2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

දරකැඩූ ස්ත්‍රියගේ පුතා බරණැස රජ වුණා

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 319

මහනාම ශාක්‍ය රජතුමා නිසා නාගමුණ්ඩ නම් දාසියට දුවක් උපන්නා. ඇයට වාසභක්ෂත්‍රියා යැයි නම් තැබුවා. රජගෙදරම ඇය ඇතිදැඩි වුණා. වැඩිවියට පත්වූ විට අතිශය රූමත් ස්ත්‍රියක් වුණා.

කොසොල් මහරජතුමාට හිතුණා ශාක්‍යවංශික කුමරියක් සරණ පාවාගන්න. ඒ ගැන යෝජනාවක් ශාක්‍යයන් වෙත යැව්වා. ශාක්‍ය වංශය තරම් කොසොල් රජතුමාගේ වංශය උසස් නෑ. එහෙත් යෝජනාවට විරුද්ධ වෙන්නත් බෑ. ඒ කොසොල් රජතුමා ප්‍රබල රජෙක් නිසා. මේ ගැන වැඩිහිටි ශාක්‍යවරු සාකච්ඡා කළා. අවසානයේ වාසභක්ෂත්‍රියාව මහානාම රජතුමාගේ අගබිසවගේ දුව ලෙස පෙන්නා කොසොල් රජතුමාට පාවාදුන්නා. මේ රූමත් තරුණිය එතුමා අගබිසව කරගත්තා. 
කාලය ගෙවී ගියා. කොසොල් රජතුමා නිසා ඒ බිසවට පුතෙක් උපන්නා. ඒ කුමරුට විඩූඩභ යැයි නම් තැබුවා. ඔවුන් සතුටින් ජීවත් වුණා. කෙසේ නමුත් කොසොල් රජතුමාට ශාක්‍ය වංශිකයන් කළ රැවැටීම ආරංචි වුණා.

රජතුමා කෝප වුණා. වාසභක්ෂත්‍රියාව අගබිසෝ තනතුරින් නෙරපා හැරියා. කුමාරයාත් සමඟ රජගෙදර හිරකර තැබුවා.

බුදුරජාණන්වහන්සේට මේ සිද්ධිය ආරංචි වුණා. 

බුදුන්වහන්සේ පන්සියයක් භික්ෂූන්වහන්සේ සමඟ කෝසල රජගෙදරට වැඩම කළා.

කොසොල් රජතුමා බුදුන් සහ භික්ෂූන්ට නමස්කාර කළා. අසුන් පැනැවූවා. ගිලන්පස පිළිගැන්වූවා.

මහරජ කෝ වාසභක්ෂත්‍රියා අගබිසව බුදුන් විචාළා.

ස්වාමීනී! ඇය අගබිසෝ තනතුරින් අයින් කළා.

ඒ ඇයි මහරජ.

එවිට කොසොල් රජ සියලු විස්තර කිව්වා.

හොඳයි මහරජ. ඇගේ පියා කවුද?

ස්වාමීනී! මහානාම ශාක්‍ය රජු.

ඇය කවරෙක් නිසා මෙහි ආවේද?

මා නිසා.

මහානම රජුගේ දුව ඔබ නිසා ආවා. ඇයට පුතෙක් ලැබුණේ කා නිසාද?

ස්වාමීනී! මා නිසා.

ඒ පුත්කුමරුට මේ රාජ්‍යය අයිති නොවන්නේද?

කොසොල් රජතුමා නිහඬ වුණා.

මහරජ ඇයි නිහඬ.

කොසොල් මහරජතුමා නිරුත්තරව බුදුරජාණන් වහන්සේ දෙස බලාඋන්නා.

මහරජ පෙර බඹදත් රජ කෙනෙක් තමා නිසා දරකැටියකගේ කුස උපන් පුතකුට බරණැස රාජ්‍ය දුන්නා දන්නවාද?

නැත ස්වාමීනී!

එවිට බුදුන්වහන්සේ මෙම කතාව වදාළා.

යටගිය දවස උන් බඹදත් රජ කෙනෙක් පිරවර සමඟ මඟුල් උයනට ගියා. ගිහින් විවේකීව උන්නා. එම උයනට නුදුරු වනරොදක් තිබුණා. ඒ වනරොද පැත්තෙන් රජතුමාට ස්ත්‍රියක් ගයන මිහිරි ගීයක් ඇසුණා. රජතුමා තනියම ඒ ගී හඬ ඔස්සේ ගියා. ගී ගයමින් උන්නේ දෙවඟනක් වගේ රෑසිරින් යුත් අඟනක්. ඇය සිටියේ දර කඩමින්. රජතුමා ඇය ළඟටම ගියා. ඇය රජතුමා දුටුවේ නෑ. ගී කිය කියා දර කැඩුවා. රජතුමාට ඇය ගැන ආශාවක් ඇති වුණා.

