මෙවැනි ලිපියක් මගින් අපේක්ෂා කරන්නෙ වර්තමාන පාලකයන් විසින් ඇතිකරලා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ නිවටයන් සේ, යාචකයන් සේ මසුරන් සේ නොකා නොබී අරපිරිමැස්මට හුරුවෙන්න කියන එක නෙමෙයි. ජනතාව විසින් ජනතාව පාලනය කරන්නට, රටේ ප්‍රශ්න විසඳන්නට, ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට තෝරාපත් කරගත් පාලකයන් ආර්ථික අර්බුද ඇති කරන්නේ නම් රට ආගාධයකට ඇද දමන්නේ නම් අප දැඩි ලෙස එයට එරෙහි විය යුතුයි. රටක් පාලනය කළ නොහැකි නම් පන්නා දැමිය යුතුයි.
ඉහළ මධ්‍යම පංතිය, පහළ මධ්‍යම පංතිය සහ නිර්ධන යන සමාජ ස්ථර තුනෙන් පහළ මධ්‍යම පන්තිය යන සමාජ ස්ථරය නැතිවෙමින් යන ධනපති පංතිය සහ නිර්ධන පංතිය පමණක් ඉතුරුවෙන සමාජ වෙනසක් මේ අර්බුදය විසින් නිර්මාණය කරන මඟ සලකුණු දැනටමත් ගොඩනැගී අවසන්. එහෙත් ඒ ධනපති පන්තිය යන සමාජ ස්ථරයත් මින් පෙර අත්විඳි ඉසුරුමත් ජීවන ශෛලියෙන් පිටස්තර භූමිකාවකට පැමිණෙමින් සිටිනවා...
අප දැන හෝ නොදැනුවත්ව අරපරිස්සමින් ජීවිතේ සියල්ල කළමනාකරණය කළ යුතුය යන මානසිකත්වයට අද අප පැමිණ සිටිනවා... අරපිරිමැස්ම කියන වචනය නොඇසෙන තැනක් නැති තරම්. ජීවිතය සහ ජීවත් වීම තුළ ඇති නැති පංගු පේරුවකින් තොරව මේ රටේ සීයට අනූනවයක් මිනිස්සු හෙම්බත් වෙච්ච කාලයක් තමයි අපි මේ ගෙවමින් සිටින්නේ. ඒ නිසා අපට අප සහනයක් වන්නට නම් අරපිරිමැස්ම හුරුවිය යුතුයි. විශේෂයෙන්ම ගම්බද දෙමව්පියන් තමන්ගෙ දියණිවරුන්ට පුංචි කාලේ ඉඳන් දෙන ඔවදනක් තමයි මේ... ''පුතේ නාස්තිකාරකම්වලට, වැඩක් නැති සෝබන දේවල්වලට පුරුදු වෙන්න එපා... අර පිරිමැස්මක් නැති වුණොත් කවදාවත් හරියට කුස්සිය පාලනය කරගන්න බෑ... පවුලක් විදිහට කවදාවත් දියුණු වෙන්නත් බෑ'' එහෙත් ඒ ඔවදන දුවලට විතරක් නෙමේ පුතාලටත් සාධාරණයි.
කළමනාකරණය කියන විෂය ධාරාව ප්‍රගුණ කරපු කෙනෙක්ට විතරක් නෙමෙයි කළමනාකරණය ජීවිතය සහ ජීවත්වීම තුළින් අපි හැමෝටම ඉගෙන ගත හැකි සහ දැන ඉගෙනගතයුතු දෙයක්... ඒ වගේම ජීවත්වීම තුළ අපි ඉගෙන ගත යුතු එක් සිද්ධාන්තයක් තමයි අපිට අත්‍යවශ්‍ය දේවල් මොනවද? අපිට අවශ්‍ය දේවල් මොනවද? අපිට උවමනා දේවල් මොනවාද? ඒ ලැයිස්තුවෙන් අපි ප්‍රමුඛතාව දිය යුත්තේ මොනවටද? කියන එක.
ඇත්තටම මොකටද නාස්තිකාරකම කියන්නේ?
කාලය හෝ වෙනත් භෞතික ඕනෑම දෙයක් නිසි හෝ කිසි ප්‍රයෝජනයක් නොගෙන අපතේ හැරීම, යමක් අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලට හෝ භාවිතයට ගැනීම, තමන්ගේ ආර්ථික තත්ත්වය හෝ අවශ්‍යතාවය අනුව නොව සමාජ තත්ත්වය පෙන්වීමට, හිස් සිතුවිලි, හීනමානය උද්දච්චකම වැනි මානසික තත්ත්වයන් මත තමන්ට ඇත්තටම තිබෙනවාට වඩා මවා පෙන්වීමට ඇති අවශ්‍යතාවය හේතුකරගෙන අනවශ්‍ය දේවල් මිලට ගැනීම අනවශ්‍යය ජීවන ශෛලීන් අනුගමනය කිරීමට ඇති තේරුමක් නැති අවශ්‍යතාවයයි. මේ සියල්ල නාස්තිකාරකම් ලෙස හඳුන්වා දිය හැකියි.
