2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

බිරියගේ මඟ පෙන්වීමෙන් ආර්ය මාර්ගයට ආ මිනිසෙක්

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

දෑගසව්වන් වහන්සේලාට උපස්ථාන කරන කුල දුවක් සැවැත්නුවර උන්නා. ඈ විශිෂ්ට රූ ඇත්තියක්. බැලූවන්ට ප්‍රසාදනීයයි. උපාසිකාවක් ලෙස යහපත් ජීවිතයක් ගත කළා. මේ තරුණියට එක් තීර්ථක පවුලක් මංගල යෝජනාවක් ගෙනාවා. ඒ ඔවුන්ගේ තරුණ පුතාට.

කුල දුවගේ මව්පියෝ ඊට කැමැති වුණේ නෑ. බෑ කිව්වා.
ඒ ඇයි අපි දෙගොල්ල එක කුලයේ අයනේ. ඔවුන් කිව්වා.

කුලය එකවුණත් අපි ආගම් දෙකක්. ඔබ තීර්ථකයන් අදහන්නේ. අපි බුදුන්වහන්සේ අදහන්නේ. අනෙක අපි දෑගසව්වන්ගේ ප්‍රධාන උපාසකයෝ. අපේ දුවත් උන්වහන්සේලාගේ හොඳම උපාසිකාවක්. ඇයට ඔබ නිවසට ගිය පසුව රිසිසේ දන්දෙන්න. බණ අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා තරහ වෙන්න එපා ඒ අදහස අතහරින්න.

එසේ කියන්න එපා. ඔබේ දුව අපේ නිවෙසට ආ කල ඇයට ඕනෑ ලෙසට දන්දෙන්න. සංඝයාවහන්සේලාට වැඳ පුදා ගන්න බණ අහන්න පමණක් නොවේ සිල්ගන්න වුණත් පුළුවන්. ඊට අපේ කිසිම විරැද්ධත්වයක් නෑ. ඔවුන් කියා සිටියා. ඔවුන් නිතර නිතර බල කරන්න වුණා.

ඔවුන්ගෙන් බේරෙන්න බැරිම තැන දුව ඔවුන් පුතාට සරණ පාවා දුන්නා. ටික දිනක් ගෙවුණා. ඒ උපාසක දුව සැමියාට කිව්වා ස්වාමීනී! මට දෑගසව්වන්වහන්සේලා වැඳපුදා ගන්න යන්න ඕනෑ කියා.

හොඳයි ඔබේ කැමැත්තක් කරන්න. සැමියා කිව්වා.

ඈ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වෙත ගියා. නමස්කාර කළා.

දෑගසව්වන් වහන්සේලා කෙටි දහම් දෙසුමක් කළා.

ඈ දහම් දෙසුම අවසානයේදී ස්වාමීනී ඔබවහන්සේලා මා සිටින ගෙදර අය මිසදිටුකමෙන් මිදී තිසරණ සරණ යනතුරු එහෙට දනට වඩින්න යැයි ඉල්ලා සිටියා.

දෑගසව්වන්වහන්සේලා ආරාධනාව පිළිගත්තා. පසුදා පටන් ඒ ගෙදරට දනට වැඩියා.

දෑගසව්වන්වහන්සේලා වඩින විට ඇගේ සැමියා මඟඇර ගියා. එසේ දින කිහිපයක් ගතවුණා.

එක් දිනක් සැමියා අමතා ඇයි ඔබ දෑගසව්වන් වහන්සේලා වඩින විට මඟහැර යන්නේ.

මම බෞද්ධයෙක් නොවන නිසා. ඔහු කිව්වා.

ඔබ බෞද්ධයෙක් නොවූවාට කමක් නෑ. රහතන් වහන්සේලා වැඩිය පසු මාත් එක්ක ඉන්න.

ඔහු එය පිළිගත්තා.

පසුදා දෑගසව්වන්වහන්සේලා වැඩම කළා.

සැමියා ගෙදර සිටියා. ඔහු රහතන් වහන්සේලාට අසුන් පැන වූවා. බිරියත් සමඟ දන් පිළිගැන්වූවා. ඇයත් සමඟ අනුමෝදනාව අසන්නත් ඔහුට ඈ කතා කළා. ඔහු ඇය අසලින් ඉඳගත්තා.

දෑගසව්වන් වහන්සේලා ඔහුට උචිත ධර්මදේශනාවක් කළා.

ඔහු ඒ දහම් ඇසීමෙන් පැහැදුණා. ශ්‍රද්ධාවක් ඇති වුණා. මිසදිටු බවෙන් මිදුණා. එදා පටන් තිසරණ සරණ ගිය උපාසකයෙක් වුණා. දන් දෙන්න සිල් ගන්න වුණා. පුතාගේ වෙනස් වීම දුටු මව්පියෝද කෙමෙන් බණ අහන්න පුරුදු වුණා.
කලක් ගෙවුණා. ඒ ගෙදර සියල්ලෝම බෞද්ධයන් වෙලා දන්පින් කළා. එසේ කල්ගත වෙනකොට සැරියුත් මහ රහතන්වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසීමෙන් ඒ ස්ත්‍රිය සහ පුරුෂයා සෝවාන් ඵලයට පත්වුණා.

