2022 අගෝස්තු 14 වන ඉරිදා

මිනිස්සු තවත් කෙනෙක් අගය නොකරන්නේ ඇයි?

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 371

අගය කිරීම කියන්නෙ හොඳ මානව ගුණයක්. මනෝවිද්‍යාත්මකව කිවහොත් අගය කිරීම කියන්නෙ හොඳ නායකත්ව ලක්ෂණයක්. හොඳ පෞරුෂයක ලක්ෂණයක්. එය එසේ වුවත් සමාජය දෙස බලනවිට මෙය මිනිසුන් අතර දුර්ලභව දැකිය හැකි දෙයක්. ඇතැම් මිනිසුන් තුළ අගය කිරීමේ ගුණාංගය තිබුණත් ඇතැම් මිනිසුන් තුළ මෙය දකින්නට නැහැ.

විවිධ සමාජ මට්ටම්වල මෙය දැකගන්නට පුළුවන්. පාසල්වල, විශ්වවිද්‍යාලවල, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල මෙය දැකගන්නට පුළුවන්. මිනිසුන් විවිධ ශක්‍යතාවලින් ඉස්මතු වුවත්, විවිධ කුසලතා පෙන්නුවත් ඒවා අගය කරන්නට හුරුවෙච්ච මිනිස්සු හරි අඩුයි. කෙතරම් හොඳ වැඩකළත් ඒවා අගය නොකරන පුද්ගලයාම දකින යම් සුළු දෝෂයක් මහ ඉහළින් විවේචනය කරන්න පුරුදුවෙලා තියෙනවා. මේකෙ යට තියෙන්නෙ කුහකකම. කුහකකමින් යුත් පුද්ගලයා තවදුරටත් පිරිහෙනවා මිස බැබළීමක් නම් පේන්නෙ නැහැ.

මේවා විශ්වවිද්‍යාල මට්ටමෙන් වුවත් අපට නිතර දකින්නට ලැබෙන ඒවා. ඉතින් අනිත් සමාජ පිළිබඳව කියනුම කවරේද? ඇතැම් සම්මුඛ සාකච්ඡාවලදී වුවත්, සම්මුඛ පරීක්ෂණවලදී වුවත් මේවා දකින්නට පුළුවන්. සමාජයේ සමහර අය සිටිනවා සෑමවිටම උත්සාහ දරන්නෙ තත්ත්වයන් නඩත්තු කරන්න. ඔවුන් ජීවත්වෙන්නෙ මවාගත්ත පුහු ලෝකෙක. එවැනි අය කවදාවත් පෙළඹෙන්නෙ නැහැ තවත් අයෙක්ව අගය කරන්නට‍. එහි ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙලා ඔහුට හෝ ඇයට ලැබෙන බවත් අමතක නොකළ යුතු දෙයක්. ඒ කියන්නෙ ඔවුන්ට නැවුම් අගැයුමක්, උසස් සම්භාවනාවක් සමාජයෙන් කිසිදාක ලැබෙන්නෙ නැහැ කියන දෙය.

මට දවසක් මෙහෙම හිතුණා සීගිරිය බලන්නට පැමිණි අතීත ජනතාව සීගිරි චිත්‍ර බලා දුටු සතුටු සිතින් නිහඬවම සීගිරියෙන් බැස ගියා නම්, අතීත ශ්‍රී විභූතියක් ලෙස අදත් අපි කතාකරන සීගිරි කැටපත් පවුරේ සීගිරි කුරුටු ගී කියන කාව්‍ය සාහිත්‍යයක් අපට උරුම නෑ නේද කියලා... සීගිරි සිතුවම් ඇඳි සිත්තරුන් යම් මාධ්‍යයක් ඔස්සේ අගයන්න එදා ඔවුන්ට නොසිතුනා නම් කිසිලෙසකින්වත් කැටපත් පවුරේ ඒ කවි නොලියවෙන්න තිබුණා... ඉතින් මට අවසානයේ හිතුණේ ඒ අගය කිරීමේ සිතුවිල්ල කෙළවර වුණේ කොයිතරම් සොඳුරු නිමැවුමකින්ද කියලා... අගය කිරීම් ඔස්සේ ලෝකයට තිළිණ වුණු එවන් දායාද හරි සුන්දරයි.

