2020 ජනවාරි 04 වන සෙනසුරාදා

සුරාව නිසා සිහි විකල්කරගත් තවුසෝ

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 174

බුදුන්වහන්සේ සැවැත්නුවර වස් වැසීම සිදු කරනු ලැබුවා. පසුව ගම්දනව් සැරිසැරීම පටන් ගත්තා. භද්දවතිකා ගමට වැඩම කළා. එහි සිටි ගොපල්ලෝ, අජපල්ලෝ, ගොවියෝ බුදුන් දකින්න ආවා. වැඳ නමස්කාර කළා. “ස්වාමිනී! මෙගමට වැඩියාට අඹ තීර්ථයට නම් වඩින්න එපා.” යැයි ඔවුන් ඉල්ලා සිටියා.

“ඒ ඇයි?” බුදුන් විචාළා.

“එහි ජටිලයන්ගේ විශාල ආශ්‍රමයක් තියෙනවා. ඒ ආශ්‍රමයේ දැවැන්ත නාගයෙක් ඉන්නවා. ඌ විෂඝෝර විෂ තියෙන එකෙක්.”

බුදුන් වහන්සේ නිහඬ වුණා. එදා වැඩියේ නෑ.

දෙවැනි දවසේ බුදුන් අඹ තීර්ථයට වඩින්න සූදානම් වුණා. ගම්වැසියෝ වඩින්න එපා කියා බැගෑපත් වුණා. ඒ නිසා බුදුන් වැඩියේ නෑ. තුන්වැනි වරත් වඩින්න ඔවුන් ඉඩ දුන්නේ නෑ.

මේ අතර සාගත නම් තෙරණුවෝ අඹ තීර්ථයට වැඩම කළා. ජටිලයෝ ඒ දරණු නාගයා ඒ හිමි වෙත එව්වා. සාගත හිමියෝ නාගයා දමනය කළා. එපුවත අසල් ගම් නියම්ගම්වල පැතිර ගියා. ඉන් සාගත හිමියන්ගේ යසස කීර්තිය ද පැතිර ගියා. සාගත හිමියන්ගේ ක්‍රියාව ගැන බුදුන් වහන්සේ ප්‍රශංසා කළා. පසුව සාගත හිමි සහ සංඝයා වහන්සේලා පිරිවරා බුදු හිමියෝ කොසඹෑ නුවරට වැඩම කළා.

එනුවර වැසියෝ බුදුරජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයා බැති සිතින් පිළිගත්තා. දන් පිළිගැන්වුවා.

මෙනුවර කපෝතිකා නම් සුරාවක් තිබුණා. ඒ සුරාව සාගත හිමියෝ අප්‍රමාණව වැළඳුවා. ඉන් මත්වුණා. සිහි විකල් වුණා. වැනි වැනී නුවර වාසල් දොර වෙත වැඩම කළා. පණ නැතිව බිම ඇද වැටුණා. එලෙසම උන්නා.

බුදුරජාණන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වාසල් දොරටුව වෙතට වැඩියා. බිම වැටී උන් සාගත හිමියෝ දැක මේ කුමක් වීදැයි විචාළා. එතැන නතර වුණා. භික්ෂූන් සාගත හිමිගේ හිස බුදුන් වෙතට හරවා තැබුවා. අසිහියෙන් උන් සාගත හිමියෝ පෙරළුණා.

බුදු සිරිපද මත ඒ හිමියනගේ දෙපා ගැටුණා.

“මහණෙනි! පෙර කල සාගත ස්ථවිර මට දැක්වූ ගෞරවය දැන් ඇද්දැයි විචාළා.
“නැත ස්වාමිනී!” භික්ෂූන් කිව්වා.

“පෙර මහ බලැති නාගරාජයා දමනය කළේ කවුද?”

“ස්වාමිනී! සාගත හිමියෝ”

“දැන් ඔහුට දියබරියකුවත් දමනය කළ හැකිද?”

“බැහැ ස්වාමිනී!”

“එසේ නම් සුරා පානය සුදුසුද?”

“නැත ස්වාමිනී. කිසිසේත් සුදුසු නැත.”

