මේ දිනවල තැනින් තැන වරින් වර රතිඤ්ඤා පත්තු වන හඬ ඇසෙයි. එයින් ඇඟවෙන්නේ ඡන්ද අපේක්ෂකයකුගේ පැමිණීමය.
සිංහල අවුරුදු දෙකක් හා නත්තල්, ජනේරැ දෙකක්ම රතිඤ්ඤා පත්තු කරන්නට නොහැකි වූ නිසා මහ එවුන් මෙන්ම පොඩි එවුන්ද රතිඤ්ඤා ප්‍රීතිය භුක්ති විඳිති. හැමෝටම වඩා සතුටු මුදලාලිලාටය. හුළං වැදි වැදී ගොඩ ගසා තිබූ රතිඤ්ඤා පෙට්ටි පිටින් විකිණෙයි.
මෙන්න මේ පෙට්ටිය ගන්න. ගමටම ඇහෙයි.
තුන් හුලස් වැලක් ගන්න.. පළාතටම ඇහෙනවා.
මෙබඳු කතා කියමින් වෙළෙන්දෝ රතිඤ්ඤා ඇඟේ ගසති.
කොරෝනා කොන්දේසි නිසා දැන් රුස්වීම් නැත. ඇත්තේ සුහද හමුය. ගිහින් බැලුවාම ඒවා සුහද මීටින්ය. රතිඤ්ඤා දල්වති. කති, බොති. කරට අත දා ගනිති. වැළඳ ගනිති. පටන්ගැන්මේ සිටම බොරැවමය.
පසුගිය සතියේ මැද ගම් පළාතක පැවති අපේක්ෂකයකු පිළිගැනීමකදී ද එකදිගට රතිඤ්ඤා දැල්වුණි. වෙඩි බෙහෙත් දුම, වළාවක් මෙන් අහසට නැගුණි. පිපිරී ගිය රතිඤ්ඤාවල කඩදාසි කැබලි පාර පුරා විසිරැණි.
උත්සවය අවසානයේදී අපේක්ෂකයා හමු වූ තරුණයෝ කීපදෙනෙක් ඔහු සමඟ කතාබහක යෙදුණහ.
ඔබතුමා පරිසර දූෂණයට විරුද්ධද?
තරුණයෙක් ඇසීය.
අපොයි ඔව්
අපේක්ෂකයා සිනාමුසුව පිළිතුරු දුනි.
එහෙමනම් ඇයි රතිඤ්ඤා පත්තු කරන්නේ?
තරුණයා එසේ ඇසූවිට අපේක්ෂකයා මොහොතක් කල්පනාවට වැටුණි.
රතිඤ්ඤා නිසා වාතයට කාබන්ඩයොක්සයිඩ් එකතු වෙනවා. දීපවාලි උත්සවයෙන් පස්සේ දිල්ලියේ මිනිස්සුන්ට හුස්ම ගන්න බැරැව ගියෙත් රතිඤ්ඤා දහස් ගණන් පත්තු කරපු නිසා.
පිරිසේ සිටි තවත් තරැණයෙක් දිගටම කියාගෙන ගියේය.
හරි. ඒක මම පිළිගන්නවා. ඔය පත්තු කරන හැම රතිඤ්ඤයක් වෙනුවෙන්ම අපි ගස් පැළ කරන්න වැඩපිළිවෙළක් සූදානම් කරලයි තියෙන්නේ.
අපේක්ෂකයා කීය.
ඒක හොඳ විකල්පයක් තමයි. ඒත් ගහක් හැදෙන්න කොච්චර කාලයක් ගතවෙනවද? එතකොට මිනිස්සුන්ගේ පෙනහළු කීයක් විනාශ වෙලාද?*
ඔව්. එහෙමනම් අපි රතිඤ්ඤා නවත්තලා රබන් ගහන්න කියමු.
කටකාර අපේක්ෂකයා එසේ කියමින් එතැනින් නික්ම ගියේය. මොහොතකට පසු ඈති තවත් පිළිගැනීමක රතිඤ්ඤා වැල් පත්තු වෙන හඬ ඇසුණි.
රතිඤ්ඤා නිපදවීම කර්මාන්තයකි. ඉන් ජීවත්වන පිරිසක්ද සිටිති. එහෙත් කිසියම් කර්මාන්තයක් නිසා මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් වේනම් ඒ ගැන දෙවරක් නොව තෙවරක් සිතා බැලීමට කාලය එළඹ ඇත.
මට හිතෙන හැටියට නම් රතිඤ්ඤා පත්තුවෙන් ලැබෙන්නේ හිස්, පුස් විනෝදයකි. ඒ විනෝදය කෙළවර ඇත්තේ හුස්ම ගැනීමට නොහැකිව දුක් විඳින මිනිසෙකුගේ වේදනාත්මක කෙඳිරියකි. සිගරට් පැකට්ටුවෙහි මෙන්ම රතිඤ්ඤා පෙට්ටියටත් අනතුරැ අඟවීමේ පාඨයක් එක් කරන්නේ නම් මැනවයි සිතේ.