ඔබ සස්වාමිකද? අස්වාමිකද? ඇසුවා.

ඇය තිගැස්සුණා. බිය වුණා.

අස්වාමිකයි. දේවයන්වහන්ස ඈ කිව්වා.

රජතුමා ඇගේ අතින් ඇල්ලුවා. ගතවුණේ ටික වේලාවයි. එතුමාගෙන් ඒ වනරොදේදීම ඇය කෙලෙසුනා. ඉන්පසු කීපසැරයක්ම රජතුමා ඇය සොයා වනරොදට ගියා. මේ ගමනින් ඇය ගැබ්බර වුණා. ඒ බව ඇය රජතුමාට කිව්වා.

රජතුමා කල්පනා කළා. තීරණයකට ආවා. පේරැස් මුද්ද ගැලවූවා. ඔබට ගැහැනු දරුවකු ලැබුණොත් මේ මුද්ද විකුණා. රක්ෂා කරන්න. පුතකු ලැබුණොත් මුද්ද අරන් මා ළඟට එන්න කිව්වා. රජතුමා රජගෙදර බලා ගියා. ඉන්පසු ඇය හම්බවෙන්න ආවේ නෑ.

කාලය සුපුරුදු ලෙස ගෙවී ගියා. ඇය පුතෙක් වැදුවා.

ඇය පුතා ඇතිදැඩි කරගත්තා. රජතුමා හමුවෙන්න ගියේ නෑ. දරුවා ළමා වයසට ආවා. ළමයින් සමඟ කෙළි සෙල්ලමට ගියා. ඔවුන් කෝ ඔබේ පියා කියා දරුවාගෙන් නිතර ඇසුවා. එවිට ඔහු ගෙදර ආවා. අම්මේ කෝ මගේ පියා කියා මවගෙන් ඇසුවා. එවිට මව කුමක් හෝ කියා දරුවා සනසවා ගත්තා. දවසක් ඔහු ළමයකු සමඟ රණ්ඩු වුණා. ඒ ළමයා ඔහුට අප්පෙක් නැති එකා කිව්වා. දරුවාට දුක හිතුණා. ගෙදර ආවා. නොකා නොබී නිදාගත්තා. මව පුතාට කෑම කන්න කියා බලකළා. මව බිය වුණා. ඔබේ පියා බඹදත් රජතුමායැයි මව කිව්වා. කොහොමද රජතුමා පියා කියා ඔප්පු කරන්නේ. මව පේරැස් මුද්ද දුන්නා. එහෙම නම් යමු පියා සොයා ගෙන ඔහු කිව්වා. මව අදිමදි කළා. ඔහු ගණන්ගත්තේ නෑ. 

දෙදෙනාම බඹදත් රජතුමා සොයා ගියා. රජතුමා එවිට සිටියේ රාජ සභාවේ. රාජපුරැෂයෝ මේ දෙන්නා රාජ සභාවට කැඳවා ගෙන ගියා. ඇයි මා සොයා තොප ආවේ රජතුමා ඇසුවා.

දේවයන්වහන්ස! මේ ඔබේ පුතා. මව කිව්වා. පේරුස් මුද්ද පෙන්නුවා.

රජතුමාට ඇමැතිවරුන් සිටි නිසා ලැජ්ජාවට පත්වුණා.

තොප මොනවාද මේ කියන්නේ. මගේ පුතෙක් තොපට කොහින්ද රජතුමා ඇසුවා.

මේ ඔබේ පුතා නොවේද ඇය ඇසුවා.

රජතුමා නෑ කිව්වා. මේ දරුවා ඔබවහන්සේගේ නම් උඩරුඳේවී. නැත්නම් බිම වැටී මිය යාවී කිව්වා. ඇය ළමයා අහසට විසිකළා. ළමයා අහසේ රැඳී සිටියා. රජතුමා පුදුම වුණා. පුතා බහින්න කිව්වා. ළමයා රජතුමාගේ ඔඩොක්කුවට බැස්සා. ඔහු ඒ කුමරු පුත් තනතුරේ තබා ගත්තා. මව අගබිසව කළා. ඒ බඹදත් රජතුමාගෙන් පසු රජවුණේ ඒ කුමරු බුදුන් වදාළා. 

කොසොල් මහරජතුමාට කරැණු කාරණා අවබෝධ වුණා. වාසභක්ෂත්‍රියාව යළි අගබිසව කරගත්තා. විඩුඩභ කුමරු පුත් තනතුරට යළි පත්කළා.

කට්ඨහාරි ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00