සැවැත් නුවර බුදුන් සරණ ගිය උපාසකයෙක් උන්නා. ඔහු නිතර දෙව්රම් වෙහෙරට ගියා. බුද්ධ උපස්ථාන කළා. බණ ඇසුවා. පහන් සිත් ඇති කරගත්තා.
මේ උපාසකගේ පියා මහලුයි. ඒ පියාට සිටිය එකම පුතා මේ උපාසකයයි. එබැවින් පියයි පුතයි අපූරු බැඳීමකින් සිටියා. කාලය ගෙවී ගියා. මහලු පියා රෝගාතුර වුණා. පුතා පියාට බොහෝ වෙද හෙදකම් කළා. පලක් වුණේ නෑ. පියා එම රෝගයෙන්ම මියගියා.
මේ උපාසක පියාගේ මරණය නිසා දැඩි ලෙස කම්පා වුණා. නොකා නොබී පියා ගැනම දුක් වුණා. විහාරයට ගියෙත් නෑ.
බුදුරජාණන්වහන්සේ උපාසක දින කිහිපයකින් විහාරයට නොපැමිණීම නිසා ඊට හේතුව සෙව්වා. ඔහු ගැන දිවැසින් බැලූවිට සෝවාන් ඵලය ලබන්නට පින් ඇත්තෙක් බවත් දුටුවා.
බුදුරජාණන්වහන්සේ භික්ෂු නමක් සමඟ ඒ උපාසකගේ ගෙට වැඩියා.
ඒ වනවිටත් උපාසක බලාගත් අත බලාගෙන උන්නා. බුදුරජාණන්වහන්සේ දැක උන් අසුනින් නැගිට්ටා. වහා බුදුන් වහන්සේට අසුන් පැනවූවා. සිරිපද වැඳ එකත්පස් වුණා.
උපාසක ඔබ සෝකයෙන් නේද පසුවන්නේ?
එසේය ස්වාමීනි!
ඒ කුමක් සඳහාද?
ස්වාමීනි! මගේ පියාගේ මරණය නිසා. එය මට ඉවසාගත නොහැකිය කියා ඔහු අඬන්න පටන්ගත්තා.
උපාසක ඇඬීම නවත්වන්න. මළවුන් සඳහා ඇඬීම පල රහිතයි. එය මා පමණක් නොවේ පෙර උත්තමයෝ ද පවසා ඇත. නැසී ගිය අය වෙනුවෙන් සෝක වන්නන්ට අවවාද පවා කර ඇතැයි පවසා උපාසක සෝක නොවන්න හිත හදාගන්න යැයි බුදුහු යළිත් වදාළා.
එහෙත් උපාසකගේ සෝකය තුනී වුණේ නෑ. බුදුන්ට වැඳගෙනම උන්නා.
එවිට බුදුරජාණන්වහන්සේ ඔහුට මෙසේ වදාළා.
උපාසක ඔබ වගේ අය පෙරදවසත් උන්නා ඒ බරණැස. බොහෝ ඉස්සර. එකල එනුවර තුබූ ලොකුම සිටු ගෙදරක උන්නා.
ස්වාමීනි ඒ ගැන මට පහදා දෙන්න.
ඔහු සනසන අදහසින් බුදුන් වහන්සේ මෙම කතාව වදාළා.
යටගිය දවස ඒ සිටු ගෙදර සිටුතුමාට උන්නේ එක පුතයි. ඒ නිසා සිටුතුමා පුතාට බොහෝම ආදරයෙන් උන්නා. ඒ සිටු පුතාට නිසි කල සරණ මංගල්ලයක් කර දුන්නා. කල්යාමෙන් ඒ පුතාට ද පුතෙක් ඇතිවුණා.
කාලය ගෙවී ගියා. සිටුතුමා මහලු වුණා. එහෙත් පියපුතු අතර බැඳීම නොවෙනස්ව තිබුණා. පියාට සියලු උපස්ථාන පුතු විසින්ම කළා. ඉතා ආදරයෙන් රැකබලා ගත්තා.
මේ මහලු පියා රෝගාතුර වුණා. පුතා එකල දඹදිව සිටි දක්ෂ වෛද්‍යවරු කැඳවා වෙදහෙදකම් කළා. දිවා රැයේ පියා ළඟම උන්නා. කැවීම් පෙවීම් පවා පුතාම කළා. රෝගී පියාට තම පුතා තමා ගැන අසීමිතව වෙහෙසීම ගැන කම්පාවක් ඇතිවුණා. පුතේ වයසක මා ගැන ඔතරම් වෙහෙස වෙන්න එපා. ඔබ ඔබේ ජීවිතය ගැන සිතන්න. මේ ලොව උපන් හැමදෙනෙක්ම රෝගී වෙනවා. මියයනවා. ඒක ජගත් දහම. ඔහු පුතාට කිව්වා.
එය ඔහු පිළිගත්තෙ නෑ. පියා සුවකර ගැනීමට වෙහෙසුණා. පලක් වුණේ නෑ. එම රෝගයෙන්ම සිටුතුමා මියගියා.
උපාසක නොසෑහෙන්න දුක් වුණා. පියාගේ ආදාහනය ද කළා. ඉන්පසු සොහොනේ ඉතිරි වූ පියාගේ ඇටකටු අළු ගෙදර ගෙන ආවා. බඳුනක දමා මල් පහන් පූජා කළා. දවසේ වැඩිහරියක්ම පියා ගැන හිත හිතා දුක් වුණා.
මේ සිටුවරයාගේ ක්‍රියා කලාපය ගැන වැඩිහිටි අය දුක් වුණා. මියගිය අය යළි එන්නේ නෑ. හිත හදාගෙන පෙර මෙන් දවස ගෙවන්න. අවවාද කළා. ඒ ඔවා ඔහු නොපිළිගත්තා. දුක්මුසුව අළු බඳුනට පුදපෙත් කරමින් උන්නා.
ඔහුගේ පුතා උගත් නැණවත් කෙනෙක්. පියාගේ මේ පල රහිත ක්‍රියාව ගැන කල්පනා කළා. පියා මෙසේ හැසිරෙන්නේ සීයාගේ වියෝව ඉවසාගත නොහැකි සෝකයෙන්. ඒ නිසා කොතෙක් එපා කීවත් පලක් නෑ. කුමක් හෝ කළ යුතුයි සිතුවා. ඔහු මළ මී ගවයකු සොයාගෙන ආවා. තණකොළ, වතුර මැරුණු මී ගවයා ළඟින් තැබුවා. කාපිය බීපිය කිය කියා කෑගැසුවා. එය දුටු මිනිස්සු ඇයි ඔය ගවයා මැරුණු එකෙක්නෙ. ඉතින් කොහොමද තණ කන්නෙ දිය බොන්නේ ඇසුවා. සිටු කුමරා ඔවුන්ට උත්තර දෙන්න ගියේ නෑ. කාපිය බීපිය කිය කියා සිටියා.
ඒ මිනිස්සු සිටුතුමා වෙත ගියා. අන්න ඔබේ පුතා මෝඩ වැඩක් කරනවා. ගිහින් බලන්න කිව්වා.
සිටුතුමා ගියා.
පියා එනු දුටු පුතා තවත් හයියෙන් කාපිය බීපිය කිව්වා. පියා දෙස බැලුවේවත් නෑ.
සිටුතුමා මීගව කුණ ළඟට ගොස් බැලුවා. ඇයි පුතේ ඔබට ඔල්මාදෙද?
ඇයි පියාණෙනි?
ඇයි පුතේ මේ මැරුණු ගවයාට කන්න බොන්න පුළුවන්ද? ඕක අතහැර දාපන්.
පියාණෙනි! මේ ගවයාගේ සියලු ශරීර අංග තියෙනවා. ඒක නිසා මම හිතුවා මූ තණ කයි දිය බොයි කියා.
පුත ඔබ මෝඩයෙක්.
ඔව්. මම කරන දෙය මෝඩ වෙනවා නම් කිසිම ශරීර අවයවයක් නැති අළු බඳුනක් ළඟ තබාගෙන අඬාවැලපීම නුවණක්කාර ක්‍රියාවක්ද?
සිටුවරයාට සත්‍ය අවබෝධ වුණා. පුත ඔබ හරි. මළවුන් ගැන අඬීමේ පලක් නෑ කිව්වා. හිත හදාගත්තා. ඉන් පස්සේ අළු බඳුන ළඟ අඬා වැලපුණේ නෑ. බුදුන් වහන්සේ පවසා දහම් දෙසීමක් කළා. අවසානයේ උපාසකයා සෝවාන් ඵලය ලබාගත්තා.
සුජාත ජාතකය ඇසුරින්
බී. පී. කේ. තිලක