මඟුල් ගෙවල්වලත් රතිඤ්ඤා පත්තු කෙරෙයි. එහෙත් දැන්නම් ගෙවල්වල මඟුල් කෙරෙන්නේ නැති තරම්ය. හෝම් කමින් එකද හෝටලයකදීමය. එහෙයින් පෙර සිරිත මැකී යමින් පවතී. තරැ පහේ නොව එකේ දෙකේ හෝටල් ඉදිරියේ පවා රතිඤ්ඤා දැල්වීමට අවසර නොලැබේ. ඉඳහිට හෝටලයක් ඉදිරියේ රතිඤ්ඤයක් දෙකක් දැල්වෙනු ඇසේ. එහෙත් ඒ කිසිවෙක් පිළිගැනීමට නොව, වඳුරන් එළවීමටය.
චීන පටස්ද රතිඤ්ඤයේ ඥාතියෙකි. රසට ලිවීමේ හපනෙකු වූ ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදී ඩී.එෆ්. කාරියකරවන මහතා කලකට ඉහත චීන පටස් නමින් යස තීරු ලිපියක්ද ලියුවේය. ඒ ලිපිය ලියන්නට කතුවරයාගෙන් ඔහුට ඇරුයුම් ලැබෙන්නේ මෙසේය.
කාරි සහෝදරයා, ලියන්නකො හොඳ තීරැ ලිපියක් සැරට! චීනපටස් වගේ සැරට.
කාරියකරවන සූරීහු තම තීරු ලිපියක චීනපටස් ගැන මෙසේ ලියති.
ඒ කාලේ මඟුල් තුලාවලදී රැව් දුන් ගිනි කෙළි භාණ්ඩය චීනපටස්ය. රතිඤ්ඤා සහ කොච්චි රතිඤ්ඤාවලට වඩා අලෙවි වුණේ චීනපටස්ය. අහස් වෙඩි (ආකාස) දක්නට ලැබුණේ බොහොම අඩුවෙනි. චීනපටස් වූ කලී බැලූ බැල්මට දෙහි ගෙඩියක් තරම් වන සුදු කඩදාසි ගුලියකි. එහි ඇතුළේ වෙඩි බෙහෙත් සංකලනයකි. ඒ ගුලිය ගහක ගලක හෝ දැඩි පොළොවක තදින් ගැසූ කල පටාස් ගා මහ හඬින් පුපුරයි. දුමක්ද නගී. ඒවාට චීනපටස් යන නම ලැබෙන්නට ඇත්තේ චීනයෙන් ගෙන්නූ නිසාත් පටස් හඬින් පිපීරූ නිසාත් විය හැකිය.
වෙඩි බෙහෙත්වල මෙන්ම රතිඤ්ඤාවලද ආරම්භය චීනයේය. එහෙත් රතිඤ්ඤා යන නම ලැබෙන්නේ පෘතුගීසීන්ගෙනි. කපිරිඤ්ඤා, රතිඤ්ඤා, ලස්කිරිඤ්ඤා, පිපිඤ්ඤා ආදී වශයෙනි.
සිංහල හෝඩියේ ඤ යන්න හා ඥ යන්න බොහෝදෙනකුට අජීර්ණය. ඒ පිළිබඳ ජනප්‍රිය සිනා කතාවක් මගේ මතකයට නැගෙයි.
නත්තල් සමයක එක්තරා වෙළෙන්දෙක් කොළඹ කොම්පඤ්ඤවීදියේ පදික වේදිකාවක රතිඤ්ඤා විකුණමින් සිටියේය. එය දුටු පොලිස් රළහාමි කෙනෙක් අනවසර වෙළෙඳාම හා පදික වේදිකාව අවහිර කිරීම යන චෝදනා මත ඔහුට විරුද්ධව කටයුතු කරන්නට සැරසී සටහන් පොත දිගහැරගත්තේය. ප්‍රශ්නයකි! කොම්පඤ්ඤවීදිය යනුවෙන් ලිවීමට ඔහු නොදනී. එහාපැත්තේ තිබෙන්නේ මැලේ වීදියය. රාළහාමි වෙළෙන්දාද ඇදගෙන එහි ගියේය. යළිත් ප්‍රශ්නයකි. රතිඤ්ඤා යනුවෙන් ලිවීමට ඔහු නොදනී. එහෙයින් වෙනත් වෙළෙඳාමක් ගැන ලිවීමට සිතු ඔහු මෙසේ ප්‍රශ්න කළේය.
තමුසේ රතිඤ්ඤාවලට කලින් වෙළෙඳාම් කළේ මොනවද?
මඤ්ඤොක්කා
ඊටත් කළින්?
පිපිඤ්ඤා
හොඳයි අපි කියමුකො කැකිරි කියලා
වෙළෙන්දා විකුණමින් සිටියේ කැකිරි යනුවෙන් ලියූ රාළහාමි ඊළඟ ප්‍රශ්නය ඇසුවේය.
තමුසෙගේ නම?
ලස්තිරිඤ්ඤ හේවාලාගේ පිලිප්පු සිඤ්ඤෝ
රාළහාමිට දාඩිය දැම්මේය.
පළමු වතාව නිසා මම තමුසෙට සමාව දෙනවා. මීටපස්සේ කොම්පඤ්ඤවීදියේ රතිඤ්ඤා, පිපිඤ්ඤා විකුණලා අහුවෙන්න එපා. වෙන ඕන තැනක ඕන මගුලක් විකුණගත්තට කමක් නෑ. පුළුවන්නම් අපේ රාජකාරියට බාධා නොවන විදිහේ නමකුත් දාගන්ඩ බලනවා.
රළහාමි සටහන් පොත වසා සාක්කුවේ දමා ගත්තේය.
කපිල කුමාර කාලිංග