2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

කට නිසා තැන නැති කරගත් හංසයා

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 122

දේවදත්ත හිමියෝ ගයා නදී තෙර පන්සලක් තනාගෙන උන්නා. එහි පන්සියයක් දෙනා දේවදත්ත හිමියන්ගෙන් පැවිද්ද ලබා සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ පන්සිය දෙනාට රහත් ඵල ලැබීමට හේතු වාසනා ඇති බව දැක්කා. බුදුන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේ කැඳෙව්වා.

දේවදත්ත ස්ථවිර පන්සිය දෙනෙක් පැවිදි කරගෙන සිටී. ඒ අයට රහත් ඵල ලැබීමේ කුසල් ඇත. එම නිසා ඔබවහන්සේ එහි වඩින්න. ඔවුන්ට බණ කියා රහත් ඵල ලබාගන්න කටයුතු කරන්න වදාළා.

සැරියුත් මහ රහතන් වහන්සේ දේවදත්ත හිමියන්ගේ විහාරයට වැඩියා.

දේවදත්ත හිමියෝ බුදුන් වහන්සේ වගේ පෙනී සිටියා. රහතන් වහන්සේ දුටු විට සාරිපුත්‍රයෙනි! මට දැන් හරිම මහන්සියි. ඔබ මේ හිමිවරුන්ට බණ කියන්න. මම ටිකක් විවේක ගන්නම් කිව්වා. ධර්මාසනයෙන් බැස්සා. පිටුපසට වී ඇල වුණා. මඳ වෙලාවක් ගත වුණා. දේවදත්ත හිමියන්ට නින්ද ගියා.

සැරියුත් මහ රහතන් වහන්සේ හරබර දහම් දෙසුමක් කළා. ඒ පන්සිය නමම රහත් ඵලය ලබාගත්තා. සැරියුත් මහ රහතන් වහන්සේ ධර්මාසනයෙන් බැස්සා. දෙව්රම් විහාරයට යෑමට යන්න පිටත් වුණා. රහත් බව ලැබූ හිමිවරු රහතන් වහන්සේ පසුපසින් වැඩම කළා. දේවදත්ත හිමියෝ තද නින්දේ පසු වුණා.

හිමිවරුන් දෙව්රමට වැඩම කරනවා කෝකාලිත හිමියෝ දුටුවා. දේවදත්ත හිමි ළඟට ආවා. පයින් ඇන අවදි කරවා ගත්තා. ආන්.. හිමිවරු සැරියුත් හිමිත් සමඟ ජේතවනාරාමයට යනවා කිව්වා.

දේවදත්ත හිමි අවදිව නැගී සිටින විට රහත් බව ලැබූ හිමිවරුන් පන්සියයම දෙව්රම් වෙහෙරේ. සැරියුත් මහ රහතන් වහන්සේ දුටු බුදුන් වහන්සේ සාරිපුත්‍ර ඔබ දැක දේවදත්තයෝ කුමක්ද කළේ? විමසුවා.

ඔබවහන්සේ මෙන් පෙනී සිටියා.

කුමක්ද? ඔබට කිව්වේ.

මට ධර්ම දේශනාවක් කරන්න කියා ධර්මාසනය මට භාර දුන්නා. පසුව නිදාගත්තා. මම ධර්ම දේශනා කළා.

ඔය දේවදත්තයෝ දැන් නොව පෙර ද මා මෙන් පෙනී සිට වරද්දවා ගත්තා.

ස්වාමිනී! ඒ කෙසේද? වදාරනු මැනවි.

එවිට බුදුරජාණන් වහන්සේ මේ කතාව වදාළා.

පෙර දවස වේදේහ රට මියුලු නුවර වේදේහ නම් රජ කෙනෙක් රජ කළා. ඒ රජතුමාගේ හොඳ පාලනය නිසා එ නුවර අගහිඟ නොමැති යහපත් නුවරක් වුණා. සතා සිව්පාවෝ පවා නිදුකින් සතුටින් කල්ගත කළා.

මෙකල හිමාලයේ උන් ස්වර්ණ හංසයෙක් අහම්බෙන් වගේ මෙනුවරට ආවා. රෑ බෝ වුණා. ආපසු යන්න කාලයක් නැති වුණා. රාත්‍රිය ගත කරන්න සුදුසු තැනක් සෙව්වා. ඒ අතර තල් ගසක් උඩ කැවිඩියක් උන්නා. හංසයා කැවිඩිය ළඟට ගියා. 
කැවිඩිය ඌ ස්වර්ණ හංසයෙක් නිසා බියෙන් වගේ ඇයි ඔබ මේ කොහේ යන ගමන්ද? ඇසුවා.

මම මේ පාර වැරදිලා මෙහෙට ආවේ. මට දැන් ආපසු යන්න වෙලාවක් නෑ. දැන් අඳුර වැටිලානේ. ඒ හින්දා මේ රාත්‍රිය ගත කරන්න නවතින්න තැනක් සොයනවා. ඔබට බැරිද මට පිහිට වෙන්න. හංසයා කිව්වා.

