2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

නොපිටට හැරුණු උපාය

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

සැවැත්නුවර ජේතවනාරාමයට දවසින් දවස දායකයෝ වැඩිවුණා. ඒ අනුව ලාභ සත්කාරත් වැඩි වුණා. එයින් තීර්ථකයන් දැඩි අපහසුතාවයකට පත්වුණා. දායකයෝ නැතිව ගියා. ලාභ සත්කාර නැති වුණා. ඔවුන් රැස්වෙලා සාකච්ඡා කළා. බුදුන්ට කිළුටක් ඇතිකළොත් දෙව්රම් වෙහෙර ගැන දායකයෝ කලකිරෙනවා. එතකොට ඔවුන් ලාභ සත්කාර අපට කරනවා යැයි එක් තීර්ථකයෙක් කිව්වා. අනෙක් අයත් එය පිළිගත්තා. එය කෙසේ කරන්නේ දැයි කල්පනා කළා.

ඔවුන්ගේ හිටියා අතිශය රූමත් පරිබ්‍රජිකාවක්. ඈ සුන්දරී නම් වූවා. ඈ නිගණ්ඨනාථ පුත්‍ර බැහැදකින්න දවසක් ආවා. දෙපා වැන්දා. පැත්තකට වුණා. නිගණ්ඨනාථ පුත්‍ර තෙමේ නිහඬව උන්නා. ඇය දෙස බැලුවේවත් නෑ. 
ඇයි ස්වාමීනි! බහක් නොදොඩා ඉන්නෙ. ඈ ඇසුවා.

මොන බස් දෙඩීමක්ද?
කුමක් නිසාද ස්වාමීනි!

ඔබ නොදන්නේද අපට වෙලා තියෙන දෙය.

නෑ ස්වාමීනි! කුමක් ද වුණේ.

අපට ලැබිය යුතු ලාභ සත්කාර දැන් ලැබෙන්නේ නෑ. ඒවා ශ්‍රමණ භවත් ගෞතම වෙතගෙන යනවා. එහෙම වුණෙත් ගෞතමගේ පිරිස් අපට කළ නිගරුකම් නිසයි. 
ඉතින් ස්වාමීනි! කුමක්ද දැන් ඊට කළ යුත්තේ.

ඊට කළ යුතු දෙය කළ හැක්කේ ඔබට පමණයි.

ඒ කුමක්ද?

ගෞතමයන්ට කිළුටක් ඇති කරන්න ඕනෑ.

ඒ කෙසේද? ස්වාමීනී!

උපාසකවරුන් දෙව්රම් විහාරයට ගොස් බණ අසා එන වෙලාවට ඔබ ඇතිරිල්ලක් කොට්ටයක් අරන් දෙව්රම දෙසට යන්න. එතකොට ඔවුන් අසයි. කළුවර වැටෙන විට කොහේද යන්නේ කියා. එවිට ඔබ කියන්න ඔබ දැන් රාත්‍රිය ගත කරන්නේ දෙව්රම් වෙහෙරේ ගඳ කිළියේ කියා. එසේ යන ඔබ කාටත් නොපෙනෙන්න නිගණ්ඨාරාමයට ආපසු එන්න. පසුදා හිමිදිරියේ එසේම නොපෙනෙන්න දෙව්රමට යන්න. රැය පහන් වී ආලෝකය පැතිරී මිනිසුන් අවදි වූ විට ඔවුන්ට පෙනෙන්න එන්න. ඔවුන් ඔබ කොහේද ගියේ යැයි අසන විට කියන්න. මම දැන් රැය පහන් කරන්නේ දෙව්රම් වෙහෙරේ කියා. නිගණ්ඨනාථ පුත්‍ර කිව්වා.

සුන්දරි පරිබ්‍රජිකාව එය පිළිගත්තා. පසුදා සිට එසේ කළා. කලක් ගතවුණා. සුන්දරී දෙව්රමට යනවා එනවා. මේ අතර තීර්ථකයෝ සොරුන්ට මුදල් දී සුන්දරීව මැරෙව්වා. හොර රහසේ ජේතවනාරාමයේ පරමල් දමන කසළ ගොඩයට ඇගේ මිනිය සැඟවූවා.

තීර්ථකයෝ කොසොල් මහ රජතුමා හමුවට ගියා රජතුමා ඔවුන් පිළිගත්තා. කුමක් නිසා පැමිණියේ දැයි විමසා සිටියා.

දේවයන්වහන්ස! අපේ සුන්දරී පරිබ්‍රජිකාව ටික දවසක සිට අතුරුදන් වෙලා. ඇය මරාදාලා ද දන්නේ නෑ.

ඇයි ඒ පරිබ්‍රජිකාව මරා දමන්න හේතුවක් තිබේද?

ඔව් දේවයන්වහන්ස! ඈ අතිශය රූමත් නිසා. ඇයට කරදරයක් කර මරා දැම්මාද දන්නේ නෑ.

හොඳයි මම සොයන්නම් රජතුමා කිව්වා. රාජපුරුෂයන් ඇය සොයන්න යැව්වා. සැවැත් නුවර පුරාම සෙව්වා. සුන්දරී නිතර ආගිය තැන් තීර්ථකයන්ගෙන් විමසුවා. ජේතවනාරාමයට නිතර ගිය බව ඔවුන් කිව්වා. රාජ පුරුෂයෝ දෙව්රමට ගොස් සොයා බැලුවා. කසළ ගොඩේ තිබී මිනිය හමුවුණා. කොසොල් රජතුමා හිතුවා මෙය බුදුන්ගේ ශ්‍රාවකයන්ගේ ක්‍රියාවක් කියා. ඒ බව ආරංචි වෙන්න මිනිය සොහොන් බිමේ තබන්න නියෝග කළා. සුන්දරී මරණය භික්ෂූන් කළායැයි මුළු සැවැත් නුවරම පැතිර ගියා. සමහරු සංඝයා වහන්සේලාට පරිභව කළා. කෙනහිලිකම් කළා. එය ඉවසා ගන්න බැරි තැන උන්වහන්සේලා බුදුරජාණන්වහන්සේට ඒ බව සැලකළා.