ජීවත්වීම තුළදී අපි නොයෙක් පෞරුෂයන් සහිත මිනිස්සු එක්ක විවිධ සබඳතා නිර්මාණය කර ගන්නවා. විවිධ ගනුදෙනු කරනවා... එහිදී අපි මිනිසුන්ගේ දුර්වලතා මෙන්ම විවිධ ශක්‍යතාවන්, කුසලතාවන්, වගේම ගුණාත්මක වටිනාකම් හඳුනා ගන්නවා... නිවැරදි පිරිස් කළමනාකරණයේදී ඇත්තටම ඉවසීමෙන් සහ සියුම් උපක්‍රමශීලීත්වයෙන් දුර්වලතා පෙන්වාදීම වගේම වටිනාකම් ඇගයීමත් හරි වටිනාකමක් සහිත පුරුද්දක්... එහෙත් කුහක මානසිකත්වයකින් වියුක්තව තව කෙනෙක් අගයන්න සමහර පුද්ගලයන්ට බැහැ... ඇයි එහෙම බැරි... ඒ ඇගයීම තුළින් ඇගයීමට පාත්‍රවන පුද්ගලයන් ලබන සමාජ ගෞරවය, ආදරය සහ අභිවෘද්ධිය ප්‍රසංශනීය සතුටකින් දරාගන්න හුඟාක් අයට බෑ... තවත් අයට තමන්ට හිමි නැති දෙයක් තවත් කෙනෙක්ට හිමිවීම දරාගන්න බැහැ... හැම ක්ෂේත්‍රයකම අප මෙය අත්විඳින සෘණාත්මක යථාර්ථයක්...

සෞන්දර්යාත්මක වින්දනය, ආදරය, මනුෂ්‍යත්වය වැනි සොඳුරු මනෝභාවයන් ගැන කතාකරන කලාව හා සබැඳි ක්ෂේත්‍රයන්හි පවා මේ යථාර්ථය අපි අත්විඳිනවා නම් කුමක්ද පැහැදිලි වෙන්නෙ... තොල් අග්ගිස්සෙන් වචන බවට පරිවර්තනය වී නික්මෙන ආදරය, මනුෂ්‍යත්වය වැනි සුන්දර මනෝභාවයන් එහෙම කතාකරන හුඟාක් හදවත් ගැඹුරේ නෑ... තොල් අග්ගිස්සෙන් වචන දෝරෙ ගැලුවට හදවත හිස්...

කෙනෙක් ඔබ කළ උදව් උපකාරයකට ස්තූතියි කියද්දී, Thank you  කියද්දී ඒ අයගේ ඇස් දෙක දිහා, කම්මුල් දිහා හොඳින් බලන්න... ඒ හුඟාක් අය එහෙම කියන්නෙ පුරුද්දට හා සම්ප්‍රදායක් විදිහට මිසක් හදවතින් කෘතවේදීත්වයකින් නෙවෙයි... ඒවා හුඟාක් වෙලාවට &හරි එහෙනම් මෙන්න කීවා අපි නිදහස්* වගේ සිතුවිල්ලකින් කියලා දාන හිස් වචන විතරයි... ඇත්තටම අගය කිරීමක් කියන්නෙ ධනාත්මක දිරිගැන්වීමක්. පුද්ගලයකුට පිරිනමන වටිනාකම ගැන සහතිකයක්... අපිට අපේ ජීවිතවල වෘත්තීමය, සමාජීය බැඳීම් වගේම චිත්තවේගික බැඳීම් තියෙනවා...

වෘත්තීමය ජීවිතයේදී ඇගයීම වෘත්තීමය වශයෙන් මනා සබඳතා ජාලයක් නිර්මාණය කර ගැනීමටත්, එය නිවැරදි කළමනාකරණයක් තුළින් යාවත්කාලීන කරමින් ඔබට පෙරළා ආදරය සහ ගෞරවය ලැබීමටත්, කායික සහ බුද්ධිමය ශ්‍රම පලදායිතාව උපරිමයෙන් ලබාගැනීමට හැකිවීමටත් හේතුවක්. ඒ වගේම සමාජීය වශයෙන් ඔබ අනෙකා අවංකවම  අනලස්ව අගය කිරීම ඔබේ පෞරුෂය පිළිබඳ සුබවාදී සමාජීය ආකල්පයක් නිර්මාණය විමටත් හේතුවක්... චිත්තවේගික බැඳීම් සොඳුරු ලෙස පවත්වා ගැනීමේදීත් අගය කිරීම, වටිනාකම් පිරිනැමීම ඒ බැඳීම් තුළට ආදරය සහ ගෞරවය වැඩි වැඩියෙන් සම්මිශ්‍රණය වෙන්නට හේතුවක්... සැකෙවින්ම ආධ්‍යාත්මික සහ භෞතික අගය කිරීම් ඕනෑම සබඳතාවයක හෙට දවස ලස්සනට වර්ණ ගන්වන්න හරිම වැදගත් සාධකයක්...