ආත්මාර්ථකාමිත්වය සහ මේ මගේ දෙයක් නොවේ ඒ නිසා මට කම් නැතැයි යන හැඟීමද මිනිසුන් නාස්තිකාරකම්වලට පොළඹවයි. පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී අසුන් ඉරා දමන්නේ, උපාංග ගලවාගෙන ගෙදර යන්නේ, ජල කරාමයක් ඇරිය විට ජලය අපතේ යන ලෙස භාවිත කරන්නේ කාර්යාලයේ හෝ වෙනත් පොදු ස්ථානවල විදුලි පහන් සහ වායුසමන යන්ත්‍ර මෙන්ම දුරකථන අනවශ්‍ය ලෙස භාවිත කරමින් නිවා නොදමන්නේ ඒ කිසිවක් තමන්ගේ නොවේ යන හැඟීමෙනි. එයින් දවසකට නාස්තිවන ජලය විදුලිය සම්පත් සහ මුදල් කොපමණදැයි කල්පනා කර බලන්න. ඇතැම්විට කාර්යාලයේ ඇති කඩදාසි කොපමණ සංඛ්‍යාවක් ඔබ නිකරුනේ අත පිස දැමීමට භාවිත කරමින් ඉවත දමනවා දැයි කල්පනා කර බලන්න. ඒ කිසිවක් ඔබේ මුදල් නොවුණත් එසේ නාස්ති කර දමන සියල්ල කවුරුන් හෝ මුදල් වියදම් කර ලබාගත් දේවල්ය. පිරිවැයක් වියදම් කර නිෂ්පාදනය කළ දේවල්ය.
ඇතැම් ගෘහණියන් සුපිරි වෙළඳ සංකීර්ණවල භාණ්ඩ මිලදී ගන්නට ගිය විට ඇසුරුම් කළ ආහාර වර්ග මිලට ගන්නේ අවශ්‍යතාවය අනුව නොව දැක්ක නිසා ගත්තා හොඳඳ බලන්න වැනි හැඟීමකිනි. ඇතැම්විට ඔබ එසේ මිලට ගන්නා මිල අධික නිෂ්පාදනයක් එම ගුණාත්මකභාවයෙන්ම ඊට වඩා අඩු මිලකට මිලදී ගන්නට පිළිවන. ඇතැම් පුද්ගලයන්ට ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී මිලදී ගැනීමේ සහ වියදම් කිරීමේ කළමනාකරණයක් නැත. එහෙත් ඔබ ගැඹුරින් කල්පනා කළ යුත්තේ ඔබ වියදම් කරන හැම රුපියලක්ම ඔබේ ආර්ථික කළමනාකරණය හා බැඳී ඇති බවයි. ඒ හැම රුපියලක්ම ඔබේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි වගවන බවයි.
ඇතැම් ගෘහණියන් මිලදී ගන්නා ඇතැම් භාණ්ඩ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කල් ඉකුත් වූ පසු විසික් කර දමයි. එළවළු ආදිය තමන්ට පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා රුගෙන ගොස් නරක් වූ පසු ඒවා ඉවත දමයි. ණය බරින් මිරිකී සිටියදී පවා අද කඩෙන් කමු යැයි යෝජනා කරමින් ඔබට ගුණාත්මකව නිවසේදී පිළියෙළ කරගත හැකි ආහාර වේලක් වෙනුවෙන් වැය වැය කරන මුදල මෙන් තුන් හතර ගුණයක් ගෙවමින් ගුණාත්මක භාවයෙන් තොර රසකාරක යෙදූ ආහාර ඇනවුම් කරමින් සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයටද තමන් විසින්ම තර්ජනයක් එල්ල කර ගනියි.
සැබැවින්ම අපි ජීවිතය වින්දනය කළ යුත්තේ ඒ වින්දනයේ ප්‍රතිඵල ලෙස පීඩනයක් ගොඩ නොනැගෙන වාතාවරණයක් තුළය. නිවසේ පරිභෝජනයට මට සතියකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්, මේ දිනවල වෙළඳපොළේ මිල අධික එළවළු වර්ග මේවා එනිසා ඒවා මිලදී නොගෙන මට ඒ ගුණයම තියෙන මෙන්න මේ දේවල් මිලදී ගන්න පුළුවන්, ඉක්මනින් නරක් වෙන එළවළු වර්ග එකවර වැඩි ප්‍රමාණයක් මිලදී නොගත යුතුයි වැනි අවබෝධයන්ගෙන් යුක්තව ගෘහණියක් ලෙස ඔබේ ක්‍රියාකලාපය සැබැවින්ම ආර්ථික කළමනාකරණයේදී හරිම වැදගත්.
