2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ජන්ම වෛරය නැති කළ මෛත්‍රී ගුණය

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

කොසොල් රජතුමාට දක්ෂ ඇමැතිවරු දෙන්නෙක් උන්නා. මේ දෙන්නා තිසරණ සරණ ගිය හොඳ බෞද්ධයෝ. රටවැසියන්ගේ හිත දිනාගත් යහපත් ඇමැතිවරු. ඒ වුණත් මේ ඇමැතිවරු දෙන්නට දෙන්නා පසුවූයේ දැඩි වෛරයෙන්.

ඔවුන්ගේ හිතමිතුරන් නෑයන් ඔවුන් දෙන්නා මිතුරු කරන්න බොහෝ මහන්සි ගත්තා. පලක් වුණේ නෑ. කොසොල් මහ රජතුමාත් ඔවුන්ගේ වෛරය දුරුකර සමාදාන කරන්න බොහෝ වෑයම් කළා. එය පල රහිත වුණා. කෝපයෙන්ම ඔවුන් කල් ගෙව්වා.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩවසමින් මහා කරුණාවෙන් ලොව දෙස බලන විට මේ ඇමැතිවරුන් පෙනුණා. ඔවුන් දෙන්නාට සෝවාන් ඵල ලැබීමට කුසල් ඇති බව අවබෝධ වුණා.

බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ වෛරය නැසීමට තීරණය කළා. උදෙන්ම පාත්‍රය ගෙන එක ඇමැතිවරයකුගේ ගෙදරට වැඩම කළා.

මෛත්‍රී ගුණයේ අනුසස්

ඇමැතිවරයා බුදුන් වහන්සේ දුටුවා. ඉදිරියට ආවා. පාත්‍රය ගත්තා. බුදුන් වහන්සේ ඇතුළුගෙට වැඩම කරවා ගත්තා. අවුල්පත් ආදී විවිධ ආහාරපානවලින් දානය දුන්නා.

බුදුරජාණන් වහන්සේ දානය වැළඳුවා. අනුශාසනාව පටන් ගත්තා. මෛත්‍රී ගුණයේ අනුසස් ගැන දිගු විස්තරයක් කළා. ඇමැතිවරයාගේ පෙර පින් පහළ වුණා. මෙත් ගුණයෙන් සිත පිරී ගියා. වෛරය දුරු වුණා. සෝවාන් ඵලයට පත් වුණා.

බුදුරජාණන් වහන්සේ දහවල් දානයට අනෙක් ඇමැතිවරයාගේ නිවෙසට වැඩම කළා. දුර සිටම බුදුන්වහන්සේ දුටු ඇමැතිවරයා පෙර මඟට ගියා. පාත්‍රය අරගෙන බුදුන් වහන්සේ නිවෙස තුළට වැඩම කරවා ගත්තා. අසුන් පනවා පා දොවා මිහිරි බොජුන්වලින් දානය පිළියෙළ කරවා පූජා කළා. බුදුන් වහන්සේ දානය වළඳා ඇමැතිවරයාට වෛර සිත නිසා ඇතිවන අනිටු විපාක පෙන්වා දුන්නා. ඒ ගැන එක එක කරැණු ගෙනහැර පෑවා. පසුව මෛත්‍රිය වැඩීමෙන් ඇතිවන ආනිසංස ගැන පහදා දී ධර්ම දේශනාවක් පැවැත්වුවා.

ධර්ම දේශනාව අවසානයේ ඇමැතිවරයාගේ පෙර පින් මතු වුණා. මෛත්‍රී චේතනා පහළ වුණා. සෝවාන් ඵලයෙහි පිහිටියා. බුදුන්වහන්සේ විහාරයට වැඩම කළා. එතැන් පටන් ඒ ඇමැතිවරු හොඳ මිතුරෝ වුණා.

ජන්ම වෛරය තුරන් කළ හැටි

දම්සභාවේ දී හිමිවරු මේ ඇමැතිවරුන් ගැන කතාබහ පටන් ගත්තා. උනුනුන් කෙරේ දැඩි වෛරයෙන් කල්ගෙවූ ඇමැතිවරු දෙන්නා සමාදාන කරන්න ඔච්චර බලගතු කොසොල් රජතුමාටත් බැරි වුණා. අපේ බුදුරජාණන් වහන්සේ වෛරය අරවා ඔවුන් මිතුරන් කළා. එක් හිමිනමක් ප්‍රකාශ කළා.

