සිරි ලංකාවට නිවාඩු වැඩි යැයි මතයක් ඇත. මේ පිළිබඳව පසුගිය පෝය නිවාඩු දිනයේ අපගේ මිතුරු සමාජයේද කතාබහක් ඇති විය.
පෞද්ගලික ආයතනයක සේවය කරන ජගත් පැවසුවේ සිරි ලංකාවට පමණක් සීමා වූ පෝය නිවාඩුව නිසා ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමට යාමේදී විවිධ අපහසුතා, ප්‍රමාද හා ආර්ථිකමය පාඩු සිදුවන බවකි. මේ ගැන කවුරුත් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නේ අනවශ්‍ය ලෙඩ දාගැනීමට අකැමති නිසාය.
පොහෝය නිවාඩුවේ අරමුණ කුමක් වුවත් දැන් එය භාවිත කෙරෙන ආකාරය අප නොකීවාට කවුරුත් දනිති. සති අන්තයකට හෝ මුලට පෝය නිවාඩුවක් එක් වූ විට &ලෝන්ග් වීක්එන්ඩ්* එකක් නොහොත් දීර්ඝ සති අන්තයක් සැදේ. නිවෙස්වල හා කාර්යාලවල ඇති දින දර්ශනයන්හි වර්ෂයකට ඇති එවැනි දීර්ඝ සති අන්ත සලකුණු කර ඇත. වන්දනා ගමන් ඇතුළු විනෝද චාරිකා, ප්‍රිය සාද වැනි කටයුතු යොදාගන්නේ ඒ නිවාඩු දිනවලදීය. සීල ව්‍යාපාර මෙන්ම දහම් පාසල් උත්සව, දානමය පිංකම් යනාදිය නොපැවැත්වෙනවා නොවේ.
යුරෝපා රටවල මෙන් එක දිගට වැඩ කර මාසයක් දෙකක් එකදිගට නිවාඩු ලැබීමේ සම්ප්‍රදායක් අපට නැත. ඒ සඳහා බලපාන සීත සෘතුව වැනි හේතු අපට නැත. අපට තුන්සිය හැටපස් දවසේම &සමර්* නිසා සම රුකගැනීමට මුහුදු වෙරළවල අඩ නිරුවතින් වැතිර සිටීමේ අවශ්‍යතාවක්ද නැත.
සිරි ලංකාවේ උදවිය නිවාඩු දිනවල පමණක් නොව වැඩ කරන දිනවලත් නිවාඩු පාඩුවේ සිටින බව ප්‍රසිද්ධ රහසකි. මීට වසර කිහිපයකට පෙර මම කිසියම් කටයුත්තක් සඳහා කොළඹ පිහිටි රජයේ කාර්යාලයකට ගියෙමි. එවිට වෙලාව දහවල් එකහමාරට පමණ ඇත. මා මගේ කටයුත්තට අදාළ අංශය වෙත යනවිට එහි සියල්ලෝම දිවා ආහාරයෙන් පසු නිදිය. සේවක සේවිකාදීහු මේස මත හිස තබා එක් පසෙකට නිදා සිටියදී අංශ භාර ප්‍රධානියා සේවකයන්ගේ පැත්තට හිස නමාගෙන නිදිය.
එවකට පෞද්ගලික ආයතනයක සේවය කළ මම මේ දර්ශනයෙන් මවිතයට පත්වුණෙමි. මගේ ආයතනයේ මෙලෙස නිදා සිටියා නම් මා පසු දිනම ගෙදරය. එහෙත් රජයේ කාර්යාලවල නිදි සුව ලැබීමද රාජකාරියේ කොටසකි. මානව නැත්නම් වෘත්තීය අයිතිවාසිකමකි. ඊට එරෙහි වුවහොත් වෘත්තීය සමිති අවදි වීමට ඉඩ ඇත.
ඉහත කියූ දිනයේ මගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ක්‍රමයක් නොවූයෙන් මම කොරිඩෝවක යමින් සිටි සුළු සේවිකාවකගෙන් මෙසේ ඇසුවෙමි.
......... අංශයේ මහත්තුරු නැගිටින්නේ කීයටද?
තුනේ තේ එකට නැගිටිනවා
මට එතෙක් බලා සිටීමට නොහැකි හෙයින් මම ආපසු ගියෙමි. පසු දිනෙක පස්වරු තුනෙන් පසු යළි එහි ගියෙමි. සේවක පිරිස තේ පානයෙන් පසු මුහුණ කට සෝදාගෙන ඇඳුම් පැළඳුම් සකසමින් හිස කෙස් පීරමින් ආපසු යාමට සැරසෙති.