කිසිවක් අපතේ නොහරිමින් අනවශ්‍ය ලෙස භාවිත නොකරමින් පරිහරණය කිරීම සහ එයින් නිසි ප්‍රයෝජනයක් ගැනීම අරපිරිමැස්මයි. ඇතැම් ගෘහණියන් පුරුදු වී සිටින්නේ නිවසේ පස්දෙනෙකු කෑමට සිටී නම් හත් අට දෙනෙකුට පමණ ආහාර පිළියෙළ කර ඉතුරු ආහාර අපතේ දැමීමටය. මේ අපතේ දමන්නේ මුදල් සහ යම් නිෂ්පාදනයක්ය යන හැඟීම ඔවුන්ට නැත. සැබවින්ම සකසුරුකමෙහි නිපුන ගැහැනියක් තම දෑත හුරු කළ යුත්තේ නිවසේ පස් දෙනකු සිටී නම් හතර දෙනකුට සෑහෙන්නට උයා කිසිවක් අපතේ නොයන ලෙස එය පස් දෙනෙකුට බෙදීමටය. අරපිරිමැස්ම සහ ලෝභකම යනු පැහැදිලිවම එකක් නොව දෙකකි. අවශ්‍ය දේට අවශ්‍ය තැනදී වියදම් නොකර තමන්ගේ යුතුකම් වගකීම් වෙනුවෙන් කිසිවක් ඉටු නොකර තමන්ගේ ආර්ථිකයට ඔබින ලෙස සුව පහසු ජීවන පැවැත්මක් උදෙසා කිසිම වියදමක් නොකිරීම සහ අනවශ්‍ය ලෙස ගොඩගසා ගැනීමට හුරුවීම ලෝබකමයි.
ලෝභකම යනු අනුමත කළ නොහැකි සංකල්පයක් වුවද අරපිරිමැස්ම යනු කෙතරම් වටිනා සංකල්පයක්දැයි ඔබම සිතන්න. ණයවීම යනු සැබැවින්ම මානසික පීඩනයකි. ණය බවින් තොරව නොහැකියාවකින් තොරව ජීවත් වීමේ මාර්ගය ඔබට අරපිරිමැස්ම සහ නිවැරදි කළමනාකරණය ඔස්සේ සකස් කරගත හැකිය. ''මේ මම පුරුදු වෙලා තියෙන විදිය මට වෙනස් වෙන්න බෑ'' අනිසි කළමනාකරණය සහ නාස්තිකාරකම ඉදිරියේ අදත් ඔබේ පිළිතුර එය විය හැකිය. එසේ ඇබ්බැහිවූ පුරුදු වලින් මිදෙන්නේ කෙසේද? ජීවිතය උදෙසා නිවැරදි සුවපහසු සහ පීඩනයකින් තොර ක්‍රමවේදය අප තෝරාගන්නේ කෙසේද?
විශේෂයෙන් වර්තමාන ලංකාවෙ මා දකින දෙයක් තමා බොහෝ අය තමාව දකින ආකාරයට වඩා සිතන්නෙ අනුන් තමාව දකින ආකාරයයි. තමා සතුටින් තියනවට වඩා බොහෝ අය යන්නෙ බාහිර සමාජයේ වෙනත් අය සතුටු කරන්න. උදාහරණයක් ගතහොත් බොහෝ අය ඉතා මිළ අධික වාහන මිලදී ගන්නෙ ලීසින් ගහලා ණය වෙලා. ඉන් අපේක්ෂා කරන්නෙ තමා සතුටින් සිටින බව, තමා ධනවත් බව බාහිර සමාජයේ මිනිසුන්ට පෙන්වීම. අප දන්න ඇතැම් පුද්ගලයින් සිටිනවා ඔවුන්ගේ වැටුපෙන් ණය සහ ලීසින් ගෙවනවිට අතේ ඉතිරි වෙන්නෙ රුපියල් දෙදහසක් පන්දහසක්. බාහිර ලෝකය සතුටු කරන්නට යාමෙන් මේ අය ඇත්තටම ජීවත් වන්නෙ මානසික සතුටෙන් නොවෙයි. ලොකු මානසික පීඩනයකින්. ඇතැම්විට කුසට අහරක් නැතුව. මානසික ආතතියකින්, මානසික අවපීඩනයකින් තොරව ජීවත්වෙන්න මඟ සකසා ගන්නේ කෙසේද? ඊළඟ සතියේ අපි ඒ ගැන කතා කරමු.