එය තමා අප බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණය. තවත් භික්ෂුවක් ප්‍රකාශ කළ විට අනෙක් භික්ෂූන් එය අනුමත කළා.

බුදුන්වහන්සේ දම්සභාවට වැඩම කළා. මහණෙනි! ඔබ කළ කතාව මම දැනගත්තා. ඒ ඇමැතිවරු දෙන්නා මෙවර පමණක් නොවේ පෙර කල ද මම උන්ගේ ජන්ම වෛරය දුරුකොට මිතුරන් කළා. බුදුන් ප්‍රකාශ කළා.

ස්වාමිනී! අපටත් දැනගන්න එය පහදා දෙන්න. හිමිවරු ඉල්ලා සිටියා.

එවිට බුදුන්වහන්සේ මෙම කතාව වදාළා.

යටගිය දවස තවුසෙක් බරණැස ගඟක් අසල අසපුවක් හදාගෙන තපස් වෘතය රැක්කා. එකල බරණැස සැණකෙළි සමය උදා වුණා. මේ සැණකෙළි උත්සව බලන්න අසල් රාජ්‍යවල වැසියෝ පවා ආවා. මුළු බරණැස පිරී ඉතිරී ගියා. කඩපිල් නුවර පුරා ඉදිකොට තිබුණා. දවල් රැය තිස්සේම මේ උත්සවය පැවැතුණා.

මේ අතර දිව්‍ය නාගරාජයකු මිනිස් වෙස් ගෙන මේ උත්සවය බලන්න ආවා. සෙනග අතරට වී උන්නා.

ගුරුළු රාජයෙක් ද උත්සව බලන්න බරණැසට මිනිස් වෙස් ගෙන ඇවිත් සිටියා. උත්සව බල බලා බරණැස පුරා ඇවිද්දා. නාගරාජයා ද උත්සව නරඹමින් තැනින් තැන යමින් උන්නා. මේ දෙන්නා එක තැනකදී මූණට මුණගැසුණා. දෙන්නා හඳුනා ගත්තා. ජන්ම වෛරය මතු වුණා.

නාගරාජයා බියේ පැන දිව්වා. ගුරුළු රාජයා පස්සෙන් පැන්නුවා. දිවගිය නාගරාජයා තාපස අසපුවට රිංගුවා. 

ඒ වන විට තවුසාණන් සිටියේ දැහැන්ගතව. නාගරාජයා නිල් මැණිකක වෙස් ගත්තා. තවුසාගේ සිවුර යටට වුණා. 

තවුසාට එය දැනුණේ නෑ.

නාගරාජයා ලුහුබැඳ පැමිණි ගුරුළු රජ තාපස අසපුවට ආවා. ඔහු නාග රජ තාපසතුමාගේ සිවුර යට බව දැනගත්තා. දැහැන්ගත වූ තවුසාට ගෞරවයෙන් පසෙකට වී බලා උන්නා. 
මඳ වේලාවක් ගෙවුණා. තවුසා දැහැනින් මිදුණා. ගුරුළු රාජයා දැක්කා. ඔබ ඇයි මෙහේ ආවේ ඇසුවා.

ස්වාමිනී! මට කුසගිනියි. ගුරුළු රජ කිව්වා.

මම මොනවද ඔබට දෙන්නේ?

ඔබතුමාගෙන් කිසිවක් එපා.

එහෙම නම් මම කුමක්ද කරන්නේ?

මම නාගයකු ලුහුබැඳ ආවා.

කෝ නාගයා?

ඔබතුමාගේ සිවුර යට. ඔබතුමාට තිබෙන ගෞරවය නිසා අල්ලාගත්තේ නෑ. ඌ මට දෙන්න. 

ගුරුළු රජ ඔබ කළ දෙය ඉතා යහපත්. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.

එවිට ගුරුළා තාපසතුමාට ළංවෙන්න හැදුවා. තාපසතුමා අතපෑවා. ගුරුළු රජා එතැනම උන්නා. තාපසතුමා ගුරුළාට ඉඳගන්න කිව්වා. වෛරයේ පල විපාක කියා දුන්නා. මෛත්‍රිය වඩන්න ඉගැන්නුවා. නාගරාජයාත් ගුරුළු රජ ළඟින් ඉන්ඳවූවා. සිය බලයෙන් ජන්ම වෛරය නැති කළා. මිතුරන් කළා.

අන්න ඒ ගුරුළු රජු සහ නාග රජු තමයි ඔය සෙනෙවිවරුන් දෙන්නා. බුදුන් වදාළා.

(උරග ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00