2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

සාන්තවාදය නිසා අත්පා අහිමි කරගත් තවුසා

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

දෙව්රම් විහාරයේ සුළු දේකටත් කෝපවෙන හිමිනමක් උන්නා. එබැවින් අනෙක් හිමිවරුන් සමඟ නිතර රණ්ඩු වුණා. එය භික්ෂූන් වහන්සේලාට ලොකු කරදරයක් වුණා. උන්වහන්සේලා මේ භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. බුදුන් වහන්සේ ඒ භික්ෂුව කැඳවූවා.

මහණ! ඇයි ඔබ ඉක්මන් කෝප ඇතිකර ගන්නේ? විචාළා.

ස්වාමිනී! මටම තේරෙන්නේ නෑ ඇයි කියා. ඒ හිමි කිව්වා.

මහණ! ඒ ගැන හිතන්න ඕනෑ. ඉවසීම පුරුදු කර ගන්න ඕනෑ. පැවිද්දන් ඉන් විශේෂයි. පෙර පැවිදි උතුමෝ කටුසැමිටියෙන් (ඉපලෙන්) දෑලට (දෙපසට) දහසක් ගසද්දිත් ඉවසුවා. අත්පා නාස කපද්දිත් මෛත්‍රී කළා. කෝප වුණේ නෑ.
ස්වාමිනී! අපට ඒ ගැන පහදා දෙන්න. භික්ෂූන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

එවිට බුදුන් වහන්සේ මෙම කතාව වදාළා.

යටගිය දවස කසීරට (කලාබු) නම් රජ කෙනෙක් පාලනය ගෙන ගියා. එකල එරට ධනවත් බමුණු පවුලක (ලකුණ්ඩ) නමැති බමුණු කුමරෙක් උන්නා. මේ කුමරා බමුණු ශිල්ප හොඳින් හැදෑරූ කෙනෙක්. දැහැමි ජීවිතයක් ගෙව්වේ. නුවණ මුහුකුරා ගිය කෙනකු නිසා ජීවිතයේ නිස්සාර බව අවබෝධ කර ගත්තෙක්.

විමුක්තිය සොයාගන්න ඕනෑ

තරුණ වියේ පසුවුණු නිසා මව්පියෝ ඔහුට සරණ මංගල්ලයක් කර දෙන්න උත්සාහ ගත්තා. කුමරු ඊට එකහෙළා විරැද්ධ වුණා. සරණ බන්ධනවලට කැමැති වුණේම නෑ. පුතේ අපි නැති දවසට උඹ තනිවෙනවා. මේ ධන සම්පත් නැතිවෙනවා. ඒ ගැන අපට දුකයි. බැරිම තැන මව්පියෝ කිව්වා.

“ඔබ දෙදෙන මා ගැන එතරම් හිතන්න එපා. මම මේ දුක් කම්කටොලු පිරි ජීවිතයේ විමුක්තිය සොයාගන්න ඕනෑ. ඔබ දෙදෙන ජීවත් වෙනතුරු සලකන්නත් ඕනෑ” කියා ඔහු මව්පියන්ගේ යෝජනාවලින් මගහැරියා.

කාලය ගෙවී ගියා. මව්පියන් මිය පරලොව ගියා.

ලකුණ්ඩ බමුණා මව්පිය උරුමයෙන් ලද සියලු සම්පත් දන් දුන්නා. ඉසිවර පැවිද්ද ගෙන හිමාලයට ගියා. කලක් එහි පලවැල කමින් තවුස්දම් පිරුවා. ටික දිනක් ගතවෙන විට ලුණු ඇඹුල් කන්න හිතුණා. යළි කසී රටට ආවා. පිඬුසිඟා වැඩියා. ඒවා වළඳා සවස් කල කලාබු රජතුමාගේ මඟුල් උයනට ඇවිත් උන්නා. එසේ පිඬුසිඟා යන විට තාපසතුමා රජතුමාගේ සෙනෙවිතුමාගේ ගෙටත් වැඩියා.

තාපසතුමාගේ සාන්ත ඉරියව් දැක සෙනෙවිතුමා පැහැදුණා. ගෙට වැඩම කරවා දන් දුන්නා. තාපසතුමා දහම් දෙසුමක් කළා.

සෙනෙවිතුමාට තාපසතුමා ගැන ශ්‍රද්ධාවක් ඇතිවුණා. එදා පටන් සෙනෙවිතුමා දිනපතාම තාපසතුමාට දානය සිය ගෙදරින් දුන්නා. උපස්ථාන ද කළා. එම නිසා තාපසතුමා පිඬුසිඟා වැඩියේ නෑ. මඟුල් උයනට වී තපස්දම් පිරුවා.

