සැවැත් නුවරට නුදුරු ගමක යහපත් මිනිසෙක් උන්නා. ඔහු හොඳ පවුල් ජීවිතයක් ගත කළා. මේ යහපත් මිනිසා බුදුරජාණන්වහන්සේ කෙරෙහි දැඩි ලෙස පැහැදී සිටියේ. විවේක ලද හැමවිටකම තෙල් මල් රැගෙන ජේතවනාරාමයට ගියා. බුද්ධ උපස්ථාන කළා. බණ අැසුවා. පහන් සිත් ඇති කර ගත්තා.
ඔහුගේ බිරිය මේ කාර්යය ගැන විරුද්ධ වුණේ නෑ. එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ.
කාලය එසේ ගතවෙද්දී බිරියගේ මව දිනක් දුව බලන්න ආවා. ඈ මහලු ස්ත්‍රියක්. ඇය එන විට යහපත් මිනිසා විහාරයට ගිහින්. මහලු කත බෑණා ගෙදර නැති නිසා දුවේ කෝ ඔබේ සැමියා කොහේ ගිහින්ද ඇසුවා.
අම්මේ එයා දැන් මහණ වුණු කෙනෙක් වගෙයි. වැඩි හරියක් කාලය ගෙවන්නේ දෙව්රම් වෙහෙරේ. දුව කිව්වා.
මහලු මවගේ කන් ඇසීම අඩු නිසා ඇයට මහණ වගෙයි කීම ඇසුණේ මහණ වෙලා කියනවා වගෙයි. ඒ නිසා ඇයට දුක හිතුණා. අනේ මගේ දුව අනාථ වුණා කියමින් මහ හඬින් අඬන්න වුණා. මේ ඇඬීම ඇයි අහල පහළ අය ආවා. ඇයි මේ අඬන්නේ කාට හරි කරදරයක්ද? ඇසුවා.
ඔව්. අනේ මගේ බෑනා මහණ වෙලා.
ඇයි ඉතින් අඬන්නේ මහණ වීම කොපමණ හොඳද?
මොන හොඳ දෙයක්ද? මගේ දුව අනාථයි. කවුද ඇය බලාගන්නේ. කවුද රැකවරණය දෙන්නේ. කියමින් ඇය දිගටම අඬන්න වුණා.
අසල්වැසියෝ ඇය සනසන්නට බොහොම උත්සහ කළා. පලක් වුණේ නෑ. යන්න ගියා. ඔවුන්ගෙන් ඔහු පැවිදි වූ පුවත ගම පුරා පැතිරී ගියා.
මේ කිසිවක් නොදත් යහපත් මිනිසා බුදුන් වැඳ බණ අසා ශුද්ධාවෙන් ආපසු එමින් සිටියා. අතරමඟදී අසල්වැසියෙක් හමුවුණා.
අන්න ඔබේ ගෙදර කලබලයක්.
ඒ ඇයි? ඔබ මහණ වෙලා කියා. නැන්දම්මා හැපි හැපි අඬනවා. ඒ ගැන මුළු ගමම පුදුම වෙලා.
ඉතින් මම මහණ වෙලා නෑනේ.
ඒක තමයි. ඒ වුණාට ගමම හිතා ඉන්නේ ඔබ මහණ වෙලා කියලා. හරි වැඩේ නේද?
යහපත් මිනිසා කිසිවක් කිව්වේ නෑ. අසල්වැසියා යන්න ගියා. මේ මිනිසා මඟ නතර වුණා. කල්පනා කරන්න වුණා. මහණ වීම නම් කොපමණ හොඳ දෙයක් ද? මම කොපමණ කල් ඒ ගැන හිතුවාද? ඊට හරස් වුණේ බිරියයි. ඇගෙන් අවසර ගන්න බැරි එකයි. දැන් ඒ හරස් වීම ඉවරයි. මේ අහම්බෙන් ලැබුණු කීර්තියක්. එය නැති කරගන්න හොඳ නෑ. ඔහුට සිතුණා. ආපසු හැරුණා. දෙව්රම් වෙහෙර බලා නැවැත ගියා. බුදුරජාණන්වහන්සේ වෙත ගියා. සිරිපා වැන්දා. එකත්පස් වුණා.
ඇයි උපාසක දැන් නේද බුද්ධ උපස්ථානය කර ගෙදර ගියේ. බුදුහු විචාළා.
එහෙම නම් ඇයි යළිත් ආපසු ආවේ.
ස්වාමීනී! මම යනකොට ගම පුරාම මම මහණ වෙලා යැයි ආරංචියක් පැතිර ගිහින්.
ඉතින් විහාරෙට ආවේ කුමක් කරන්නද?
ස්වාමීනී! අහම්බෙන් ලැබුණු කීර්තිය නැති කරගන්න හොඳ නෑ යැයි මට හිතුණා.
ඔය එය රැකගන්න කරන්න හදන්නේ කුමක්ද?
