2020 ජනවාරි 18 වන සෙනසුරාදා

කාමාශාවේ විපාකය

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

ජේතවනාරාමයේ විසූ භික්ෂුවක් නිතර උකටලීව කල් ගෙව්වා. අනෙක් භික්ෂූන් ඒ භික්ෂුවට ඇයි ඔහොම ඉන්නේ.. පැවිදි වුණේ ඕකටද? මහණදම් පුරන්නේ නැද්ද? යැයි ඇසුවා. උකටලී වීම අතහැර පැවිදි වූ කාර්යය ඉටු කරගන්න යැයි අවවාද කළා.

කොහොමද මම මහණදම් පුරන්නේ? මට ගෙදර මතක් වෙනවා. එතකොට දුක හිතෙනවා. ඒ භික්ෂුව කිව්වා. 

ඔබ පැවිදි වුණේ ගිහි ගෙය එපා වෙලා නේද? ඇයි ඒ ගැන යළි හිතන්නේ? එය අමතක කරන්න උත්සාහ ගන්න. මාර්ගඵල ගැන හිතන්න. ඒ භික්ෂූන් නැවත කිව්වා.

ඒ උපදෙස්වලින් පලක් වුණේ නෑ. ඒ භික්ෂුව උකටලීව කල් ගෙව්වා.

ඒ භික්ෂු පිරිස මේ භික්ෂුව උපදෙස් අවවාද නොපිළිගන්නෙක් යැයි තීරණය කළා. බුදුරජාණන්වහන්සේ හමුවුණා. ඒ භික්ෂුවගේ කල්ක්‍රියාව ගැන පැමිණිලි කළා. බුදුරජාණන්වහන්සේ භික්ෂුව කැඳවූවා. 

මහණ. ඔබ නිතර උකටලීව කල් ගෙවනවා කියන්නේ සැබෑවක්ද?

එසේය ස්වාමීනී!

උකටලී වෙන්න හේතුව කුමක්ද?

මගේ පෙර බිරිය මතක් වෙනවා. ඇය මට දැක්වූයේ පුදුම සෙනෙහසක්. එය මතක් වනවිට දුක හිතෙනවා. එසේම ස්වාමීනි ඇය තාම මා පතනවා.

මහණ! ඒ ස්ත්‍රිය අනර්ථකාරියක්. ඇගේ සෙනෙහස ව්‍යාජයි. ඒ කරන්නේ තොප රැවටීමක්.

ඒ භික්ෂුව නිහඬව බුදුරජාණන්වහන්සේ දෙස බලා උන්නා. 

මහණ දැන් නොව පෙර කලක ඇය නිසා ඔබ මරණයට පත්වෙන්න ගියා. එදා මරණයෙන් බේරුණේ මා නිසයි යනුවෙන් පවසා මෙම කතාව බුදුන් වහන්සේ වදාළා.

පෙර කල බරණැස බඹදත් රජතුමෙකුට නැණවත් යහපත් පුරෝහිතයෙක් උන්නා. මේ පුරෝහිතයාගේ හොඳ ගතිගුණ නිසා එනුවර වැසියෝ එතුමාට පක්ෂපාත වුණා. ගරු කළා.

දැලට කොටු වූ මාළුවා

බරණැස අසලින් ගලා ගිය ගඟට තමයි එනුවර වැසියෝ දිය නෑමට ගියේ. මේ ගඟට නිතර මසුන් අල්ලන්නන් ආවා. දැල් දමා මාළු අල්ලා ගත්තා. සමහර මත්ස්‍යයන් නුවණ මෙහෙයනවා දැලෙන් බේරුණා.

මේ ගඟේ අධික ලෙස කාමයෙන් යුත් මත්ස්‍යයෙක් මත්ස්‍ය ධේනුවක් සමඟ කාම රතියේ යෙදී සිටියා. මසුන් අල්ලන්නන් දැල දැමුවා. ධේනුව සැණින් දැල දමනවාත් සමඟ අහකට පැන්නා. කාමයෙන් අන්දමන්ද වී උන් මත්ස්‍යයා දැලට කොටු වුණා. දැල්කාරයන්ට මාළුවකු අසුවුණු බව තේරුණා. දැල ඇකිලුවා. ගොඩට ගත්තා. උන් හිතුවට වඩා මාළුවා ලොකුයි. අපි මූ පුළුස්සා කමු යැයි ඒ මසුන් අල්ලන්නන් තීරණය කළා. මතස්‍යයා අරන් වැල්ලට දැම්මා. ඔවුන් ගිනි ගොඩක් ගහන්න දර එකතු කරගෙන ආවා.

