2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ඇදුරිඳුගේ අවවාද නිසා මරණයෙන් ගැලවෙයි

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 226

අජාසත් කුමරු පිළිසිඳ ගත් විට බිම්බිසාර බිසවට අමුතු දොළදුකක් ඇති වුණා. ඒ බිම්බිසාර රජතුමාගේ උරය පලා රුධිරය පානය කරන්න. ඒ බව බිසව රජතුමාට කිව්වේ නෑ. කල්පනා කර කර සිටියා. රජතුමා බිසවගෙන් ඇසුවා මොනවද ඔය තරම් කල්පනා කරන්නේ කියා. බිසව නිහඬව රජතුමා දෙසබලා සිටියා.

රජතුමාට තේරුණා. බිසවට දොළදුකක් ඇතිවී බව. එය ඉටුකිරීම ඉතා අපහසු කාර්යයක් බව. කොපමණ අමාරු කාර්යයක් වුණත් කමක් නෑ. බිසවුනි ඇති වුණු දොළදුක මට කියන්න. රජතුමා බලකර ඉල්ලා සිටියා. එවිට බිසව දොළදුක කිව්වා.
රජතුමා බිසවට දරුවකු පිළිසිඳීම ගැන සතුටු වුණා. නිමිතිකරුවන් කැඳෙව්වා. මේ අමුතු දොළදුක ගැන කිව්වා. 

ඔවුන් නිමිති බැලුවා. එකිනෙකා මුහුණු බලාගත්තා. 

ඇයි ඔබ නිහඬ රජතුමා ඇසුවා.

දේවයන්වහන්ස! බිසවට පිළිසිඳී ඇත්තේ පිරිමි දරුවෙක්. හැබැයි ඒ දරුවා වැඩිවියට පත්ව ඔබතුමා නිසා රජකම ලබාගන්නවා.

බිම්බිසාර රජතුමා කල්පනා කළා. කමක් නෑ. අන්රජ කෙනෙක් නොවේ මගේම දරුවානේ මා මරා රජකම ගන්නේ. ගත්තාවේ කිව්වා. ඔවුන් පිටත් කළා. රාජකීය වෛද්‍යවරයා කැඳවූවා. දකුණු උරය පලවා ගත්තා. රන් බඳුනකට ලේ ගත්තා. බිසවට බොන්න දුන්නා. 

බිසවට නිමිතිකරුවන්ගේ කීම ආරංචි වුණා. කෝපයක් ඇතිවුණා. කුසේ ඉන්න දරුවා නසන්න උත්සාහ ගත්තා. එය රජතුමා දැනගත්තා. බිසව ඉන් වළක්වන්න දැඩි ආරක්ෂාව දැම්මා.

නිසි කල උදා වුණා. බිසව දරුවා බිහිකළා. ඒ ලස්සන කුමාරයෙක්. පුතු දැකීමෙන් රජතුමා බෙහෙවින් සතුටට පත්වුණා. සුරතල් කරන්න වුණා. 

මේ කුමාරෝත්පත්තිය බුදුරජාණන්වහන්සේට ආරංචි වුණා. බුදුන් වහන්සේ මහා සංඝයා පිරිවරා ගෙන රජ ගෙදරට වැඩියා.

බුදුන් වහන්සේ දැකීමෙන් රජතුමා ප්‍රීතියට පත්වුණා. මිහිරි බොජුන් සහිත දනක් පිළියෙල කළා. පසුව පුත් කුමරු සුරතල් කරමින් විත් බුදුන් වහන්සේට පෙන්නුවා.

බුදුන් වහන්සේ කුමරු දෙස බලා දැනගත්තා මතු දින රජතුමාට වෙන අන්තරාව. රජතුමනි! ඔබතුමා පුතුට දැඩි ලෙස සෙනෙහස පානවා. ඒ දාරක ප්‍රේමය නිසයි. ඒ වුණත් පෙර රජවරු පුත් කුමරුන්ට සෙනහස පෑවත් ඔවුන් ගැන සැකෙන් සිටියා. ඒ නිසා ජීවිතය බේරාගත්තා. යැයි වදාළා.