බුදුරජාණන් වහන්සේ සාගත හිමියන්ට දොස් පවරන්න වුණා. පසුව රහමෙර බීම නිමිතිකොට ශික්ෂාපද භික්ෂූන් අමතා පැනවූවා. සැවැත්නුවර බලා වැඩම කළා.

දම් සභාවේදී භික්ෂූන් වහන්සේලා සුරා පානය පිළිබඳ කතාබහ කළා. “සුරා පානය නුගුණයි. මහත් වූ දෝෂ ඇත.” යනුවෙන් උන්වහන්සේලා කළ කතා බුදුන් වහන්සේ අසා සිට මේ කතාව වදාළා.

පෙර කල කසීරට නැණවත් බමුණු තරුණයෙක් සිටියා. ඔහුට ගිහිගෙය ගැන කලකිරුණා. තපසට හිමාලයට ගියා. තවුස්දම් රැක්කා. පඤ්චාභිඥ අෂ්ට සමාපත්තිය ලබාගත්තා. මේ අතර ඒ තවුසාගේ අසපුවට නුදුරින් තවුසන් පන්සියයක් උන්නා. ඒ තවුසෝ මේ තවුසා නායකකමට පත්කර ගත්තා.

එසේ කල් ගෙවුණා. හිමාලයට වැසි සමය උදා වුණා. තවුසෝ නායක තවුසාට යෝජනා කළා, “අපි මේ වැසි සමයේ මිනිස් වාසයකට යමු. පිඬුසිඟා ජීවත් වෙමු.” කියා.

“ඔබ හැම යන්න. මම එන්නේ නෑ.”

“ඒ ඇයි ස්වාමිනී?”

“මම අසපුවට වී තවුස්දම් රැකීම මනුස්ස වාසයට වඩා ප්‍රිය කරනවා. ඔබ හැම මා ගැන සිතන්න එපා. ගත් තීරණය අනුව යන්න.” ඒ නායක තවුසා කිව්වා.

තවුසෝ බරණැස් නුවරට ආවා. පිඬුසිඟා ගොස් පිඬු වළඳන්න බඹදත් රජතුමාගේ මඟුල් උයනට ආවා. පිඬු වළඳා විවේක සුවෙන් උන්නා.

මේ තවුසන් ගැන බඹදත් රජතුමා දැනගත්තා. තවුසන් දැකගැනීමට රජතුමා උයනට ආවා. තවුසන් ගැන පැහැදුණා. “රජගෙදරින් දානය දිනපතා එවනවා. පිඬුසිඟා යන්න එපා.” කිව්වා. තවුසෝ එය පිළිගත්තා. පිඬුසිඟා ගියේ නෑ.
මේ අතර බරණැස සුරාපානෝත්සවය එළැඹුණා. රජතුමා තවුසන්ට ද සුරා පිළියෙල කර එව්වා.

තවුසෝ සුරා පානය කළා. කෑදරකමින් වැඩිපුර බිව්වා. මත් වුණා. සිහි විකල් වුණා. මඟුල් උයන පුරා කෑකෝ ගහමින් නටන්න දුවපනින්න වුණා. වැටුණු තැන නිදාගත්තා.

තවුසන්ට පසුදා වන විට මත සිඳුණා. ඔවුන් කළ විකාර දැනගත්තා. ලජ්ජාවට පත් වුණා. ආපසු හිමාලයට ගියා. නායක තවුසා හමුවුණා.

“තපස්වරුනි! මිනිස් වාසය හොඳද? ලුණු ඇඹුල් යුතු ආහාර ගෙන සැප සේ විසුවේද?” නායක තවුසා ඇසුවා.
“ස්වාමිනී! සැප සේ විසුවා. එහෙත් අප අතින් නපුරක් සිදු වුණා.”

“ඒ කුමක්ද?”

“පානය නොකළ යුත්තක් වූ සුරාව පානය කළා. සිහි විකල් වී නොපහත් වැඩ සිදුවුණා.” ඔවුන් කිව්වා. නායක තවුසා ඒ තවුසන්ට නින්දා කළා. මතු දින එවැන්නක් නොකරන්න තවුසන්ට අවවාද කළා. එය පිළිගත් ඒ තවුසෝ ධ්‍යානයට සමවැදුණා යයි බුදුන් වදාළා...

සුරාපාන ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00