වැරැද්දක් කළ අය ආක්‍රෝශ පරිභව පිළිගත්තාට නිවැරුදි අය ඒවා පිළිගැනීමෙන් ඇති පලප්‍රයෝජන කුමක්ද? නිහඬව ඉන්න. සත්‍ය ළඟදීම හෙළිවෙයි. බුදු රජාණන්වහන්සේ වදාළා. උන්වහන්සේලා එය පිළිගත්තා.

කොසොල් රජතුමත් කල්පනා කරන්න වුණා. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් මිනී මරන්නේ නෑ. මෙය වෙන අයගේ වැඩක් කියා සිතුණා. රාජ පුරුෂයන් කැඳෙව්වා. ඔබ ගිහින් පරිබ්‍රජිකාවගේ මරණය ගැන රහසේ සොයන්න. කිව්වා. ඔවුන් වෙස්වළා ගෙනගියා. එනුවර හැම තැනම සොයා බැලුවා. රා පොළකටත් ගියා. එතැන වෙරිමතින් දොඩවන අයගේ කතාවලට කන් දුන්නා. එක් රා බී උන් මිනිසෙක් අනික් අය සමඟ සුන්දරී මැරෑ හැටිත් ඉන් ලබාගත් මුදල් ගැනත් කයිවාරැ ගහමින් උන්නා. රාජ පුරුෂයෝ ඔහු අල්ලා ගත්තා. රජතුමා ළඟට ගෙනගියා. ඔහු සියලු විස්තර රජතුමාට කිව්වා. රජතුමා ඔහු සිරගත කළා.

කොසොල් රජතුමා පසුව තීර්ථකයන් ගෙන්වූවා. සුන්දරීගේ මිනිය ඔවුන්ගේ හිස මත තැබුවා. බුදුන්ගේ ශ්‍රාවකයෝ නොවේ සුන්දරීව මැරුවේ අපියි කිය කියා සැවැත් නුවර වීදි දිගේ යන්න සැලැස්සුවා.
මේ සිද්ධිය දම් සභාවේදී භික්ෂුන් වහන්සේලා කතාබහට ඇද ගත්තා.

මහණෙනි! සිංහයාගේ ඡායාව නොපෙනෙන්න බිත්ති කිළුටු කරන්න ගිය ඌරන්ට වුණු දේ තමයි ඔය තීර්ථකයන්ට වුණේ යැයි බුදුන් වදාළා.

ස්වාමීනී! ඒ කථාව අපට දැනගන්න වදාළ මැනවි රැස්ව සිටි භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටියා.

එවිට බුදුන් වහන්සේ මේ කථාව වදාළා.

බරණැස් එක් බමුණු තරුණයෙක් කම්සැපතේ ආදිනව දැනගත්තා. ගිහිගෙය එපා වුණා. තපස් රකින්න හිමාලයට ගියා. එහි පර්වත අසලට වී තාපස් රැක්කා. මේ තවුසා වසන පර්වතයට නුදුරින් වයිරෝඩි පර්වතයක් තිබුණා. එහි ඌරෝ තිස් දෙකක් පමණ උන්නා. ඊට ඉදිරිපස ගුහාවක සිංහයෙක් සිටියා. ඒ සිංහයාගේ ඡායාව වයිරෝඩි ගුහාවට නිතර වැටෙනවා. එවිට බිත්තිවලින් සිංහයා පෙනුණා. ඉන් ඌරෝ බිය වුණා. ඌරෝ සිංහයාගේ ඡායාව නොවැටෙන්න කුමක් කළ යුතුදැයි කල්පනා කළා. ඒ ගැන කතා වුණා.

එක් ඌරෙක් කිව්වා අපි ඇඟේ මඩ තවරා ගෙන ඇවිත් ගුහාවේ බිත්තිවල අතුල්ලමු එතකොට බිත්තිවල මඩ තැවරෙයි. ඊට පස්සේ උගේ ඡායාව වැටෙන්නේ නෑ කියා. අනෙක් ඌරෝ එබස පිළිගත්තා.

පසුදා ඌරෝ ඇඟේ මඩ තවරාගත්තා. ඇවිත් ගුහාවේ බිත්තිවල ඇතිල්ලුවා. වයිරෝඩි බිත්තියක් නිසා මඩ රැඳුණේ නෑ. මේ වැඩේ හරියන්නේ නෑ. අපි යමු තාපසතුමාට ළඟට ගිහින් උපායක් අසමු කියා උන් ගියා. තවුසාට විස්තරය කිව්වා. මඩ සහ ඌරුලෝම ගෑවෙද්දී වයිරෝඩි බිත්ති කිළුටු වන්නේ නෑ. ඔපවැටෙනවා දැන් කරන්න තියෙන්නේ එක දෙයයි. ඔය ගුහාව හැර වෙනත් ගුහාවකට යන්න. එතකොට සිංහයා පෙන්නේ නෑ. තවුසා කිව්වා. ඌරෝ එය පිළිගත්තා වෙනත් ගුහාවක් සොයාගෙන ගියා. අන්න ඒ ඌරන් කළ මඩතැවැරීම වගේ දෙයක් තමයි තීර්ථකයෝ කෙළේ. බුදුහු වදාළා.

(මණිසූකර ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක