2022 අගෝස්තු 21 වන ඉරිදා

මිනිසුන් මිථ්‍යා විශ්වාස පසුපස යන්නේ ඇයි?

 2022 අගෝස්තු 21 වන ඉරිදා, ප.ව. 08:00 640

සාපේක්ෂතාවාදය ලෝකයට ඉදිරිපත් කළ, විසිවැනි සියවසේ ලොව පහළ වුණු අග්‍රගණ්‍ය බුද්ධිමතා වූ විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ලෝකයට කියපු එක දෙයක් තියෙනවා.

මේ ලෝකෙ හුඟාක් අය ලෝකය තුළ දකින දේවල් දකින්නේ බාහිරින් පමණයි. ඒත් බාහිරින් අපි දකින හැම දේකම අභ්‍යන්තරයක් තියෙනවා. ඒ අභ්‍යන්තරය දකින්න අපට අවශ්‍ය නැත්නම් ලෝකයට විද්‍යාවක් අවශ්‍ය වෙන්නෙත් නෑ. විද්‍යාව අවශ්‍ය වෙන්නේ බාහිරයයි අභ්‍යන්තරයයි අතර වෙනස තේරුම් ගන්න, ඒ වෙනස පැහැදිලි කර දෙන්න.

ඇත්තටම ජීවිතය කියන්නේ ඇදහිල්ලක් නෙවෙයි ගවේෂණයක්. ඇදහිල්ල නතර වෙන්නේ විශ්වාසය ළඟ. ඇදහිල්ල තුළින් උපදින විශ්වාසය මිනිස්සුන්ව ඉන් එහා චින්තනයකට ගෙනියන්නෙ නැහැ. ඇදහිල්ල තුළින් විශ්වාසය උපදින්නේ තර්කනය හා බුද්ධිමය ප්‍රවේශයන් මරාගෙන. සැබැවින්ම සම්මත සීමා, පරිදිය, සාම්ප්‍රදායික රාමු, ඇදහිලි, විශ්වාස බිඳගෙන යන තැන තමයි ආධ්‍යාත්මික සහ භෞතික විප්ලව ගොඩනැගෙන්නෙ.

මසැසින් දකින දෙය මනසින් විග්‍රහහ කර ගනිමින් එහි න්‍යෂ්ඨිය දක්වා අක්මුල් හොයාගෙන යන තැන තමයි සැබෑ විචාරය බිහිවෙන්නේ. එහෙත් අන්තර්ජාලයෙන්, ජංගම දුරකථනයෙන් සහ පරිගණකයෙන් ලෝකයම දකින්නට උත්සාහ කරන බහුතර මිනිස්සු අතරෙ සැබෑ විචාරකයන් සහ විප්ලවවාදීන් අපිට හමුවෙන්නෙ හරි කලාතුරකින්. විචාරයෙන් සහ විප්ලවයෙන් වියුක්ත වන තැන ලෝකය කොහොමත් අන්ධයි.

දේවවාදී ඇදහිලි විසින් නිර්මාණය කළ දේව සංකල්ප සහ අදෘශ්‍යමාන බලවේග, ඒ ඔස්සේ පිහිට, ඒ ඔස්සේ විසඳුම් හොයාගෙන බුද්ධිය හා තර්කනය මරාගෙන අන්ධ ගමනක් මිනිස්සු යන්නේත් විචාරය හා විප්ලවය අහිමි කරගැනීමේ එක් ප්‍රතිඵලයක් විදිහට. මිනිස්සු යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, ඇදහිලි, දෙවියන්, යක්ෂයන්, භූතයන් පිටුපස සරණක් හොයාගෙන යන්න තරම් දුර්වල වෙන්නේ ඇයි? තමන්ගේ ආත්ම ශක්තියට වඩා නොදකින නොපෙනෙන බලවේග පිළිබඳ විශ්වාස කරන්න පෙළඹෙන්නේ ඇයි?

මිනිස්සුන්ගෙ එවැනි දුර්වලකම්, හැඟීම්බර භාවයන් අද තව පිරිසකට ව්‍යාපාර බවට පත්වෙලා. මිනිස්සුන්ගෙ හිත් තුළ සියුම් තැන් පාවිච්චි කරමින්, මිනිසුන්ගේ ප්‍රශ්න විකුණගෙන කන, දෙවියන් භූතයන් යක්ෂයන් හැර වෙන විසඳුමක් නැතැයි හඟවන එවැනි දේවල් පසුපස යාමෙන් මිනිස්සුන්ට අහිමි වෙන්නේ මුදල් පමණක් නෙවෙයි. අද දෙවියන් මුවාවෙන් තරුණියන්ගේ කන්‍යාභාවය බිලිගන්න සහ ගැහැනුන්ගෙන් ලිංගිකමය අවශ්‍යතා පූරණය කරගන්නට මාන බලන හොර කපුවන් ඕන තරම් ඉන්නවා. සැතපෙන්නට ගැහැනු සිරුරු ඉල්ලන කපුවන්ට සහ දෙවියන්ට බියෙන් කපුවන් ඉස්සරහ ඇඳිවත ගලවන්න තරම් නොපැකිළෙන අයත් ඉන්නවා. මුදල්, කාලය වටිනාකම් නැතිකරගෙන බුද්ධිය, තර්කනය, චින්තනය මරාගෙන ඇයි මිනිස්සු මේ වගේ පදනම් විරහිත අදෘශ්‍යමාන දේවල් පිටුපස්සේ යන්නෙ. බෞද්ධ දර්ශනය වගේ යථාර්ථවාදී දර්ශනයක් පවතින ලෝකයක අදෘශ්‍යමාන මිථ්‍යාවන් ඉස්සරහ මිනිස්සු දණ ගහන්නෙ ඇයි... එහෙම වෙන්නෙ ඇයි කියලා අද අපි මනෝවිද්‍යාත්මකව කතා කරමු.

මිනිසුන් මිථ්‍යාව පසුපස යන්න ප්‍රධාන හේතුවක් තමා ජීවිතයට එන විවිධ මානසික ගැටලු හමුවේ අසරණ වීම. තව කරුණක් තමා බරපතළ රෝග වලින් පීඩා විඳිනවිට වෛද්‍ය ප්‍රතිකාර වලින්ද සුවකළ නොහැකි බව තහවුරු වූ පසු ජීවිතයට තිබෙන ආශාව නිසා අදශ්‍යමාන බලවේගවල පිහිට පැතීම. ගැමි සමාජයේ කතාවක් තියෙනව ගඟේ ගහගෙන යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියලා. මෙතනදි වෙන්නෙත් ඒකම තමා. ඒකෙන් ප්‍රතිලාභ ලබන්නෙ අතමිට සරු කරගන්නෙ දේවාලවල කපුවන්. ආර්ථික සහ මානසික ප්‍රතිලාභ සලසා ගන්නේ දේවාලවල කපුවන්. බොහෝ දේවාලවල කපුවන් පූජාවන්ට නියම කරන්නෙ තමා ආශා කරන කෑම වර්ග. ඇතැම් මිනිසුන් ණයවී ලක්ෂ ගණන් මෙවන් මිථ්‍යා ක්‍රියාවන්ට වියදම් කරනවා පිහිටක් අපේක්ෂාවෙන්.
ඔවුන් මිනිසුන් තුළ තමාගේ ක්‍රියාවන් සත්‍ය බවට විශ්වාස ඇති කරන්නට විවිධ ප්‍රයෝග භාවිතා කරනවා. ඇස් බැන්දුම් භාවිත කරනවා. මේ සඳහා එක් උදාහරණයක් පෙන්වාදෙන්නට පුළුවන්. ඇතැම් කපුවන් යාතු කර්ම අවසානයේ පුහුල් කපනවා. ආතුරයන්ට පවසනවා. ඔවුන්ට කොඩිවිණ කර ඇති බව. පුහුල කැපූ පසු පුහුල් ගෙඩිය තුළ ලේ මතු වුවහොත් එහි සත්‍ය බව ඒ තුළ විද්‍යමාන වන බව කපුවන් පවසනවා. කපුවන් මෙතනදී කරන ප්‍රයෝගය තමා කඩුවක වදමල් යුෂ ගා අව්වේ වේලෙන්නට තැබීම පසුව පුහුල් ගෙඩිය කැපූ විට පුහුල් ගෙඩියේ යුෂ සමඟ කඩුවෙහි තැවරූ වදමල් යුෂ ඉස්මතු වීමෙන් ලේ මෙන් දිස්වීම. මෑත කාලයේ ඉස්මතු වූ පොල් ගෙඩි කෙලින් කිරීම, බිත්තර කැඩීමත් ඉතාම ප්‍රාථමික ප්‍රයෝග වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. මෙවන් ක්‍රියා දුටුවිට අසරණ මිනිසුන් ඒවා මහා ආශ්චර්යයක් බවට විශ්වාස කරනවා. ඒ නිසා යම් දෙයක් කරන්නට කලින් යථාර්ථවාදීව දැකීමේ හැකියාවක් මිනිසුන් තුළ ඉස්මතු විය යුතුයි. එහෙම වුණොත් මෙවන් මිථා සමාජයෙන් අතුගා දමන්නට පුළුවන්.

