2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

අසිරිමත් රජ කෙනෙක්

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 243

දෙව්රම් වෙහෙරේ දම් සභාවට රැස් වූ හාමුදුරුවරු රජවරුන් භුක්ති විඳින අසීමිත සැප සම්පත් ගැන කතාබහ වුණා. ඒ සැප සම්පත් අතර අභිනික්මන් කළ රජවරුන් ඉන්න ඇති නේද? එක් භික්ෂුවක් විමසා සිටියා. ඒ අය අසිරිමත් අය. තවත් භික්ෂුවක් කිව්වා. ඒ අය පින් පුරන්නෝ. අනෙක් භික්ෂූන් පැවසුවා.

මහණෙනි! එවැනි රාජ්‍යශ්‍රිය අතහැර මහණ වී ඵල ලබාගත් උත්තමයෝ පෙර කල උන්නා. බුදුන් වදාළා.

ස්වාමිනී! අපට ඒ රජ කෙනෙක් ගැන විස්තර කර දෙනු මැනවි. භික්ෂූන් ඉල්ලා සිටියා.

එවිට බුදුන් වහන්සේ මේ කතාව වදාළා.

පෙර කල බරණැස බඹදත් රජ කෙනකුට පුත් කුමරෙක් උන්නා. ඒ වයසේම පුතෙක් රජතුමාගේ පුරෝහිතටත් සිටියා. ඒ කුමරු බොහොම ප්‍රියමනාපයි. මුඛය හරිම ලස්සනයි. ඒ නිසා දරිමුඛ නමින් ඒ කුමරු හැඳින්වුවා. මේ දෙන්නා ශිල්ප හදාරන්න තක්සලාවට ගියා. ගුරුසිත නොරිදවා සිප්සත හැදෑරුවා. ශිල්ප කාලය නිම වුණා. ආපසු ගම රට බලා ආවා. අතරමගදී වෙහෙස මහන්සිය දැනුණා. මග තිබූ ගෙදරකට ගොඩ වුණා. ඒ ගෙදර හිටියේ මහළු ස්ත්‍රියක්. ඇය කුමාරයන්ගේ රෑප සොබාව දැක, මේ දෙන්නා චතුර්වේදය දැනගත් අය යැයි සිතා හොඳින් පිළිගෙන පුටු දෙකක් ගෙනත් එකකට රතු රෙද්දක් දැම්මා. අනිකට සුදු රෙද්දක් දැම්මා. මේ අතර පුරෝහිත පුතා පේන බැලුවා. බඹදත් රජතුමා මියගිහින්. ඊළඟට රජ වෙන්නේ මේ රාජ කුමාරයා. ඒ නිසා පුරෝහිත පුතා රතු රෙද්ද දැමූ පුටුවේ ඉඳගත්තා. රාජ කුමාරයා සුදු රෙද්ද දැමූ පුටුවේ වාඩි වුණා.

මහළු ස්ත්‍රිය ඉක්මනින් කෑම පිළියෙළ කළා. කුමාරයන් ඒ වන විට හිටියේ කුසගින්නේ. ඒ කෑම කුස පිරෙනතුරු කෑවා. බත්මත ඇතිවුණා. ඔවුන් මහළු කතට ස්තූති කළා. පිටත් වුණා. මත වැඩි නිසා ගමන් අපහසුව දැනුණා. මඟුල් උයනට ගියා. නිදාගත්තා. දෙන්නටම නින්ද ගියා.

ඇමැතිවරුන් දැනගත්තා රාජ කුමාරයා තක්සලාවෙන් පිටත්ව ඇවිත් බව. පුස්ස රථය (මඟුල් රිය) ගෙන කුමරු සොයා ගියා. ඔවුන් මඟුල් උයනට ගියා. කුමරු දුටුවා. ඇහැරෙව්වා. පියරජ මියගිය පුවත කිව්වා. රාජ්‍ය භාරගන්න එන්න කිව්වා. කුමාරයා රථයට නැග ගියා.

පුරෝහිත කුමරු ඒ දෙස බලා හිටියා. පසුව ඉඳගෙන කල්පනා කළා. ඔහු දුටුවා වියළි පතක්. එය අහුලා ගත්තා. ඒ කොළය ගැන මෙනෙහි කළා. මේ කොළය පළමුකොට අංකුරයක්. කෙමෙන් වැඩී බැබලී තිබුණා. කාලය විසින් එය වියළි බවට පත් කළා. ඉන් කියැවෙන්නේ සියලු සංස්කාර අනිත්‍ය බව. පුරෝහිත කුමරැට සිතුණා. උයනේ සිට භාවනා කළා. පෙර පින් පහළ වුණා. සියලු කෙලෙස් නැසුවා. පසේබුදු පදවිය ලැබුවා. අහසින් ගන්ධමානා පර්වතයට වැඩම කළා.