මම මගේ කාර්යයට අදාළ ලිපිකාර මහතා වෙත ගොස් කාරණය කීවෙමි.
අනේ ඇයි මෙච්චර පරක්කු වෙලා ආවේ? දැන්නම් බැරි වෙයි. මට කෝච්චිය අල්ලන්න යන්න තියෙනවා ඒ මහතා ඈනුමක් අරිමින් කීවේය.
මේ තීරු ලිපිය ලියන්නට කල්පනා කරමින් සිටියදී දැන් එම රාජ්‍ය ආයතනයේ සිටින පරිපාලන සේවයට සම්බන්ධව පුහුණුව ලබන මගේ මිත්‍රයකුගෙන් එහි වර්තමාන තත්ත්වය ගැන විමසීමක් කළේ ඉහත අත්දැකීමද කියමිනි.
මගේ මිත්‍රයා සිනාසී මෙසේ කීවේය.
ඒවා දැන් නෑ. මෙහේ අය නිදාගන්න බයයි.
ඇයි බය?
ගෝඨා සර් ඇවිදින් නින්ද කඩයි කියන බයට
ඔහු එය කීවේ විහිළුවටම නොවේ. රජයේ ආයතන නින්දෙන් අවදිවෙමින් සිටී. ගෝඨා සර් නොහොත් ජනාධිපතිතුමා ඕනෑම මොහොතක කඩා පනින්නට ඉඩ ඇත.
ඊයේ පෙරේදා අපගේ මිත්‍ර ඡායරෑප ශිල්පියෙක් තම මිතුරකු හමුවීම සඳහා රජයේ කාර්යාලයකට ගියේය. මිතුරා වැඩක යෙදී සිටියෙන් ඔහු විමසීම් අංශයේ හිඳ ජංගම දුරකථනයෙන් ඇමතුමක් දෙකක් ගත්තේය. ඡායාරෑප උපකරණ සහිත හතරුස් බෑගය ඔහුගේ උකුල මත විය.
වැඩි වේලාවක් ගියේ නැත. කාර්යාලයේ සේවක සේවිකාවන් ඔහු පසුකර යනවිට මඳක් නතරව ඇයි මහත්තයා.. කවුරුහරි හම්බවෙන්නද ආවේ? මොකද්ද වෙන්න ඕනේ? යනාදි වශයෙන් අසන්නට වූහ. එක් අයෙක් ඔහුගේ කනට ළංව ඔබතුමා කවුරුහරි එනකල්ද ඉන්නේ? යැයි ඇසීය.
පාර්ලිමේන්තුවේ පමණක් නොව ප්‍රාදේශීය හා පළාත් සභාවල මහජන නියෝජිතයන් පවා විදේශ චාරිකාවල (අධ්‍යාපන චාරිකා) යෙදීම, මෙරට දේශපාලනයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. විදේශ රටවලදී ලබන අත්දැකීම් විස්තර කිරීමට මැළි වන නමුදු, එහිදී ඉගෙනගන්නා දේවල් මෙරටදී ක්‍රියාත්මක කළ හැකි යැයි කියා සිටිති. එය අගය කළ යුතුය. ක්‍රියාත්මක කළ හැකි ආකාරය දැන ගැනීමට යළිත් රට යති. ආපසු එති. කතාව පමණි. කාරිය නැත.
අපේ දේශපාලනඥයෙක් යුරෝපයේ කෙළවරක පිහිටි කුඩා රටකට ගොස් පැමිණියේය. ඔහු තම මාධ්‍ය ලේකම්වරයා කැඳවා මෙසේ කීය.
ඒවා තමයි නියම දියුණු රටවල් කියන්නේ අයිසේ. එහෙ මිනිස්සු වැඩ කරන්නේ සතියකට දවස් තුනයි. අනිත් හතරම නිවාඩු
ෂහ්! අපි තමයි මෙහෙ නිවාඩු වැඩියි කියලා බොරු සද්ද දුන්නේ
මාධ්‍ය ලේකම් යමක් සටහන් කරගන්නා අතර කීය.
හැබැයි එහෙ නොදියුණු අංශත් තියෙනවා
දේශපාලකයා කීය.
ඒ මොනවද සර්?
එහෙ පාර්ලිමේන්තුවට නිවාඩු නෑ. මැති ඇමැතිවරු අවුරුද්දෙම වැඩ. ඒ මදිවට පඩිත් නෑ.
දේශපාලකයා මුහුණ ඇඹුල් කරගෙන කීවේය.
හානේ! ඒ අතින් මේවා දිව්‍යලෝකනේ. නේද සර්?
මාධ්‍ය ලේකම් ඉවත බලාගෙන කීවේය.
- කපිල කුමාර කාලිංග