2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

උගත්කමට වඩා කුලය රැකීමෙන් වුණු ලැජ්ජාව

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

වංචාවෙන් ප්‍රයෝගයෙන් කල්ගෙවන භික්ෂුවක් දෙව්රම් වෙහෙරේ වාසය කළා. ඒ භික්ෂුවගේ ඒ නොපනත් ක්‍රියාව ගැන වැඩිහිටි භික්ෂූන්වහන්සේලා අවවාද කළා. ඒ භික්ෂුව නොවේ ඒවා ගණන් ගත්තේ. බැරිම තැන භික්ෂූන්වහන්සේලා ඒ භික්ෂුව ගැන බුදුරජාණන්වහන්සේට පැමිණිලි කළා.

බුදුන් වහන්සේ භික්ෂුව කැඳෙව්වා. ඔබ වංචා ප්‍රයෝගවලින් දවස් අරින්නේදැයි. විමසුවා.

ඒ භික්ෂුව නිහඬ වුණා.

අනෙක් භික්ෂූන් ඒ භික්ෂුව කළ ක්‍රියා බුදුන් ඉදිරියේ කිව්වා.

එවිටත් භික්ෂුව බිම බලාගෙන උන්නා.

මහණෙනි! මේ භික්ෂුව පෙරත් වංචාවෙන් කල්ගත කළායැයි පවසා බුදුහු මේ කථාව වදාළා.

යටගිය දවස බරණැස් නුවර මහා ප්‍රතාප නම් රජකෙනෙක් උන්නා. ඒ රජතුමාට නුවණැති පුරෝහිත බමුණෙක් ද උන්නා. රජතුමා ඔහු ගැන විශ්වාස කළා. හැමදෙයක්ම ඔහුගෙන් අසා තමයි කෙළේ. මේ පුරෝහිතට අතවැස්සෝ වශයෙන් බමුණෝ පන්සියයක් උන්නා. ඒ අතවැස්සන් අතර ශ්වේතකේතු නමින් බමුණෙක් උන්නා. ඔහු මහා උඩඟු කෙනෙක්. තරුණයි. සිය වංශය උසස්කොට තැකුවා. නැති පණ්ඩිතකම් පෙන්නුවා.

මේ බමුණා දිනක් මහ මඟයනකොට එක් චණ්ඩාලයෙක් ඒ මඟම යන්න ආවා. ඔබ කවුද මොන කුලයේද බමුණා ඇසුවා.

මම චණ්ඩාලයෙක්.

එසේ නම් තොප දැනගනුව මම තමයි ශ්වෙතකේතු බමුණා. අප උසස් කුලයේ මිනිස්සු. තොප නීච කුලයේ. ඒ නිසා යටි සුළඟේ එව. මා පසු පස එව.

ඔබ බමුණෙක් වුණාට මෝඩයෙක්. ඒ නිසා මෝඩයකු පිටිපස්සෙන් මම එන්නේ නෑ.

තොප කෙසේද මම මෝඩයෙක් කියන්නේ. මම මෙනුවර පුරෝහිත බමුණාගේ සේවකයෙක්.

පුරෝහිතගේ සේවකයා වූ පමණින් නැණවතෙක් වෙනවාද? ඉන්ම ඔබ අනුවණයෙක් බව පේනවා. 

නීචය තොප මට අගෞරව කරන්නද එන්නේ.

අගෞරවයක් නොවේ මම කිව්වේ ඇත්ත. කියමින් ඒ චණ්ඩාල මිනිසා ඔහුට ඉස්සර වුණා.

නීචයා නතරවනු. මම කිව්වා නේද තොපට මා පසු පස එව කියා.

නෑ... මම එහෙම එන්නෙ නෑ.

ඒ ඇයි?

ඒ කොහොමද තොප කියන්නේ.

මට දැනෙනවා ඔබ අනුවණයෙක් බව. 

එය කොහොමද දැනෙන්නෙ.

හරි මම පැනයක් ඔබෙන් අහනවා. ඊට උත්තර දෙන්න. බැරි වුණොත් ඔබ මට හිස නමන්න ඕනෑ. ඔට්ටුද?

ඔට්ටුයි. මේ බමුණා උඩඟු ලෙස කිව්වා.

හොඳයි දිශාව කවරේද?

බමුණා කල්පනා කරන්න වුණා. ටික වෙලාවක් ගියා.

ඇයි කල්පනා කරන්නේ උත්තර නැද්ද?

ඇයි උත්තර නැත්තේ සතර දිශාව අනුදිශාව.

නැත බමුණා. මව්පියන්ම ඇති උත්පත්තිය. ඊට පූර්ව දිග දිශා කියාද කියනවා.

බමුණා නිහඬ වුණා. බලා සිටියා.

දැන් ඔට්ටුව ඉටු කරන්න.

බමුණා පළායන්න හැදුවා. චණ්ඩාල මිනිසා ඔහුගේ කරෙන් අල්ලා ගත්තා. හිස පහත් කළා තමාගේ කකුල බමුණාගේ හිසට උඩින් දැම්මා. මේ සිද්ධිය. මිනිස්සු බලා සිටියා. ඒ ගැන කථාවෙන්න වුණා. එය පුරෝහිත බමුණාට ආරංචි වුණා. ශ්වේතකේතු බමුණා කැඳෙව්වා. සිද්ධිය පිළිබඳව ඇසුවා.