මේ අතර පුරෝහිතතුමා පිරිස සමඟ දිය නාන්න ආවා.

වැල්ලේ දුක් විඳින මත්ස්‍යයා අනේ මගේ ධේනුව මම වෙනත් මත්ස්‍ය ධේනුවක් සමඟ ගියා යැයි සිතා දුක් වෙනවා ඇති යැයි සිතුණා. අඬන්න පටන්ගත්තා.

මේ පුරෝහිතතුමාට සියලුම සතුන් දොඩන බස් තේරෙනවා. එතුමාට මේ මතස්‍යයාගේ අඳෝනාව ඇසුණා. කල්පනා කරන්න වුණා. මේ මත්ස්‍යයා මරණය පෙනී පෙනී කාම රතියෙන් අඬනවා. දැන් මියගියොත් නරකාදියේ ඉපදී දුක් විඳිනවා. එබැවින් මම ඌට පිහිට වෙන්න ඕනෑ යැයි සිතුණා. මසුන් අල්ලන්නන් ළඟට ගියා.

පුරෝහිත දුටු විට මසුන් අල්ලන්නෝ බිය වුණා. ගෞරව කර පැත්තකට වුණා.

ඔබ දැන් මසුන් අල්ලා ඉවරද?

නැත ස්වාමීනි!

ඇල්ලූ මසුන්ගෙන් මටත් ව්‍යංජනයකට මත්ස්‍යයකු දෙන්න පුළුවන්ද?

ස්වාමීනි කුමක් කියන්නේද? ඔබ වහන්සේට මාළු නොදෙන්න අපට පුළුවන්ද?

හොඳයි මට අන් මසුන් එපා. මේ මත්ස්‍යයා දෙන්න. පුරෝහිත කිව්වා.

තොපට ජීවිත දානය දෙනවා

ස්වාමීනි! අරගනු මැනවි. මසුන් අල්ලන්නෝ කිව්වා. මත්ස්‍යයා වැලි ගොඩින් අරන් දුන්නා.

පුරෝහිත මත්ස්‍යයා අරගත්තා. ගඟ ඉවුර දිගේ මසුන් අල්ලන්නන්ට නොපෙනෙන තෙක් දුරක් ආවා. මත්ස්‍යයා දෙස බැලුවා.

ඌ අසරණව උන්නා.

තොප මම ගෙනාවේ තොපට ජීවිත දානය දෙන්න. මම පමා වුණානම් තොපට මරණය පැමිණෙනවා. මේ ලෙසට තොප දැලට අසු වුණේ අධික කාමාශාව නිසයි. එය අවබෝධ කරගෙන මින් මතු ඉන්න වෑයම් කරනු යැයි කී පුරෝහිතතුමා මත්ස්‍යයා ගඟට දැම්මා. ඌ ගඟ දියේ නොපෙනී ගියා.

බුදුරජාණන්වහන්සේ මේ කතාව ගෙනහැර චතුරාර්ය සත්‍යයේ සැබෑව ප්‍රකාශ කරමින් ධර්ම දේශනාවක් පැවැත්වූවා.

ධර්ම දේශනාව අවසානයේ උකටලීව සිටි භික්ෂුව සෝවාන් ඵලය ලබාගත්තා.

එදා මත්ස්‍ය ධේනුව තමයි අද ඔබගේ පෙර බිරිය. ඒ මත්ස්‍යයා නම් උකටලී වූ මහණ ඔබයි. පුරෝහිත නම් සම්බුදු වූ මම වේ යැයි බුදුන් වදාළා.

මත්ස්‍ය ජාතකය ඇසුරින් 
බී.පී.කේ. තිලක