තවත් කලක් ගතවුණා. බිරිය ස්වාමියා අමතා ස්වමීනී! මට දැන් ගිහිගෙය එපාවෙලා. ඉන්න කිසිම කැමැත්තක් නෑ. මම පැවිදිවිය යුතුයි. ඈ කිව්වා.

හොඳයි ඔබ පැවිදි වෙන්න. මමත් පැවිදිවෙනවා. ඔහුත් කිව්වා.

පසුව ඇය මෙහෙණියක් වුණා. ඔහු බුදුරජාණන්වහන්සේ වෙතගොස් මහණ වුණා. ඔවුන්ගේ පෙර පින් පල දුන්නා. නොබෝ දිනකින් දෙදෙනාම විදසුන් වඩා රහත් වුණා.

මේ මෙහෙණිය ගැන භික්ෂූන් වහන්සේලා දම්සබාවේදී කතාබහ වුණා. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි! දැන් නොව පෙරත් ඔය ස්ත්‍රිය තමාවත් ගැලවී සැමියත් ගලවා ගත්තායැයි පවසමින් මෙම කතාව වදාළා.

පෙර බරණැසට නුදුරු වනාන්තරේ අසූ දහසක පමණ මුව රංචුවක් උන්නා. ඒ අතර බොහෝම ලස්සන මුවෙක් හිටියා. ඌ රන්වන් පාටයි. දීප්තිමත් ඇස් දෙකක් තිබුණා. අනෙක් මුවන්ට වඩා විශේෂ වූ සිරැරක් පිහිටියා. මේ නිසා මුව රංචුවේ නායකයා වූයේ මේ මුවා. ඌට හොඳ මුවදෙනක් උන්නා. දෙන්නා ආදරයෙන් කල් ගෙව්වා. එකල් වැද්දෙක් මේ මුව රංචුව දැක්කා. ඔවුන් අල්ලන්න මද්දක් අටවා ගියා. එය නොදත් මුව රංචුව කෑම කකා මද්ද දැමූ පැත්තෙන් ගියා.

ඒ දැමූ මද්දට මුව නායකයාගේ පයක් හිර වුණා. එය නුදුටු මුව රංචුව ඉදිරියට ගියා. මුව නායකයා. හිරවුණු පය ඇද්දා. එය තවත් හිරවුණා. ඌ පය ගස්සලා හයියෙන් ඇද්දා. පයේ හම කැඩුණා. යළිත් ඇද්දා. මාංස ගැල වුණා. වේදනාව පිට තවත් ඇද්දා. පයේ නහර කැඩුණා. ඉන්න හිටින්න බැරි ලෙසට වේදනාව වැඩි වුණා. මරණ බය දැනුණා. මහ හඬින් ඇඬුවා. ඒ හඬට මුවෝ බිය වුණා. ඒ මේ අත දිව්වා. මුව දෙන ඒ මුවන් අතර සැමියා සෙව්වා. උන්නේ නෑ. ආපසු ආවා. මලට අසුවී ඉන්න මුව නායකයා දුටුවා. ළඟට ආවා.

ස්වාමීනී! පය වේගයෙන් අදින්න කිව්වා.

සොඳුර අදින්න බෑ. පයේ මස් බිඳී වේදනාවක් දෙනවා. ඉවසන්න බැරි තරම් කියමින් මුවා අඬන්න වුණා.

ස්වාමීනී! දුක් නොවන්න. මගේ ජීවිතය පුදා හෝ ඔබ රැක ගන්නවා කිව්වා. ළඟට වී උන්නා.

ටික වෙලාවක් ගියා. මුව වැද්දා එනවා මුවදෙන දුටුවා. ඉස්සරහට ගියා. මිතුර මගේ ස්වාමියා. මුවන් අතර විශිෂ්ට රූ ඇත්තෙක්. ලොව දුලබ කෙනෙක්. කරුණාකර ඔහු ඔබගේ මද්දෙන් නිදහස් කරන්න. ඔබට පින්. ඔබට මස් අවශ්‍ය නම් මා මරාගන්න. මගේ සැමියා නිදහස් කරන්න මුව දෙන කියා ඇඬුවා.

මුවන් මිනිස් බසින් කතා කරනවා දැක වැද්දා පුදුම වුණා. එසේම මුව දෙනගේ කන්නලව්වට ඔහුට දුක හිතුණා.

බිය නොවන්න. තොප දෙන්නම මම මරන්නේ නෑ කිව්වා. මුවා මද්දෙන් ගැලවූවා. කැලෑ බෙහෙතක් හදා මුවාගේ මස් බිඳුණු පයට ගැල්වූවා. මුවා වැද්දාට නොසෑහෙන්න ස්තූති කළා. ඌ පෙර දිනක වනන්තරේ තැනක මැණිකක් දැක තිබුණා. ඒ ගැන වැද්දාට කිව්වා. ඔබ මීට පස්සේ ප්‍රාණඝාත කරන්න එපා. ඒ මැණික විකුණා ජීවත් වෙන්න කිව්වා. දෙදෙනාම වනගත වුණා. ඒ මුවදෙන ඔය මෙහෙණිය බුදුන් වදාළා.

ස්වර්ණ මෘග ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00