2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

පියාගේ ධනය ගන්න කුමාරයකු යෙදූ උපාය

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

දෙව්රම් වෙහෙරේ බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයක එක් වංචාකාර භික්ෂුවක් ද එහි විසුවා. ඒ භික්ෂුවගේ ක්‍රියා ගැන අනෙක් භික්ෂුන් කලකිරුණා. බුදුන්වහන්සේට ඒ ගැන පැමිණිලි කළා. බුදුරජාණන්වහන්සේ ඒ පැමිණිල්ල විමසා බැලුවා. පසුව පැමිණිලි කළ භික්ෂුන් කැදෙව්වා. මහණෙනි! ඒ භික්ෂුව ගැන ඔබ කලබල වෙන්න ඕනෑ නෑ. ඔය භික්ෂුව පෙරත් වංචා කර තියෙනවා. ඒ පුරුද්ද ස්වාමීනී! අපට එය වටහා දුන්නොත් මැනවි. යැයි ඉල්ලා සිටියා.

බුදුන්වහන්සේ ඒ ඉල්ලීමට මෙම කතාව වදාළා.

පෙර දවස බරණැස බඹදත් රජකෙනකුට නැණවත් ඇමැතිවරයෙක් උන්නා. ඒ ඇමැතිවරයා එනුවර වැසියන්ගේ ද හොඳ හිත දිනාගත්තා. ඔහු නිසා යහපත්ව රජතුමා රටේ පාලනය ගෙනගියා. මේ අතර කොසොල් රට උන් රජතුමා සමඟ අමනාපයක් ඇතිකර ගත්තා. එතුමාගෙන් පළිගන්න හිතුවා සිව්රඟ සේනාව රැගෙන ගොස් සටන් කළා. සටනින් කොසොල් රට රජතුමා පැරැදුණා. බඹදත් රජතුමා එරට සියලු සම්පත් කොල්ල කෑවා. එරට අරාජික කළා. ආපසු ආවා.
බඹදත් රජතුමා එපුරෙන් ගෙන මහා වස්තුව හැළි පන්සියයක දැමුවා. රහසිගතව මඟුල් උයනේ නිදන්ගත කළා. පෙර පරිදි බරණැස පාලනය ගෙනගියා.

කොසොල් රට රජතුමාට පුතෙක් උන්නා. ඒ “බ්‍රහඡත්ත” නමින්. බඹදත් රජතුමා සිය මව්රට ආක්‍රමණය කරන විට ඒ කුමරු උන්නේ තක්සලාවේ ශිල්ප හදාරමින් දිසාපාමොක් ඇදුරුතුමා මේ කුමරුට වෙසෙස් සැලැකිල්ලක් දැක්වූවා. ඒ පියා අහිමි වීමත් සිය රාජ්‍ය අරාජික වීමත් නිසා. කුමරුට ඇදුරුතුමා විශේෂ ශාස්ත්‍රයක්ද ඉගැන්වූවා. ඒ නිධාන් සොයාගැනීමේ ක්‍රමයක්. කාලය ගෙවී ගියා. කුමරුගේ ශිල්ප කාලය නිමා වුණා. සිය රට බලා ආවා. කාටවත් තමා ගැන කීවේ නෑ.

කුමරු ඇවිත් බලන විට රට අසරණ වෙලා. කුමරු කල්පනා කළා. රට ගොඩනගන්නේ කෙසේද කියා. රටේ තිබූ සකල වස්තුවම බඹදත් රජතුමා ගෙන ගිය වගත් දැනගත්තා. ඒවා යළි ලබාගන්නේ කෙසේද කියාත් සිතුවා. ඒවා ගතහොත් රට ගොඩනැගිය හැකියැයි තීරණය කළා.

මේ අතර කොසොල් රට තවුසෝ පන්සියයක් උන්නා. කුමරු ඔවුන් වෙත ගියා. පැවිදි වුණා. ටික දිනක් කොසොල් රට පිඬුසිඟා ගියා. දනට ලැබුණේ කටුක ආහාර. ඒ වැසියන්ට හොඳ ආහාරවලින් දනක් දෙන්නවත්කම් නැති නිසා.
බ්‍රහඡත්ත තවුසා දිනක් අනෙක් තවුසන්ට යෝජනාවක් ගෙනාවා. අපි වෙන රටකට යමු කියා.

ඒ ඇයි? තවුසෝ ඇසුවා.

බලන්න. අපි පිඬ සිඟාගිය විට ලැබෙන ආහාර නීරස කටුක ඒවා. කුසගින්නට වළඳනවා මිස ප්‍රියමනාපයෙන් වැළඳිය හැකිද?

ඒවා නීරස ආහාර තමා. මේ රට පත්ව ඇති තත්ත්වයට ඒ දන්දීම මහා ලොකු දෙයක්. තවුසෝ කිව්වා. 

ඒක තමයි. මේ අසරණ වැසියන්ට කරදර නොකර අපි යමු.

හොඳයි කොහාටද යන්නේ.

බරණැසට යමු.

අපොයි බෑ.

ඒ ඇයි?