ස්වාමීනී! මට මහණ වෙන්න ඕනෑ. මම පැවිදි කරන්න යැයි ඒ මිනිසා බැගෑපත් වුණා.
බුදුරජාණන් වහන්සේට ඔහුගේ පෙර පින් ඇති බව පෙනුණා. ඔහු පැවිදි කළා. ටික දිනකින් උපසම්පදාව දුන්නා.
ඒ හිමියන්ගේ කුසල් බලය නිසා නොබෝ දිනකින් විදසුන් වඩා රහත් ඵලය ලබා ගත්තා.
ලැබූ කීර්තිය නොනසා පැවිදි වී රහත් ඵලය ලබාගත් මේ තෙරුන් වහන්සේ ගැන භික්ෂූන්වහන්සේලා දම් සබාවේදී කතා බහ වුණා. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි! ඒ තෙරුන් පමණක් නොවේ පෙර උත්තමයෝත් උපන් වූ කීර්ති ඝෝෂාව නොනසා ඇතැයි වදාළා.
ස්වාමීනී! අපට ඒ උත්තමයන් ගැන වටහා දෙන්න යැයි භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියා.
එවිට බුදුරජාණන් වහන්සේ මේ කතාව වදාළා.
පෙර බරණැස් නුවර බොහෝ ධන සම්පත් තිබුණු සිටාණෝ කෙනෙක් උන්නා. ඔහුට සිටියේ එකම පුතයි. මේ ධන සම්පත් රැකගෙන ඉදිරි අනාගතය ගෙනයන්න බිරියක් ද ඔහුට ගෙනත් දුන්නා. මේ පුතා පියාගේ වදනට අවනත වෙලා බිරියක් ගෙන ආවාට සිත බැඳී තිබුණේ ආගම දහමට. එබැවින් නිතර අසපු වෙත ගියා. පුද පෙත් කළා. මේ අතර පියා මිය ගියා. පුතා සිටු තනතුරට පත්වුණා. රාජ්‍ය සේවයට යන්න සිදු වුණා. එහෙත් ඔහු වැඩිපුර කාලය ගත කළේ අසපු වල.
කාලය එසේ ගෙවී ගියා. දිනක් බිරියගේ මව දුව බලන්න ආවා. ඒ මහලු කත එන විට සිටුවරයා ගෙදර සිටියේ නෑ. රාජ්‍ය සේවයට ගිහින්. බිරියට කියලා නොවෙයි ගිහින් තිබුණේ. ඇය සිතා සිටියේ පැවිදි ආරාමයකට ගිහින් කියලා.
කෝ බෑනා කොහේ ගිහින්ද? බිරියගේ මම ඇසුවා.
එයා පැවිද්දන් බලන්න ගිහින්. දුව කිව්වා.
මේ මහලු මවට එය ඇසුණේ පැවිදිවෙන්න ගියා යනුවෙනි. ඇයට දුක හිතුණා. අඬන්න පටන් ගත්තා. ඒ ඇඬිල්ල ඇසී අහළ පහළ මිනිස්සු ආවා. මොකද වුණේ. ඇයි අඬන්නේ ඇසුවා.
නාඬා ඉන්න පුළුවන්ද? මගේ දුව අසරණ වෙලා.
ඒ කුමක් නිසාද?
බෑනා පැවිදි වෙලා කියා යළි අඬන්න වුණා.
ඔහුගේ දැහැමි දිවි පෙවෙත ගැන දන්නා අසල්වැසියන් එය විශ්වාස කළා. ඔහු ගැන කතාබහ වෙන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට සිටුවරයා පැවිදි වෙලා යැයි මුළු ගම පුරා පැතිර ගියා. මේ ගැන නොදත් සිටුවරයා රාජ්‍ය සේවය නිම වී ගෙදරට එමින් සිටියා. අතර මඟදී අසල්වැසියෙක් හමුවුණා. ඔබ පැවිදි වෙලා කියා මුළු ගමම කියනවා. කිව්වා. සිටුවරයා මඟ නැවැතුණා. කල්පනා කරන්න වුණා. මේ මට අහම්බෙන් ලැබුණු කීර්තියක්. එය වනසා ගන්න හොඳ නෑ. පැවිදිවීම කොපමණ හොඳදැයි සිතුවා ආපසු රජගෙදරට ගියා.
ඇයි ඔබ ගිය සැණින් ආපසු ආවේ. රජතුමා ඇසුවා.
පැතිරී ඇති ආරංචිය සිටුවරයා කිව්වා. ඒ කීර්තිය නැති කරගන්න බෑ. මට පැවිදි වෙන්න අවසර දෙන්න ඔහු ඉල්ලා සිටියා. රජතුමා අවසර දුන්නා. සිටුවරයා පැවිදි වුණා. තපසට හිමාලයට ගියා. පඤචාගිඤ අෂ්ට සමාපත්තිය උපදවා ගත්තා. එදා ඒ තවුසා මමයි බුදුන් වදාළා.
(කල්‍යාණ ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක