යසෝදරා මෙහෙණින් වහන්සේ නිතරම රාහුල හාමුදුරැවන් බලන්න ගියා. එක් දිනක් මේ මෙහෙණින් වහන්සේට රාහුල හාමුදුරුවන්ගේ විහාරයේදී බඩේ කැක්කුමක් ඇති වුණා. වහා එතුමිය මෙහෙණින් වහන්සේලාගේ ආරාමයට කැඳවාගෙන ගියා. මෑණියනි මීට පෙරත් ඔය වේදනාව හැදී තියෙනවාද යැයි රාහුල හාමුදුරැවෝ එතුමියගෙන් විමසුවා. ඔව්. එතුමිය කිව්වා. මොනවාද සුව වෙන්න ගත් බෙහෙත් ඇසුවා. අඹ සහ සකුරු එතුමිය කිව්වා. රාහුල හාමුදුරුවෝ ආරාමයෙන් පිට වී ආවා. සැරියුත් මහ රහතන් වහන්සේ වෙත වැඩියා.
ස්වාමීනි! මගේ මෑණියන් වහන්සේට රෝගයක් වැළඳී ඇත. එය සුව කරන්න අඹයි සකුරුයි ඕනෑ කර ඇත. ඊට මට උදව් කරන්න යැයි ඉල්ලා සිටියා.
සැරියුත් මහ රහතන් වහන්සේ රාහුල හාමුදුරුවන් කැඳවාගෙන කොසොල් රජ ගෙට වැඩියා. රජාංගනයේදී ඔය ඔතන වැඩ ඉන්න. මම රජතුමා හමු වී එන්නම්. රාහුල හිමිට පැවසුවා. රජගෙට වැඩියා.
කොසොල් රජතුමා අසුන් පැනවූවා. වැඩිය කාරණය විමසුවා.
මහරජතුමනි! මට අඹ සහ සකුරු ඕනෑයි පැවසුවා.
රජතුමා පාත්‍රය පිරෙන්න සකුරු සහ අඹ දුන්නා.
සැරියුත් මහ රහතන් වහන්සේ අඹ එහිදී වළඳන්නේ නැතිව පිටතට වැඩියා. රාහුල හාමුදුරුවන්ට අඹ පාත්‍රයම දුන්නා. මෙය අරන් ගිහින් මෑණියන්ට දෙන්න යැයි පැවසුවා.
කොසොල් රජතුමාට රහතන් වහන්සේ එතැනදී අඹ නොවැළඳීම ගැන කල්පනා කරන්න වුණා. රහතන් වහන්සේ මට කාරණය නොකියා අඹ කාට හරි දෙන්න ගෙනගියා කියා හිතුණා. රහතන් වහන්සේ අඹ දුන්නේ කාටදැයි සොයා බැලුවා. එවිට සියලු විස්තර දැනගත්තා. එදා පටන් කොසොල් රජතුමා දිනපතා යසෝදරා මෙහෙණින් වහන්සේට අඹ සහ සකුරු යවන්න වුණා.
මේ සිද්ධිය ගැන දම් සභාවේදී හාමුදුරුවරුන් කතාබහ වුණා. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි! පෙර දවසත් සාරිපුත්‍ර ස්ථවීර රාහුල මාතාවට අඹ සොයා දුන්නා යැයි පවසා මෙම කතාව වදාළා.
යටගිය දවස බරණැස බඹදත් රජතුමාගේ මඟුල් උයනේ බොහෝ තාපසවරුන් වැඩ සිටියා. මේ අය ධ්‍යාන වඩන තවුසෝ. මේ තවුසන් දැහැන් වඩන විට සක් දෙවියන්ගේ පඬුපුල් අසුන උණු වුණා. සක් දෙවියන් දිවැසින් බැලුවා. පඬුපුල උණුවීමට හේතුව තවුසන් බඹදත් රජතුමාගේ මඟුල් උයනේ දැහැන්ගත වීම නිසා බව දැනගත්තා. මෙසේ තවුසන් දිගටම දැහැන් ගත වුණොත් නිතරම පඬුපුල උණු වෙයි කියා හිතුවා. තවුසන් මඟුල් උයනෙන් අයින් කරන්න තීරණය කළා. සක් දෙවි රජතුමාගේ අගබිසවට හීනෙන් පෙනී සිටියා.
දේවිය ඔබ අභ්‍යන්තර අඹ කෑවොත් සක්විති රජ කෙනකුට නොදෙවැනි පුත් කුමරෙකු ඔබට ලැබෙනවා කිව්වා. නොපෙනී ගියා. පසුදා පහන් වුණා. බිසව යහනට වෙලා කල්පනා කර කර උන්නා. රජතුමා හිතුවා බිසව රෝගාතුර වෙලා කියා. රජතුමා බිසවගේ යහන වෙත ආවා. ඇයි බිසව ඔබ ලෙඩින්ද ඇසුවා.
ඔව් රජතුමනි! මට දොළදුකක් ඇතිවෙලා.
රජතුමා සතුටට පත්වුණා. කුමක්ද දොළදුක ඇසුවා.
අභ්‍යන්තර අඹ කන්න.
හොඳයි මම ගෙනත් දෙන්නම් කිව්වා. ඇමැතිවරුන් වෙත ගියා. මොනවද මේ අභ්‍යන්තර අඹ යැයි ඇසුවා.
දේවයන් වහන්ස අඹ ගස් දෙකක් අතර ඇති අඹ ගහක අඹ.
මඟුල් උයනේ එදවස තිබුණා හැමදාම ඵල හටගන්නා අඹ ගස්. රජතුමා සේවකයන් කැඳෙව්වා. ගස් දෙකක් අතර ඇති අඹ ගසකින් අඹ ගෙඩි කීපයක් කඩාගෙන එන්න කිව්වා. ඔවුන් ගියා. මඟුල් උයනේ තිබූ අඹ ගස්වල අඹ ඒ වනවිට සක් දෙවියෝ අතුරුදන් කරලා. එය නොදත් ඒ පුරුෂයන් සහ උයන්පල්ලා හැම අඹ ගසකම අඹ බැලුවා. නැති හින්දා පුදුම වුණා. ආපසු ඇවිත් රජතුමාට අඹ නැතිවග කිව්වා. එවිට රජතුමා ඔවුන් බරණැස පුරාම අඹ සොයා යැව්වා. සක් දෙවියෝ එය දැක මුළු බරණැසම අඹ නැති නුවරක් කළා. ඔවුන් ආපසු ඇවිත් රජතුමාට මුළු නුවරම අඹ නැති වග කිව්වා.
රජතුමා ඒ අතර මඟුල් උයනේ උයන්පල්ලා කැඳවූවා. සදාකාලිකව අඹ තිබුණු උයනේ අඹ නැති වෙන්න හේතුව ඇසුවා. උයන් පල්ලා බියවුණා.
දේවයන් වහන්ස! මේ උයනේ ඉන්නා තාපසයෝ අඹ කන්න ඇති යැයි බිය නිසා මුසාවක් කිව්වා.
එසේනම් තවුසන් මඟුල් උයනින් එළවා දමන්න කිව්වා. උයන්පල්ලා උයනට ගොස් එසේ කළා.
අගබිසවගේ දොළදුක තවත් වැඩි වෙලා. යහන්ගතවම සිටියා. ඒ දැක රජතුමා කම්පා වුණා. ඇමැතිවරුන් යළි කැඳෙව්වා. ඇමැතිවරුනි! බිසවගේ දොළදුක හොඳටම වැඩි වෙලා. ඉතින් කොහොමද අපි අභ්‍යන්තර අඹ සොයන්නේ ඇසුවා.
දේවයන් වහන්ස! හිමාලයේ ස්වර්ණ පර්වතයේ වෙසමුනි රජතුමාගේ අඹ වනයේ අඹ තියෙනවා. එතැනට මිනිසුන්ට යන්න බෑ. ඔවුන් කිව්වා. රජතුමා කවුද එහි යවන්නේ කියා කල්පනා කළා. රජගෙදර ඇතිදැඩි කරන ගිරවා මතක් වුණා. එතුමා ගිරවා ළඟට ගියා. ඔබට බොහෝම ආදරය කරන අගබිසවුන් දැන් රෝගාතුර වෙලා. ඇය සුවපත් කරන්න අභ්‍යන්තර අඹ කන්න දෙන්න ඕනෑ. ඒ අඹ තියෙන්නේ හිමාලයේ ස්වර්ණ පර්වතය ළඟ. එහි මිනිසුන්ට යන්න බෑ. යන්න පුළුවන් ඔබට පමණයි කිව්වා. ගිරවා ඒ ගමනට කැමැති වුණා. රජතුමා සතුටු වුණා. කූඩුව ඇරියා.
ගිරවා හිමාලය දෙසට ඉගිල ගියා. ඌ නැවතුණේ හිමාලයේ ස්වර්ණ පර්වතය ළඟ. එහි තිබූ අඹ උයන ලෝදැල්වලින් වට කරලා. මුරයට සිටියේ කුම්භාණ්ඩයන්. ගිරවා බලා හිටියා උන් නිදාගන්නකම්. ටික වේලාවක් ගියා. උන් නිදාගත්තා. ගිරවා ඉගිල ගොස් ලෝදැලේ කවුළුව අරින්න හැදුවා. එතකොට මහ හඬක් නැගුණා. කුම්භාණ්ඩයෝ ඇහැරුණා. ගිරවා අල්ලාගත්තා. මූ හමගසා මරමු. නෑ. පණ පිටින් පුළුස්සමු. කුම්භාණ්ඩයෝ කතා වුණා.
ඔබ කුමන ආකාරයෙන් මා මැරුවත් කම් නෑ. ඒ මම ආවේ යහපත් වැඩකට නිසා.
කුම්භාණ්ඩයෝ පුදුම වුණා. කුමක්ද ඒ යහපත් කාරණය? ඔවුන් ඇසුවා.
එවිට ගිරවා සියලු විස්තර කිව්වා. ඒ කුම්භාණ්ඩයන්ට ගිරවා ගැන දුක හිතුණා. ඔබ ගැන අපිට දුකයි. ඒත් මේ ගස්වල අඹ ඔබට දෙන්න අපට බෑ. දුන්නොත් අපට දඬුවම් විඳින්න සිදු වෙනවා. ඒ නිසා ඔබ යන්න (අන්ජන) පර්වතයේ වැඩවසන ජෝතිය තාපසතුමා ළඟට. එතුමාට හැමදාම මේ උයනේ අභ්‍යන්තර අඹ ගෙඩි හතරක් යවනවා. තාපසතුමාට කාරණය කිව්වම ඔබට අඹ දෙයි. ඔවුන් කිව්වා. ගිරවා ඔවුන්ට ස්තූති කර අන්ජන පරුවතයට ගියා. තවුසානන්ට විස්තරය කිව්වා. ජෝතිය තවුසානෝ අඹයක් ගිරවට කන්න දුන්නා. තව අඹ ගෙඩියක් ගිරවාගේ ගෙලේ බැන්දා. ඌ තවුසාට නමස්කාර කොට බරණැස රජ ගෙදරට ආවා. ඒ අඹය කෑමෙන් පසු බිසවගේ දොළදුක සංසිඳුණා.
එදා ඒ ගිරවා ආනන්ද ස්ථවීර. ජෝතිය තාපසයෝ සාරිපුත්‍ර ස්ථවීර. බුදුන් වදාළා.
අභ්‍යන්තර ජාතිකය ඇසුරින්
බී. පී. කේ. තිලක