ස්වාමීනී! එවැනි රජ කෙනකු ගැන මට කියාදෙන්න. කියා බිම්බිසාර රජතුමා ඉල්ලා සිටියා.

පෙරකල සිට බරණැස බඹදත් රජකෙනකුට සිටියේ එක් පුත් කුමරුකු පමණයි. රජතුමා ඒ කුමරු ශිල්ප හැදෑරීමට තක්සලාවට ඇරියා. කුමරු සිප්සත ඉගෙන ගැනීමට සමත්කම් දැක්වූවා. ඇදුරිඳුගේ හොඳම සිසුවා වූවා. එතුමා කුමරුගේ දක්ෂතා අගය කළා. ශිල්ප නිමාවී යන කළ උදාවුණා. දිසාපාමොක් ඇදුරුතුමා කුමරුගේ අංගලකුණු පිරික්සුවා. කුමරුට අනිවාර්යයෙන් රජකම ලැබෙනවා. එහෙත් කුමරුට දාව උපදින පුත් කුමරැ රජතුමා මරා රජකම ගන්න උත්සහ කරනවා. ඇදුරිඳු දුටුවා. ඔබ හොඳ රජෙක් වෙනවා. එහෙත් ඔබේ පුතා අගතිගාමී සේවකයන් ගේ උපදෙස් පිට ඔබ මරන්න හදනවා. ඒ නිසා පුතාට සොළොස් විය ලැබූ පසු පරෙස්සම් වන්න. වෙසෙසින්ම එකට කෑම කන විට වස දෙන්න පුළුවන්. එසේම සාකච්ඡා අවස්ථාවලදී උඩු මහලට නගිද්දී. යහන් ගබඩාවේදී පුතා ගැන සැකෙන් ඉන්නයැයි ඇදුරිඳු උපදෙස් දුන්නා.

කුමරු ඒ උපදෙස් ගෙන බරණැසට ගියා. පිය රජතුමා කුමරුට යුව රජකම දුන්නා. කුමරු එනුවරවැසියන්ගේ සිත් දිනාගෙන රාජකාරි කළා. කුමරියක් සරණපාවා ගත්තා. සතුටින් ජීවත් වුණා.

කුමරුට දාව පුතෙක් උපන්නා. පිය රජතුමා මිය ගියා. යුවරජ මහ රජ වුණා. යහපත් පාලනයක් කරගෙන ගියා. කලක් ගෙවුණා. පුතාට සොළොස් විය එළඹුණා. එවිට දිසාපාමොක් ඇදුරිඳුගේ ඔවදන් මතක් වුණා. එය රහසක් ලෙස හිතේ තබාගත්තා. 

මේ බඹදත් රජතුමා දවසක් ඉමහත් අසිරියපාමින් උයන්කෙළියට ගියා. ඒ දෙස පුත් කුමරු බලා සිටියා. අසල උන් සිය සේවකයන් අමතා. අනේ මට ඔය අසිරිය ලබන්න කවදා ලැබෙයිදෝ කිව්වා.

ඒ අසත්පුරුෂ සේවකයෝ ඒක ඇත්ත තමා කුමරුනි! බාල වියේ විඳින්න බැරි අසිරිය මහලු වෙලා ලැබීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

ඉතින් එය දැන් ලබාගන්න කළ යුත්තේ කුමක්ද?

පිය රජ නසා රජකම ගැනීමයි කළ යුත්තේ. ඔවුන් කිව්වා. 

කුමරු කල්පනා කරන්න වුණා. පියා මැරීම කෙසේ කරම්ද? අවියකින් කරන්න බෑ. කුමරු කිව්වා.

සේවකයෝ කිව්වා එය ඇත්ත. කරන්න තියෙන්නේ කෑම කනවිට විස දැමීම.