ධනාත්මක මනෝවිද්‍යා පර්   යේෂණවලදී, අගය කිරීම එහෙම නැත්නම් කෘතඥතාව දැඩි ලෙස වැඩි සතුටක් සමඟ සම්බන්ධ වෙනවා. අගය කිරීම මිනිසුන්ට වඩාත් ධනාත්මක චිත්තවේගයන් දැනීමට, හොඳ අත්දැකීම් රසවිඳීමට, ඔවුන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට, දුෂ්කරතා සමඟ කටයුතු කිරීමට සහ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට උපකාර කරනවා. අපි අගය කරන විට, අපගේ මොළයෙන් ඩොපමයින් සහ සෙරොටොනින් නිදහස් කරනවා. ඩොපමයින් සහ සෙරොටොනින් කියන්නෙ අපට සැහැල්ලු හා සතුටක් දැනෙන හෝමෝන දෙකක්.

මේ පිළිබඳ කරන ලද පර් යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට අගය කිරීම, කෘතවේදීත්වය මොළයේ කලාපවල සක්‍රිය වීමට හේතුවන අතර මොළයේ හයිපොතලමස්වල කොටස් ආලෝකමත් කරනවා. අගය කිරීම මගින්  ස්නායු සම්ප්‍රේෂක සෙරොටොනින් වැඩිකර ඩොපමයින් නිපදවීමට මොළය සක්‍රීය කළ හැකිය. ඩොපමයින් යනු අපගේ මොළයේ ප්‍රසන්න රසායනයක්.

අගය කිරීම දිරිගැන්වීමේ අද්විතීය ප්‍රකාශයක්. අගය කිරීම යනු කෙනෙකුගේ වටිනාකම ප්‍රකාශ කිරීමට ධනාත්මක සහ අර්ථවත් ක්‍රමයක්. තම ජීවිතයේ ධනාත්මක දේවල් සඳහා නිතිපතා අගය කිරීම සහ කෘතඥතාව පළකරන පුද්ගලයින් සමස්තයක් වශයෙන් සතුටින් සිටින බව පෙන්නුම් කරන අතර, මානසික පීඩනය හා මානසික අවපීඩනය අඩුවීමට එය හේතුවක් වෙනවා. කෘතඥතාව පෙන්වීමෙන් ඔබට වඩාත් ශුභවාදී වෙන්නට පුළුවන්. නිතිපතා කෘතඥතාව පළකරන අයට ජීවිතය පිළිබඳ වඩාත් ධනාත්මක දෘෂ්ටියක් ඇති බව අධ්‍යයනවලින් පෙනී යනවා.

ඔබේ අගය කිරීම බෙදාගැනීමේ ප්‍රතිලාභ කිහිපයක් පහත සඳහන් පරිදි පෙන්වා දෙන්නට පුළුවන්. අගය කිරීම මගින් ඔබේ මානසිකත්වය වෙනස් වෙනවා. ඔබේ මනෝභාවය වැඩි දියුණු වෙනවා. නවෝත්පාදන කිරීමට ඔබේ හැකියාව වැඩි දියුණු වෙනවා. අගය කිරීම නිසා ඔබ සබඳතා කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගන්නවා. අගය කිරීම මගින් ඔබ ඔබේ කාර්යක්ෂමතාව වැඩි කරනවා.

අවසන් වශයෙන් පවසනවා නම් අප සෑමවිටම හුරු විය යුතුයි කෙනෙක්ගෙ අගය කළයුතු දෙයක් දුටුවහොත් අගතිගාමී නොවී අගය කරන්නට. ඒක ඉතා උසස් මානවීය ගුණ ධර්මයක්. අවංකවම අගය කරන හැඟීම මිනිසුන්ව උසස් කරනවා. අගය කිරීමට ලක්වන පුද්ගලයාත් ගොඩක් සතුටු වෙනවා. අපට සමාජයේ සිටින මිනිසුන්ගෙන් ඇගයුමක් ලබා ගන්නට අවශ්‍ය නම් අප තුළත් තිබෙන්නට අවශ්‍ය වෙනවා අගය කිරීමේ ගුණ ධර්මය. තමා ලබාදෙන දෙය තමා තමා තමාට පෙරළා ආපසු ලැබෙන්නෙ.