැප සම්පත් අතැර මම මේ කුමරු සමඟ වනගත වුණා. ස්වාමි භක්තිය නිසා දහදුක් වින්දා. අබමල් රොනක අහිතක් මම ඔහුට පෙන්නුවේ නෑ. ආදරයෙන් ගෞරවයෙන් සැලකුවා. පුදුමයි. මොහොතකින් කුමරුට මා අමතක වුණා. පක්ෂියෙක් පසුපස ගියා. මෙහෙව් සැමියන්ගෙන් මට ඇති පලය කුමක්ද? යැයි ඒ ගුණවත් බිසවට හිතුණා. තාපසතුමා වෙත ගියා. ස්වාමීනී! මමත් තාපසවරියක් කරන්න යැයි ඉල්ලා සිටියා.

තාපසතුමා ඈ තාපසවරියක් කළා. ඒ තවුසිය භාවනා කොට පඤ්ච සෘද්ධිය සහ අෂ්ට සමාපත්තිය උපදවා ගත්තා. තාපසාරාමයේම කල් ගෙව්වා.

කිඳුරිය පසුපස ගිය කුමාරයාටත ඇගේ සිත ගන්න බැරිව ගියා. කලකිරීමට පත් වුණා. ආපසු ආවා. බිසව විසූ තාපසාරාමයට ගියා.

බිසව ඔය තවුස් වෙස් අතහරින්න. එන්න මාත් එක්ක යන්න. කියා කුමරැ තාපසතුමියට අඬගැසුවා.
“කුමරුනි! ඔබ පමා වැඩියි.”

“ඒ ඇයි?”

“කුමරුනි ඔබ පක්ෂියක් පසුපස ගියා. මම පැවිදිව ධ්‍යානලාභිනියක් වුණා. එබැවින් මට මේ ජාතියේ ඔබ සමඟ සංවාසයක් නෑ.” තාපසවරිය කිව්වා.

කුමරු එබස් නොපිළිගත්තා. ඔහු සමඟ එන්න කියා බල කළා.

තාපසවරියට එය කරදරයක් වුණා. සෘද්ධියෙන් අහසට නැග්ගා. නොපෙනී ගියා.

කුමරු බිසව ගැන දුක් වුණා. ඒ අතර පිය රජ මියගිය පුවත ආරංචි වුණා. බරණැසට ගොස් රාජ්‍යය බාරගත්තා.
මහණෙනි! එසමයෙහි අභිතාප බිසව ඔය මෙහෙණිය යැයි බුදුහු වදාළා.

අභාතාබු ජාතකය ඇසුරින් 
බී.පී.කේ. තිලක

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00