හංසයාගේ මිහිරි හඬටත් රූප ස්වභාවයටත් මේ කැවිඩිගේ හිත ගියා. ඔමරි පා ඔබ කැමති නම් මේ ගසේ නවතින්න පුළුවන් කිව්වා.

වෙලාවේ හැටියට ඇගෙන් ප්‍රයෝජන ගන්න හංසයා හිතුවා. කැවිඩිත් සමඟ රාත්‍රිය ගත කළා. එසේ දවස් කිහිපයක් කැවිඩියත් සමඟ කාලය ගෙව්වා. ඌට හිමාලය මතක් වුණා. එහෙ ඉන්න දරුවන් සිහි වුණා. සොඳුර! මගේ ඉස්සර නවාතැනට ගොස් ඉක්මනට මම එන්නම් කියා හංසයා කැවිඩිට කිව්වා. යන්න සැරසුණා.

කැවිඩිය දුක් වුණා. එහෙත් උගේ ගමන නවත්වන්න උත්සාහ කළේ නෑ.

හංසයා පිටත්ව ගියා. ටික දිනකින් ආපහු ආවා. එසේ හිමාලයත් මියුලු නුවරත් අතර හංසයා නිතර යන්න එන්න වුණා. හංසයා නිසා කැවිඩිට පැටවෙක් ඇති වුණා. ඒ පැටවා පියා වගේ රන්වන් පාට වුණෙත් නෑ. මව වගේ කළු පාට වුණෙත් නෑ. නිල් පාටට හුරු පාටක් වුණා.

හංසයාගේ හිමාලයේ උන් පැටව් දෙන්නට පියා උන්නු ගමන් අතුරුදන් වීම ප්‍රශ්නයක් වුණා. උන් ඒ ගැන කල්පනා කරමින් උන්නා. දිනක් පියා හිමාලයෙන් යන්න සැරසුණා. පැටව් දෙන්නා ළඟට ආවා. පියාණෙනි මේ කොහේ යන්නද හදන්නේ? ඇසුවා.

මම මියුලු නුවරට යනවා.

එහි යෑම භයානකයි.

ඒ ඇයි?

එහි නිතර මිනිසුන් ගැවසෙනවා. ඔවුන්ගෙන් ඔබට ආන්තරාවක් වෙන්න පුළුවන්. ඒ නිසා යන්න එපා. 

මට එහි නොගිහින් බෑ.

ඒ කුමක් නිසාද?

ඒ නුවරත් මට ඔබ වගේ පැටවෙක් ඉන්නවා කියා සියලු විස්තර ඌ කිව්වා. ඒ නිසා පැටවා බලා එන්නම් කියා ද කිව්වා.

එපා. ඔබ යන්න එපා. ඔබට වඩා අපි තරුණයි. අපි ගිහින් එයා අරන් එන්නම්. ඉන්න තැන කියන්න.

හංසයා පැටවා ඉන්න තල් ගස කිව්වා. එය අසා හංසයන් දෙන්නා ඉගිල ගියා. තල් ගස සොයා ගත්තා. ඌට කරුණු කාරණා කියා හිමාලයට එන්න කැමති කරවා ගත්තා. ඌ පැටවෙක් නිසා ලීයක ඉඳුවා ගත්තා. හංසයෝ ලීය දෙකොනින් හොටවලින් අල්ලාගෙන මියුලු නුවර මැදින් ඉගිලුණා.

ඒ වන විටත් වේදේහ රජතුමා අසුන් බැඳි රථයක නැගී වීදි සංචාරය කරමින් උන්නා.

නිල් හංස පැටවා රජතුමා දුටුවා. මියුලු නුවර රජතුමා අසුන් හතර දෙනකු බැඳ රථයකින් බිමින් යයි. මම ස්වර්ණ හංසයන් දෙදෙනකු යොදන ලද රථයකින් ආකාශයෙන් යනවා කිව්වා.

එය ඇසූ හංසයන් කෝප වුණා. මූ මෙතැන මිය යන්න බිම දමන්න හිතුවා. එහෙම කළොත් පියා තමන්ට දඬුවම් කරයි යැයි සිතා කිසිවක් නොකොට හිමාලයට ගෙන ගියා. පියාට ඌ කී දෙය කිව්වා. මහ හංසයාත් කෝප වුණා. තොප තොපගේ තරම නොදනී. මළ මුත්‍රා කන තැන්වල විනා තොප වැනියන් මෙවැනි සොඳුරු තැන්වලට නොහොබී. ඔබ දෙදෙනා මූ ගෙන ගොස් ඒ කැවිඩිය ළඟ දමා එන්න කිව්වා. ඒ හංසයන් එසේ කළා. එදා ඒ නිල් හංස පැටියත් ඔය දේවදත්තම තමා යැයි බුදුහු වදාළා.

(විනිල ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00