විශ්ව සාහිත්‍යයේ අද්විතීය තැනක් හිමි කරගත් එමා බෝවාරි නවකතාව ලියූ ප්‍රංශ ලේඛක ගුස්ටාව් ප්ලෝබෙයාර්ගෙන් සහෘදයෙක් දිනක් අහනව ඇත්තටම කවුද මේ එමා... ඔබ ඇසුරැ කළ තවත් ගැහැනියක්ද ඇය කියලා... ගුස්ටාව් ප්‍රශ්නය බොහොම ගෞරවයෙන් පිළි අරගෙන එමා බෝවාරි නවකතාව කියවීම ගැන ඔහුට ස්තුති කරමින් මෙහෙම කියනවා... නෑ මහත්මයා එමා කියන්නේ මම... එමා තුළ ජීවත් වෙන්නේ වෙන කවුරැත් නෙමෙයි මම... පසු කාලෙකදී එමා බොවාරි නවකතාව ගැන කතා කරද්දී විචාරකයන් මෙවැනි පාඨක ප්‍රතිචාර ගැන කතාකරන්නේ බොහොම ආදරයකින්... මට මෙහෙම හිතෙනවා... ඕනෑම නිර්මාණයක් කියන්නේ පොහොට්ටුවක්... ඒ පොහොට්ටුව මලක් වෙලා පිපෙන්නේ එය ජනගත වීමේ ඉඩහසර තුළ....
ඇත්තටම ජනගත වූ පසු නිර්මාණයක් අයිති නිර්මාණවේදියාට නෙමෙයි. එය ආදරයෙන් පිළිගත් සහෘදයන්ට, පාඨකයන්ට රසිකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට. පාඨක සහෘද ප්‍රේක්ෂක හෝ අනුගාමික හදවත් මත තමන් වෙන් කරගන්නා අවකාශය කොතරම් ගැඹුරැද, සදාතනිකද යන සාධකය ඕනෑම නිර්මාණවේදියකුගේ ගමන් මගේ වැදගත් සාධකයක්... භෞතිකය මියගියත් පරපුරෙන් පරපුරට ජීවමාන වුණේ එවන් සනාතන මිනිසුන්.... තවදුරටත් මේ මාතෘකාව ඔස්සේ ඇවිදගෙන යද්දී මේ කතාබහ තවත් දිශානතියක් ඔස්සේ ගෙනියන්න මම කැමතියි...
විවිධ භූමිකාවන් තුළ අපි අපිවම ලෝකයට හඳුන්වා දෙන තැන් තියෙනවා... වෘත්තීය ජීවිතය තුළ ගුරැවරයෙක්, කථිකාචාර්යවරයෙක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් මේ කවුරැ වුණත් ඔබ ගනුදෙනු කරන ප්‍රජාවක් ඔබත් එක්ක ඉන්නවා... විශේෂයෙන් ගුරැවරයෙක්, කථිකාචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක්, වගේ වෘත්තිය භූමිකාවක් ගත්තම එතන නිර්මාණය වෙන්නේ හුදෙක් භෞතික භූමිකාවකටත් වැඩිය ආධ්‍යාත්මික නිර්මල බැඳීමක්... ඒ වගේම කලාවේදියෙක්, ලේඛකයෙක්, ගීත රචකයෙක්, කවියෙක්, විචාරකයෙක් වගේ භූමිකාවක් ගත්තාම ඔවුන් ඔබ වටා එකතු වෙන්නෙත් හුදෙක් ගනුදෙනුවකට සීමා වූ පිරිසක ස්වරෑපයෙන් නෙමෙයි...
සහෘදයන්, රසිකයන්, ශ්‍රාවකයන්, පාඨකයන්, ප්‍රේක්ෂකයන් විදියට ඔවුන් ඔබ හා එක්වන්නේ ආධ්‍යාත්මික බැඳීමකින්... ආදරයකින් සහ ගෞරවයකින්... අන්න ඒ ආදරය ප්‍රකාශ කිරීමේ එක් මාධ්‍යයක් විදියට ඔවුන් ඔබෙන් විවිධ ඉල්ලීම් කරන්න පුළුවන්... ඒ ඉල්ලීම් බොහෝදුරට ඔබ යන ගමන අර්ථවත් කරනු පිණිස ඉවහල් වෙන ඉල්ලීම් වෙන්න පුළුවන්... ඔවුන් ඔබෙන් කරන්නේ ඔවුන්ගේ ජීවිත අත්දැකීමක්, නැත්නම් ඔවුන් කැමති ප්‍රස්තූතයක් ඔබේ නිර්මාණයකට වස්තු විෂය කරගන්න කියන ඉල්ලීම වෙන්න පුළුවන්... ඒ වගේම විශේෂයෙන් අද්‍යතනය වනවිට සමාජ මාධ්‍යයත් එක්ක මිනිස්සු හුඟක් ගනුදෙනු කරන කාලෙක ඔවුන් ඔබට විවිධ ප්‍රතිචාර දක්වන්න පුළුවන්... ඒ ප්‍රතිචාර සෘණාත්මක මෙන්ම ධනාත්මකද වෙන්න පුළුවන් වගේම ඔබට දක්වන්නට ඇති ප්‍රතිචාරත් සෘණාත්මක හෝ ධනාත්මක වෙන්න පුළුවන්... ධනාත්මක ප්‍රතිචාර වඩාත් ප්‍රශංසනීයවත් ඍණාත්මක ප්‍රතිචාර සිත් නොරිදෙන සේ සැලකිල්ලෙනුත් දැක්වීම ජීවිතයේ කොතනකදීත් හරිම වැදගත්...
ඇත්තටම ධනාත්මක ප්‍රතිචාරයක් කියන්නේ එක්තරා විදියක අභිප්‍රේරණයක්
ධනාත්මක ප්‍රතිචාර ලබන පුද්ගලයා නැවත නැවත ධනාත්මක ප්‍රතිචාර දක්වමින් කෙනෙක් දිරිමත් කරන්නට පෙළඹෙනවා... මෙතෙන්දී ඔබ තේරැම් ගත යුතු එක් මානුෂීය සිද්ධාන්තයක් තියෙනවා. සමහර මිනිස්සු වචන කෙරේ හුඟක් සංවේදීයි. ආමන්ත්‍රණය කෙරේ හුඟක් සංවේදීයි. එම නිසා කෙනෙක් කෙරේ ප්‍රතිචාර දක්වද්දී එවන් මානවීය ස්වරෑපයන් කෙරේ සංවේදී වීමත් හුඟාක් වැදගත්.
විශේෂයෙන් නිර්මාණවේදියකුට වැදගත් වෙන්නේ තමන්ගෙ නිර්මාණ ශක්‍යතාව විතරක් නෙමෙයි... ඒ නිර්මාණ ඔස්සේ විහිදුවන ගුණ සුවඳ නිෂ්පන්න වන ඔබේ හදවතත් ගුණාත්මක වටිනාකම් වලින් අර්ථාන්විත කර ගැනීම වැදගත්... නිර්මාණයකට හදවතක වෙන්කරන ඉඩහසර නිර්මාණවේදියෙක් වෙනුවෙනුත් වෙන් වන්නේ එවන් පසුබිමකදී...
හැබැයි මෙතනදී තේරැම් ගත යුතු තවත් කාරණයක් තියෙනවා... පුද්ගලයෙක් භූමිකාවන් දෙක තුනක නියැළෙද්දී කාර්යබහුල වෙන්න පුළුවන්... ඒ නිසාම ඉල්ලීමක් කෙරේ සැලකිලිමත් වීම, ඇහුම්කන්දීම වගේම ප්‍රතිචාරවලට ප්‍රතිචාර දැක්වීමත් මඟ හැරෙන්න, අමතක වෙන්න පුළුවන්... අන්න ඒ වගේ මොහොතක නිර්දය විවේචන වෙනුවට ඉල්ලීමට හෝ ප්‍රතිචාරයට ප්‍රතිචාර දැක්වීම නොවුණත්, පමා වුණත් ඔහුගේ හෝ ඇයගේ හදවත සහ වටිනාකම තේරැම් ගැනීම වැදගත්... එහෙත් කාර්‍ය බහුලවීම නිදහසට හේතුවක් කර නොගෙන භූමිකාවන් වෙනුවෙන් වැය කරන්න කාලය හොයාගන්න පුළුවන් නම් ඔබගේ ප්‍රේකෂකාගාරය වෙනුවෙන් ඇහුම්කන් දීමට, ප්‍රතිචාර දැක්වීමට කාලයක් වෙන්කර ගැනීමත් ඔබේ යුතුකමක්....
සැබැවින්ම ආදරය, ගෞරවය, සහෘදත්වය ලබාගැනීමට වඩා අසීරැ වන්නේ නිවැරදි මානවීය කළමනාකරණයක් තුළ ඒවා නොවෙනස්ව පවත්වා ගැනීමයි... මොහොතක් මොහොතක් ගාණේ සියල්ල වෙනස්වන ලෝකයක ඇත්තටම එය වරෙක දුෂ්කර වෑයමක්... එය එසේ නොවන්නට මනෝවිද්‍යාත්මකව නිසි කළමනාකාරිත්වයක් බැඳීම් විෂයෙහි සහ ප්‍රතිචාර දැක්වීම විෂයෙහි ඇති කරගන්නෙ කොහොමද කියලා අපි කතා කරමු.
බැඳීම් විවිධාකාරයෙන් පවතිනවා. සෑම බැඳීමක්ම වටිනා මානවීය බැඳීමක් බව ඔබ පළමුව තේරැම්ගත යුතු දෙයක්. ඇතැම් පුද්ගලයින් සිටිනව තමාගේ කාර්ය බහුලත්වය මත මානවීය බැඳීම්වලට දෙන්නෙ ඉතා අඩු වටිනාකමක් ඒ නිසාම බැඳීම් විෂයෙහි ප්‍රතිචාර දැක්වීම අඩු වෙනවා. තමා කෙතරම් කාර්ය බහුල වුවත් මානවීය බැඳීම්වලට ප්‍රතිචාර දක්වන්නට පුළුවන් නම් මිනිසුන්ගේ ආදරය, ගෞරව සහෘදත්වය ඉතා පහසුවෙන් ඔව වෙත ළඟා වෙන බව අමතක නොකළ යුතු දෙයක්.
මේ සම්බන්ධයෙන් සරල උදාහරණයක් ගන්නට පුළුවන්. ඔබ සමාජ මාධ්‍ය විශේෂයෙන් මුහුණු පොත භාවිත කරන කෙනෙක් නම්, ඔබ යම් පිංතූරයක් හෝ වෙනත් ලිපියක් මුහුණු පොතෙහි දැම්මා යැයි සිතන්න. ඇතැම් විට ඔබගේ උපන්දිනය විය හැකියි. එවිට ඔබට ප්‍රිය පුද්ගලයින් එයට ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා. එම සෑම ප්‍රතිචාරයකටම ප්‍රමුඛත්වයක් ලබාදෙන්න. එම ඔබගේ හිතවතුන් ප්‍රේක්ෂකයින්, සහෘදයින් අපේක්ෂා කරන දෙයක්. ඔබ එය නොසලකා හරින්නේ නම් ඔබගේ ප්‍රතිචාරය අපේක්ෂා කළ පුද්ගලයාගේ සිත තුළ ඔබ පිළිබඳ අප්‍රසාදයක් කලකිරීමක් ඇති වෙනවා. සම්බන්ධතා දුරස් වීමට ඒව බලපානවා. ඔබ කෙතරම් ජනප්‍රිය වුවත්, ඔබ කෙතරම් කාර්ය බහුල වුවත් අනෙකාට එය අදාළ නැත. ඔබ අනෙකාට ඉඩක් දිය යුතුයි.
යම් කෙනෙකු වෙත ඔබ වෙත ළඟාවිය හැකි බවක් තිබිය යුතුයි. ඔබ කෙතරම් කාර්ය බහුල වුවත් දුරකථනයකින් හෝ ඔබ වෙත ළඟාවිය හැකි බවක් තිබිය යුතුයි. සමාජයේ ඇතැම් භූමිකා දරන අය සිටිනවා. මේ කියන ළඟාවිය හැකි බව පවතින්නෙ ඉතාම සෘණ අගයක. ඔබ දුරකථන ඇමතුම් පහ හයක් දුන්නත් එයට ප්‍රතිචාරයක් දක්වන්නෙ නැහැ. එය අතිශය හදිසි කාරණයක් විය හැකියි එහෙත් මෙසේ ඇමතුවේ ඇයිදැයි නැවත සොයා බැලීමක්වත් කරන්නෙ නැහැ. එවිට එම දුරකථන ඇමතුම දුන් පුද්ගලයාගෙන් ආදරය, ගෞරවය, සහෘදත්වය ඔබ ලබාගන්නේ කෙසේද? එම පුද්ගලයාට ඔබව සදහටම එපාවෙන්නට එයම හේතුවක් වෙන්නට පුළුවන්.
මිනිසුන්ට ඇතැම් තනතුරැ, භූමිකා ලැබෙන්නෙ අවුරැදු කිහිපයකට ඇතැම්විට අවුරැදු දෙක තුනකට විය හැකියි. මේ සඳහා උදාරණයක් වශයෙන් ආයතනවල සභාපතිධුර, අධ්‍යක්ෂක ධුර වැනි භූමිකා ගන්නට පුළුවන්. ඔවුන් සෑමවිටම මානවීය ගුණධර්මයන් වලින් සමන්විත වන්නේ නම් යටත් සේවයකන් අතර කතා බහට ලක්වෙනවා. එසේ වන්නේ අනෙකාට ප්‍රතිචාර දැක්වීමේ ඔහුගේ හැකියාව මත.
ඔබ සමාජයේ කිනම් භූමිකාවක් දැරැවත් ඇහුම්කන්දීම, පිළිගැනීම, අගය කිරීම වැනි මානවීය ගුණධර්මවලින් යුක්තව ඔබේ ප්‍රේක්ෂකයාට, ඔබේ ශ්‍රාවකයාට, ඔබේ යටත් සේවකයාට ප්‍රතිචාර දක්වන්නේ නම් එම භූමිකාව තුළ සාර්ථක කෙනෙක් කියලා අවසන් වශයෙන් කියන්නට පුළුවන්.