එනුවර වැසියෝ මිහිරි බොජුන්වලින් දන්දෙයි. ඒ වුණාට ඒ අය ප්‍රශ්න අහනවා. බණ කියන්න කරදර කරනවා. ඒක මහා කරදරයක්. එනිසා මෙහි දෙන දෙයක් වළඳා ඉම්මු.

ඒ ප්‍රශ්නවලට බියවන්න එපා. මම උත්තර දෙන්නම් බණත් කියන්නම්. අපි යමු.

ඒ තාපසවරුන් කුමරුගේ කීමට බරණැසට ගියා. පිඬුසිඟා නුවර වීදිවල ගියා. වැසියෝ විවිධ ප්‍රශ්න ඇසුවා. ඒ සියල්ලටම තවුස් වෙස්ගත් කුමරු පිළිතුරු දුන්නා. සමහර විට බණත් කිව්වා. තක්සලාවේ උගත් ශිල්පවලින් යුතු කුමරු බණවලට වැසියෝ කැමති වුණා. පිඬුසිඟා පසු තවුසන් පන්සිය සමඟ කුමරු මඟුල් උයනට ආවා. එහි නතර වුණා. බඹදත් රජතුමාට මේ තවුසන් ගැන ආරංචි වුණා. එතුමා තවුසන් රජගෙදරට කැදෙව්වා. අසුන් පැනැවූවා. නොයෙක් ප්‍රශ්න ඇසුවා.
තවුස් වෙසින් සිටි කුමරු දක්ෂ ලෙස ප්‍රශ්නවලට උත්තර දුන්නා. රජතුමා පැහැදුණා. තවුසන්ට මඟුල් උයනේ නවාතැන් ගන්න අසපු තනා දුන්නා. තවුසෝත් අසපුවලට ගියා. රජගෙදරින් දානයද ලැබුණා. දවස් දෙක තුනක් ගතවුණා. කුමරු දැනගෙන උන් නිධාන ශාස්ත්‍රයෙන් එනුවර පුරා බැලුවා. මඟුල් උයනද බැලුවා නිධන් දුටුවා. රහසිගතව නිධන් හැළිගත්තා. ඒවායේ තිබූ වස්තුව ගත්තා. හැළිවලට තණපත් දැම්මා තුබූ ලෙසට හැළි නිදන් ගත කළා. තවුසන් වෙත ගියා. ඔබ දැනගන්න මිය ගිය කොසොල් රජතුමාගේ පුතා මමයි. ඔබ තවුසන් වුණේ පරලොව ගැන සිතා මම තවුස් වෙස් ගත්තේ මරණ බය නිසා. මේ නුවරට ආවේ පියාගෙන් ගෙන ආ වස්තුව සොයා. එය හමුවුණා. දැන් මම කොසොල් රටට යනවා.
අපිත් එනවා. තවුසෝ කිව්වා. ඔවුන් සියල්ලම බරණැසින් පිටවී ගියා. කුමරු කොසොල් රට ඇමැතිවරැන් හමුවුණා. කරුණු කාරණා කිව්වා. ඔවුන් වැසියන්ට කුමරු හඳුන්වා දුන්නා. ඔටුනු පැළන්දුවා. කුමරැ අවි ශිල්ප දත් නිසා ප්‍රබල රාජකීය හමුදාවක් එරට ඇති කළා. යහපත් පාලනයක් ගෙනගියා.

බරණැස බඹදත් රජතුමා තවුසන් හිටිහැටියේ යෑම ගැන දුක් වුණා. ඒ අතර කොසොල් රට අලුත් රජතුමා ගැන ආරංචි වුණා. තවුසන් ද එරට බව දැනගත්තා. රජතුමාට මඟුල් උයනේ නිධන් කළ වස්තුව මතක් වුණා. එය ඔවුන් අරන් ගිය දැයි සැකයක් ඇති වුණා. වහා මඟුල් උයනට ගියා. නිධන් හැළිගොඩ ගත්තා. වස්තු නෑ. තිබුණේ වියළි තණපත්. රජතුමාට උන්හිටි තැන් අමතක වුණා. දැඩි ලෙස ශෝක වුණා. රජගෙදරට ගොස් කල්පනා කර කර උන්නා. රජතුමාගේ මේ වෙනස ආරංචි වී නැණවත් ඇමැතියා රජතුමා බලන්න ආවා. රජතුමා තණ තණ කියමින් උන්නා. 

දේවයන්වහන්ස ඇයි මේ ඇමැතිවරයා ඇසුවා. රජතුමා සියලු විස්තර කිව්වා. දේවයන්වහන්ස තවුසන් තමන් සන්තක දේ මිස අන්සතු දේ ගෙනයන්නේ නෑ. 

එතකොට නිධන් ගත්තේ කවුද?

කොසොල් රට දැන් ඉන්න රජතුමා. එතුමා තවුසන් සමඟ ඇවිත් නිධන් ගත්තා. ඒ නිධන්වල තිබුණේ එතුමාගේ පියාගේ වස්තුව. කියා කරුණු කාරණා පහදා දුන්නා.

ඒ කුමරු තමයි මේ භික්ෂුව බුදුන් වදාළා.

බී.පී.කේ. තිලක
බ්‍රහඡත්ත ජාතකය ඇසුරින් 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00