කුමරු එය හිතට ගත්තා. වස ටිකක් සඟවා ගත්තා. එය රජ සමඟ කෑම කන්න ඉඳගත්තා. රජතුමාට කුමරුගේ වෙනසක් පෙනුණා. ඇදුරිඳුගේ ඔවා සිහිවූවා. කුමරු විස දමයි සිතුවා. 

කුමරුණි! මම මේ රජ බොජුන් කෑවට විස කන්නේ නෑ. රජතුමා කිව්වා.

කුමරු බිය වුණා. කෑම කා ඉවර වුණා. විස දමන්නේ නැතිව නැගිට ගියා. සේවකයන් හමුවුණා විස දමන්න බැරි වුණ හැටි කිව්වා. කුමරුනි! දැන් කළ යුත්තේ රජතුමා තනිවූ විට කඩුවෙන් කොටා මැරීමයි. ඒ පාපතරයෝ කිව්වා.
කුමරු එය අසා රජ තනි වෙනකන් බල බලා සිටියා.

රජතුමා දිනක් ඇමැතියකු සමඟ රහස් කතාවක යෙදුණා. කුමරු එය දැක්කා. කඩුවක් ගෙන සැඟවී සිටියා. ඒ ඇමැතිවරයා ගිය විට රජතුමා මරා දමන්න. කුමරු ගැන නිතර විමසිල්ලෙන් සිටි රජතුමා කුමරු දැක්කා. කුමරුනි ඔබ සැඟවී සිටින්නේ මා මරා දමන්න දැයි ඇසුවා. කුමරැ ඒ අසා පලා ගියා.

රජතුමා මේ සිද්ධීන්වලින් පසු පුත් කුමරු ගැන නිතර සැකෙන් විමසිල්ලෙන් සිටියා. එක් දිනක් රජතුමා උඩුමහලට නැග්ගා. ඒ හොඳට වටපිට බලමින්ය. කුමරු කඩුවක් ගෙන එහි සැඟවී උන්නා.
ඔබ ඔතැන ඉන්නේ මා මරන්නද? කියා ඉනේ තුබූ කඩුව ඇද ගත්තා. බිය වූ කුමරු පලාගියා.

තවත් දිනක් කුමරු කඩුවක් ගෙන රජතුමාගේ සිරියහන් ගබඩාවට රිංගා සැඟවී සිටියා. රජතුමා සිරියහන් ගබඩාවට ආවා. හැමතැනම විමසිල්ලෙන් බැලුවා. සැඟවී උන් කුමරු දැක්කා. රජතුමා නොදැක්ක විලසට ආරක්ෂකයන්ට කතා කළා. ඔවුන් දුව ආවා. රජතුමා වට කරගත්තා. 

කුමරුණි! තොප කඩුව ගෙන සැඟවී සිටින්නේ මා මරා දමන්නද? වහා එළියට එනුයැයි සැරෙන් කිව්වා. කුමරු හොඳටම බිය වුණා. කඩුව ඇතහැර වැඳ වැටුණා.

තොප තෙවරක් මා මරන්න උත්සහ කළා. මම තොපට මගේ එකම දරුවා නිසා ඉවසුවා. තවදුරටත් ඉවසන්නේ නෑ. ආරක්ෂකයිනි! මේ කුමරු දඟගෙට දමන්න. දැඩි ලෙස ආරක්ෂාව තර කරන්න. නියෝග කළා. ඔවුන් එම නියෝගය ඉටු කළා. රජතුමා ඇදුරිඳුගේ ඔවදන් නිසා දිගුකලක් ජීවත් වී මිය පරලොව ගියා. ඉන්පසු ඇමැතිවරු කුමරු දඟගෙයින් නිදහස් කර රජකම පැවැරුවා. බුදුහු වදාළා.

ස්වාමීනී! මට නම් මගේ දරුවා හැරදමා ජීවත් වෙන්න බෑ. මම ඒ තරමට මේ දරුවාට ළෙන්ගතුයි. බිම්බිසාර රජතුමා කිව්වා.

බුදුන් නිහඬව මහා සංඝයා පිරිවරා විහාරයට වැඩම කළා.

ථුප ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00