උයන් කෙළියට මඟුල් උයනට

මේ අතර කලාබු රජතුමා රජගෙදර උත්සවයක් ගත්තා. විනෝද වුණා. මත්පැන් පානය කළා. හොඳටම මත් වුණා. බිසෝවරැන් සහ නාටක ස්ත්‍රීන් කැඳවා ගත්තා. උයන් කෙළියට මඟුල් උයනට ගියා. එහි ප්‍රීතියෙන් කල් ගෙවන විට රජතුමාට නිදිමතක් ආවා. උයනේ සල් ගසක් යට බිසවකගේ උකුලේ නිදාගත්තා. රජතුමාට හොඳටම නින්ද ගියා.

අනෙක් බිසෝවරුන් සහ නාටක ස්ත්‍රීන් රජතුමා නිදි නිසා උයනේ ඇවිදින්න ගියා. ඔවුන් තාපසතුමා දැක්කා. ළඟට ගිහින් නමස්කාර කළා. තාපසතුමා ඔවුන්ට බණ කියන්න වුණා. ඒ බිසෝවරුන් සහ නාටක ස්ත්‍රීන් තාපසතුමා වටේ ඉඳගෙන බණ ඇසුවා.
මේ අතර කලාබු රජතුමා ඇහැරුණා. වටපිට බැලුවා. රජතුමාට නිදාගැනීමට උකුල දුන් බිසව පමණයි උන්නේ. රජතුමා කෝප වුණා. කෝ මේ සැඩොලියෝ ඇසුවා.

දේවයන් වහන්ස! තාපසතුමා වැඩ ඉන්න දෙසට ගියා. ඒ බිසව කිව්වා. රජතුමා කෝපයෙන්ම තාපසතුමා දෙසට ගියා. බිසෝවරු බිය වුණා. නැගී සිටියා. තාපසතුමා නිහඬව උන්න ඉරියව්වෙන්ම උන්නා.

තොප කුමන වාදියෙක්ද? රජතුමා තාපසතුමාගෙන් ඇසුවා.

මම සාන්තවාදියෙක්. තාපසතුමා පිළිතුරු දුන්නා.

සාන්තවාදී යනු කුමක්ද?

රජතුමනි! මෛත්‍රී කරන්නාටත් අමෛත්‍රී කරන්නාටත් එක සේ කරුණාව දැක්වීම සාන්තවාදියයි.

එසේ නම් ඔබේ සාන්තවාදය මට බලන්න ඕනෑ කිව්වා.

වධකයා කැඳවූවා. මේ තවුසාගේ බඩට පහර පන්සියයක් ද පිටට පහර පන්සියයක් ද කටු ඉපලකින් ගහන්න අණ කළා. වධකයා එසේ කළා.

තාමත් ඔබ සාන්තවාදීද? රජතුමා ඇසුවා.

එසේය මහරජ! තාපසතුමා කිව්වා.

වධකය! මොහුගේ පයක් කපන්න. රජතුමා කිව්වා. වධකයා කැපුවා. දැන් ඔබ සාන්තවාදීද? රජතුමා ඇසුවා. එසේය. තාපසතුමා කිව්වා. පසුව රජතුමා වධකයා ලවා අත්, කන්, නාස කැප්පවූවා. ඔබ තාමත් සාන්තවාදීද? ඇසුවා. ඔව් රජතුමනි! මගේ සාන්තවාදය තියෙන්නේ ළය තුළ. තාපසතුමා කිව්වා.

රජතුමා තාපසතුමාගේ පපුවට පයින් ඇන යන්න ගියා. 

සෙනෙවිතුමාට මෙය ආරංචි වී දුව ආවා. වී ඇති දේ දැක දුක් වුණා. තාපසතුමනි! මේ වධය ඔබතුමාට දුන්නේ රජතුමාය. එබැවින් රාජ්‍යවාසීන්ට අමෛත්‍රීය නොකරන්න යැයි ඉල්ලුවා.

සෙනෙවිතුමනි! රජතුමා කෙරේවත් මගේ නිෂ් කරුණාවක් නෑ. එතුමා චිරත් කාලයක් ජීවත් වේවා යැයි ප්‍රාර්ථනා කළා. මියගියා. යැයි බුදුන් වදාළා.

ක්ෂාන්තිවාදී ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක 

 

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00