2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

කැවුම් දානය නිසා සැමියා අහිමි වෙයි

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

සැවැත් නුවර කාණ මාතා නම් උපාසිකාවක් උන්නා. ඇයට ඒ නම වැටුණේ දුව නිසා. ඒ දුව තමයි ඇයට සිටි එකම දරැවා. අතිශය රූමත් ඇය දෙස එක් වරක් බැලුවකු වශී වෙනවා. නැවත වෙනත් ස්ත්‍රියක් දෙස බලන්නේ නෑ. ගැහැනුන් ළඟ කණෙක් වගේ ඉන්නවා. මේ නිසා ඒ දුව කාණ ලෙස හැඳින්වූවා. දුව කාණ නිසා මව කාණ මාතාව වුණා.

මේ කාණ දුව වෙනත් ජනපදයක රූමත් තරුණයෙක් සරණ පාවා ගත්තා. ඊටපසු කාණ මාතාව දන්පින් කරමින් උන්නා. දුව දිනක් මව බලන්න ආවා. දින කිහිපයක් මව ළඟ නතර වුණා. සැමියා ජනපදයේ තනියම සිටියේ. ඔහු බිරිඳට ඉක්මනට මවත් සමඟ එන්න කියා පණිවිඩයක් එව්වා. කාණ මාතාව කැවිලි පෙවිලි ටිකක් හදාගෙන බෑනා බලන්න යන්න හිතුවා. කැවුම් හදන්න පටන්ගත්තා. මේ අතර භික්ෂුවක් ඒ ගෙදරට පිඬු සිඟා වැඩියා.

ඔවුන් තිසරණ සරණ ගිය අය නිසා සතුටට පත්වුණා. කාණදුන භික්ෂුවගේ පාත්‍රය පිරෙන්න කැවුම් පූජා කළා. භික්ෂූන් වහන්සේ ආපසු වැඩියා. අතරමගදී තවත් භික්ෂුවක් හමුවුණා. අවැත්නි! කාණමාතාවගේ ගෙදර කැවුම් පූජා කරනවා වඩින්න කිව්වා. ඒ භික්ෂුවත් ඒ ගෙදරට වැඩියා.

කාණ දුව භික්ෂුවගේ පාත්‍රය පිරෙන්න කැවුම් පිදුවා.

කැවුම් සිඟා ගත් ඒ භික්ෂුවත් වඩින විට තවත් භික්ෂුවක් හමුවුණා. කැවුම් පූජාව ගැන ඒ භික්ෂූවට කිව්වා. ඒ භික්ෂුව කඩිනමින් කාණ මාතාවගේ ගෙදරට පිඬු සිඟා වැඩියා. 

කැවුම් පූජාව දිගටම

කාණදුව පෙරසේම පාත්‍රය පුරවා කැවුම් පූජා කළා.

මේ තුන්වැනි භික්ෂුව කැවුම් ගෙන වඩින විට වෙනත් භික්ෂුවක් හමු වුණා. කැවුම් දානය ගැන කිව්වා. ඒ භික්ෂුවත් කාණ මාතාවගේ ගෙට වැඩියා.

ඒ දුව භික්ෂුවගේ පාත්‍රයට කැවුම් පිදුවා. එසේ කැවුම් පිදීම නිසා කාණ මාතාව හැදූ කැවුම් සියල්ලම ඉවර වුණා. නැවත කැවුම් හදන්න සිදුවුණා. ඊට කාලයක් ගතවුණා. 

මේ අතර බිරිය එනතුරු බලා උන් සැමියා ඇගේ පමාව නිසා කෝප වුණා. ඇගෙන් පළි ගන්න වෙනත් ස්ත්‍රියක් ගෙදර ගෙන ආවා. මම වෙනත් බිරිඳක් ගත්තා. ඔබ යළි මෙහෙ එන්න එපා කියා පණිවිඩයක් කාණදුවට එව්වා.
කාණදුව සැමියා වෙනත් බිරියක් ගැනීම ගැන කම්පාවට පත්වුණා. අඬන්න හැපෙන්න පටන්ගත්තා.

කාණමාතාවත් කනගාටුවට පත්වුණා. කල්පනා කර කර උන්නා. මේ සිද්ධිය එනුවර පුරා පැතිර ගියා. දෙව්රම් වෙහෙරටත් ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ කාණ මාතාවගේ ගෙදරට වැඩම කළා. ඇය බුදුන්ට අසුන් පනවා වැඳ පසෙකට වුණා. ඒ වනවිටත් කාණදුව අඬමින් දුකින් පසු වුණේ. ඇයි ඔබ දුකින් බුදුන් විචාළා.

ස්වාමීනි මගේ දුවට කරදරයක් වුණා කියා කාණ මාතාව සිදු වූ සියල්ල කීවා.

බුදුරජාණන්වහන්සේ කාණ දුවගේ හිත සැනසෙන ලෙසට ධර්ම දේශනාවක් කළා. ඉන් ඇය හිත හදාගත්තා. ඊටපස්සේ සැමියා ගැන දුක්වුණේ නෑ. බුදුන්වහන්සේ දෙව්රම් වෙහෙර බලා වැඩම කළා.
දම් සභාවට රුස් වූ භික්ෂූන් වහන්සේලා කාණ මාතාවට භික්ෂූන් හතර නමක් නිසා වුණු ඇබැද්දිය ගැන කතාබහ වුණා. මහණෙනි ඔය භික්ෂූන් නිසා පෙරත් ඔය මාතාවට අලාභ සිදුවුණා. බුදුන් වදාළා.
ස්වාමීනි ඒ කෙසේ දැයි අපට පහදා දෙන්න. භික්ෂූන් ඉල්ලා සිටියා.