බරණැස් කුමාරයා රාජ්‍යයට පත්වී වසර හතළිහක් ගත වුණා. ඊටපස්සේ තමයි යහළුවා මතක් වුණේ. මේ රජතුමා දරිමුඛ සොයාගෙන එන්න රාජපුරුෂයන් යැව්වා. ඔවුන්ට ඔහු සොයාගන්න බැරිව ගියා. ආපසු ඇවිත් රජතුමාට ඒ බව කිව්වා. රජතුමා කම්පාවට පත් වුණා. කාලය ගෙවී ගියා. තවත් වසර දහයක් ගත වුණා.

දරිමුඛ පසේ බුදුන් වහන්සේට රජතුමා මතක් වුණා. මේ වන විට එතුමා දරු මුණුබුරන් ලැබ සතුටින් ඇතැයි සිතුණා. අහසින් බරණැසට ආවා. මඟුල් උයනේ වැඩ සිටියා.

රජතුමාට එය ආරංචි වුණා. මඟුල් උයනට ගියා. වැඳ එකත්පස් වුණා.

මහරජ! ඔබ දැහැමින් සෙමින් රාජ්‍ය කරනවාද? පසේ බුදුන් විමසුවා.

එසේය. රජතුමා කිව්වා.

රජතුමනි! සත්ත්වයෝ රාග ද්වේශ මෝහ මදමාන පිරි සංසාර මඩේ එරී සිටී. ස්වර්ග මෝක්ෂාදියට යා නොහැකිව සිටී. මේ ලෝකයේ සත්වයන්ගේ සන්තානයේ හටගන්නා වූ කෙලෙස් නමැති දූලි සත්වයාට මාර්ග ඵල අඳුරු කරනවා. සිත කිළුටු කරනවා. එබැවින් ඔබ ඔය වස්තු කාමය අතහරින්න. තපසට යන්න. යනුවෙන් කරුණු කාරණා පහදා දී ධර්ම දේශනාවක් කළා.

රජතුමා ඊට හොඳින් සවන් දුන්නා.

රජතුමනි! කුමක්ද දැන් කියන්නේ. තපසට යනවාද?

ස්වාමිනී! මම වස්තු කාම ක්ලේශ කාමයෙහි බැඳී ඇත. පංච කාම විෂයෙහි ද තදින් ඇලී ඇත. ඒ නිසා පස්කම් සැපතෙන් වෙන්ව ජීවත් විය නොහැක. ගිහිගෙයි සිට දානමානාදිය දී බොහෝ කුසල් රුස් කරනවා. කොටින්ම මහණව තපස් රක්ෂා කරන්න බෑ.

රජතුමනි! මේ ලෝකය උන්මාදවලින් විසංඥා වෙනවා.

ඒ කෙසේද ස්වාමිනී!

මෝහයෙන් උපදින කාම උන්මාදය. අනිෂ්ට විනාශ උපදනා වූ ක්‍රෝධ උන්මාදය. සංඥා කරවන දර්ශන උන්මාදය. අඥාන බවට පමුණුවන මෝහ උන්මාදය. යක්ෂයන් වසඟයට පමුණුවන යක්ෂ උන්මාදය. චිත්ත අධික බවට පමුණුවන චිත්තෝන්මාදය. පාන වසඟ කරවන සුරා උන්මාදය. ශෝක අධික වීමෙන් වන ව්‍යසන උන්මාදය යනුවෙන් පසේ බුදුන් වහන්සේ පහදා දුන්නා.

ස්වාමිනී! මට කාම උන්මාදය නිතර හටගන්නවා. ඒ නිසා මහණ වන්න බෑ.

මහරජ! සතකු මව් කුසින් බිහිවන්නේ විලවුන් සුවඳින් නොවේ. අපවිත්‍ර මිශ්‍රවය. උපන් දින සිට දුක් විඳීම මිස සැපතක් නැත යනුවෙන් පවසා කාම උන්මාදය ගැන ද දිගු විස්තරයක් කරමින් ධර්ම දේශනාවක් ද කළා.
රජතුමා නිහඬව අසා උන්නා.

මහරජ ඔබ මහණ වීම ඔබගේ කැමැත්ත වේ. මම ඊට අදාළව සියලු ආදිනව පැවැසුවා කී පසේ බුදුන් වහන්සේ ගන්ධමානා පර්වතය බලා අහසින් වැඩියා.

බරණැස රජතුමා කල්පනා කරන්න වුණා. පසේ බුදුන් වහන්සේ මට සත්‍ය පෙන්වා දුන්නා. මම පැවිදි විය යුතු යැයි සිතුවා. ඇමැතිවරු කැඳෙව්වා. මම පැවිදි වෙනවා කිව්වා.

ඇමැතිවරු අඬ අඬා පැවිදි වෙන්න එපා යැයි ඉල්ලා සිටියා. කන්නලව් කළා.

රජතුමා එය ඇසුවේ නෑ. හිමාලයට ගියා. පැවිදි වුණා. දැහැන්ගතව සිට පංච ඍද්ධි අෂ්ඨ සමාපත්තිය උපදවා ගත්තා. බුදුන් වදාළා.

(දරීමුඛ ජාතකය ඇසුරින්) 

බී.පී.කේ. තිලක