බමුණා සිදුවූ සියල්ල කිව්වා.

ශිල්ප නොදැන පණ්ඩිතකම් පෙන්වන්න එපා.

අනෙක් කුලයට පමණක් නොවේ උගත්කමටත් ගරු කරන්න ඕනෑ. ඒ මිනිසා චණ්ඩාලයෙක් වුණාට ඔබට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගතෙක්. ඒ උගත් මිනිසාට අගෞරව ලෙස ඔබ හැසිරීම කතා කිරීම අන්තිම වැරැදියි. ඉන් ඔබේ අනුවණකම් තවත් ප්‍රදර්ශනය වුණා. තාමත් ඔබට ශිල්ප හදාරන්න පුළුවන්. යැයි අවවාද කළා. දිශා ගැනත් කියා දුන්නා. දිශාව මව්පියන් ඇතිවන උත්පත්තිය. තමගේ ගුරුවරුන් වසන දිසාව දකුණු දිසාව. ශිලාදි ගුණයෙන් යුක්ත සත්පුරුෂයන් වසන දිශාවක් ද වෙයි. මේ හැමට වඩා නිවනට යන මාර්ගය ඇති දිශාව ප්‍රධාන වෙයි කිව්වා.

ශ්වේතකේතු බමුණා නිහඬව පුරෝහිතගෙන් වෙන්වී ආවා. කල්පනා කරන්න වුණා. මේ පුරෝහිත මටම වැරැදි කිව්වා. චණ්ඩාලයා ගැන කිසිදොසක් කිව්වේ නෑ. මෙහෙම හාම්පුතාලාගෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? මම ඔහු ළඟට මීට පස්සේ යන්නේ නෑයි තීරණය කළා. ඉන් පස්සේ ඒ පුරෝහිත ළඟට ගියේ නෑ. ශිල්පය හදාරන්න තක්සලාවට ගියා. දිසාපාමොක් ඇදුරුතුමාගෙන් ශිල්ප හැදෑරුවා. ආපසු බරණැසට ආවා. අතරමඟදී ඔහුට තාපසවරු ඉන්න ඉසව්වක් හමුවුණා. ඔහු එහි ගියා. පැවිදි වුණා. ඒ තවුසාට ටික දිනක් යන යන විට අනෙක් තවුසෝ ගරුකරන්න වුණා. ඒ ඔහු තක්සලාවෙන් සිප්සත හැදෑරූ උගතෙක් කියා. තව දිනක් යනවිට මේ තවුසා ඒ තවුසන්ගේ නායකයා වුණා. පසුව ඔහු ඒ තවුසන් සමඟ බරණැසට ආවා. මඟුල් උයනේ නතර වුණා.

ඒ තවුසන් දහවල පිඬුසිඟා ගියා. සවස උයනට ඇවිත් නතර වුණා. රජතුමා මේ තවුසන් ගැන පැහැදුණා. ඒ උයනේ ඔවුන්ට අසපු තනා දුන්නා. බරණැස රජතුමා තමන් ගැන පැහැදී ඇති බව දැනගත් ශ්වේතකේතු නම් තවුසා රජතුමාගෙන් වාසිගන්න හිතුවා. අනෙක් අයට කිව්වා රජතුමා එනවිට එක එක ඉරියව්වලින් තවුස් වෘත රකින්න කියා. ඒ ඇයි ඔවුන් ඇසුවා. එවිට අපට පිඬුසිඟා යන්න වෙන්නේ නෑ. රජගෙදරින් ආහාර දෙයි කියා. ඒ ඇසූ තවුසෝ ඊට කැමැති වුණා.
රජතුමා පුරෝහිත සමඟ උයනට ආවා. තවුසෝ නොයෙක් විලසට වෘත රකිනවා. මේ මොකද රජතුමා පුරෝහිතගෙන් ඇසුවා.

ඔය මුලාවක්. ඔය කරන දෙයින් හොඳ විපාක නෑ. පලක් නැති වැඩක් පුරෝහිත කිව්වා.

එය ඇසූ තවුසෝ මෙයින් විපාකයක් නැති කල අෂ්ට දශ ශීලයෙන්ද චතුර් වේදයෙන් ද කිසි ප්‍රයෝජනයක් නැද්ද? එසේ නම් මහ බ්‍රහ්මණයා මේ ශාස්ත්‍ර මෙලොවට ගෙන ආව කාරණය කිම්ද?

එය කෙසේ වෙනත් තොපගේ ශාස්ත්‍රය මෙලොවට විනා පරලොවට ප්‍රයෝජනයක් නෑ. දේවයන් වහන්ස මේ වංචා ප්‍රයෝගකාරයන්ගේ අඳුන් දිවිසම ජටාමඬුලු ගලවා සේවකයන් කළොත් මැනවි ඔහු කිව්වා. රජතුමා එසේ කළා. එදා ශ්වේතකේතු බමුණා ඔය භික්ෂුව බුහුදු වදාළා. 

බී.පී. තිලක
ශ්වේතකේතු ජාතකය ඇසුරින්