එවිට බුදුරජාණන් වහන්සේ මේ කතාව වදාළා.

ගල් වඩුවයි මී දෙනයි

යටගිය දවස බරණැස ගල් වඩුවෙක් උන්නා. ඔහු හොඳ යහපත් කෙනෙක්. සතා සිව්පාවට පවා මෛත්‍රී කළා. උදවු කළා. එකල බොහෝ සම්පත් තිබුණු සිටාණන් කෙනෙක් උන්නා. පිනක් දහමක් ඔහු කරලා නෑ. ඔහු මියගියා. සිය ධනයට ඇති ආශාව නිසා ඔහු මූසිකාවක් (මීදෙනක්) උපන්නා. ඒ ඔහුගේ නිදන් වළලා තිබූ බිමක. එහි ගල් වළක් ද තිබුණා. ඒ ගල් වළේ තමයි යහපත් ගල් වඩුවා ගල් කැඩුවේ. මූසිකාව දැක්කත් හිරිහැර කළේ නෑ.

ඔහුගේ කාරැණික බව ගැන මූසිකාවට පැහැදුණා. මගේ සම්පත් මා සඟවා ඇත්තේ මෙතැන. ඉන් මට ප්‍රයෝජනයක් නෑ. ඒවා සත් පුරුෂයකුට දී මමත් ප්‍රයෝජන ගත යුතුයි. ඒ මූසාකාවට සිතුණා. ඌ සම්පත්වලින් රත්රන් ටිකක් ගත්තා. එය ගෙනැවිත් ගල් වඩුවාට දුන්නා. මේ රන් විකුණන්න. ඉන් මට දඩ මස් ටිකක් ගෙනත් දෙන්න. ඉතිරි මුදල් ඔබගන්න කිව්වා. ගල් වඩුවා එසේ කළා.

මූසිකව එසේ කල් ගෙවන විට බළලෙක් මුසිකාව දැක්කා. පැන අල්ලාගත්තා.

අනේ මා අතහරින්න කියා ඌ බැගෑපත් වුණා.

බෑ මට ගොදුරක් නෑ. බළලා කිව්වා.

ගොදුරක් සොයාගන්න මා අතහරින්න.

ගොදුර තමයි ඔබ. ඉතින් කුමකටද අතහරින්නේ.

හොඳයි මට දඩ මස් ලැබෙනවා. ඉන් කොටසක් ඔබට දිනපතා දෙන්නම් මා අතහරින්න.

බළලා කල්පනා කළා. මූ මැරුවොත් අද පමණයි මස්. මූ නොමැරුවොත් දිනපතා මස් ලැබෙනවා යැයි හිතුණා. මූසිකාව අතහැරියා. එතැන් සිට මූසාකා තමන්ට ලැබෙන දඩ මස්වලින් කොටසක් බළලාට දුන්නා. එසේ කල් ගත වනවිට තවත් බළලෙක් මූසිකාව අල්ලාගත්තා. ඌටත් මස් කොටසක් දෙන්න පොරොන්දු වී බේරැණා. එයින් මස් කොටස් දෙකක් පිටට දෙන්න සිදුවුණා.

වැඩි දිනක් ගියේ නෑ තවත් බළලෙක් මූසිකාව අල්ලා ගත්තා. උගෙනුත් මස් දෙන්න පොරොන්දු වී බේරැණා. එසේම තවත් බළලෙක් මූසිකාව අල්ලා ගත්විට මස් දෙන්න කැමති වී බේරුණා. මේ නිසා මූසිකාවට ගල් වඩුවාගෙනත් දෙන මස් කොටස් හතරකට බෙදන්න වුණා. කෑම අඩු නිසා මූසිකාව දුර්වල වුණා. ඒ දුටු ගල් වඩුවා මම වෙනදා ප්‍රමාණයට මස් ගෙනත් දෙනවා. එසේ වෙද්දි ඔබ ඇයි දුබල ඇසුවා. එවිට ඌ වෙච්ච දේ කිව්වා. හරි මම ඔබට උන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් හදන්නම් කිව්වා. වටේ ගිනි ඇවිලෙන කරඬුවක් හැදුවා. මූසිකාව කරඬුවට දැම්මා. කකා ඉන්න මස් ප්‍රමාණයත් දැම්මා.

බළල්ලු මූසිකාව සොයා ආවා. ඌ කරඬුවේ. කෝ අපට මස් ඇසුවා. තොපට දෙන්න මස් මා ළඟ නෑ කිව්වා. බළලුන්ට තරහා ගියා. මූසිකාව අල්ගන්න කරඬුවට පැන්නා. උන් ගින්නට පිච්චී මළා. ඒ මූසිකාව තමයි කාණ මාතාව. බළල්ලු හතරදෙනා ඔය භික්ෂූන් බුදුන් වදාළා.

බබ්බු ජාතකය ඇසුරින් 
බී. පී. කේ. තිලක