ඇතැම් කපුවන් මතුරන ශ්ලෝක බුද්ධියෙන් විමසුවොත් පැහැදිලිව පෙනෙනවා කරන්නෙ මිථ්‍යාවක් බව. ඔවුන් බොහෝවිට කියවන්නෙ හිතලු. ඔවුන් කියවන පද්‍ය ගායනාවල කිසිම එළිසමයක් එළිවැටක් නැහැ. කිසිත් නොදත් අසරණ මිනිසුන් සාධුකාර දෙමින් මේවාට සහභාගී වෙනවා. මේ වගේ මිථ්‍යා ක්‍රමවේද බොහෝදුරට දැකිය හැකි වන්නෙ සංවර්ධනය වෙමින් පවතින රටවල. ලංකාවට වෙලා තියෙන්නෙත් මෙම තත්ත්වයම බව පැහැදිලිව පෙන්වාදිය හැකියි.

මේ වගේ සාම්ප්‍රදායික ක්‍රම සමාජයෙන් අතුගා දමන්නට අසීරුවෙලා තිබෙන්නෙ ඒවා පරම්පරාගතව මිනිසුන්ගේ විශ්වාසයන් තුළ මෙන්ම ජානවලම මුල්බැසගෙන පවතින නිසා. අත්තා මුත්තා විශ්වාස කළ දේ එලෙසින්ම ඇතැම් පවුල්වල පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

මානසික ගැටලුවක්, මානසික රෝගයක් ඇතිවූ විට මෙවැනි ගල් යුගයේ ක්‍රමවේද පස්සේ නොදුවන්න. ගල් යුගයේ පැවති තත්ත්වය වර්තමානයේ එනම් 22 වන ශතවර්ෂයේ පවා දැකගත හැකිවීම අභාග්‍යයට කරුණක්. ගලු යුගයේ පැවති තත්ත්වය කුමක්ද කියලා මෙහිදී විමසා බැලීම වැදගත්.

අසාමාන්‍ය චර්යාවන් නැතහොත් මානසික අක්‍රමතා සම්බන්ධයෙන් ගල් යුගයේ විශ්වාසය වූයේ අධි ස්වාභාවික බලපෑම් වලින් මානසික රෝග හටගන්නා බවයි. එනම් යකුන්, භූතයින්, ප්‍රේතයින්, අවතාර, නරක ආත්ම පුද්ගලයාගේ හිස් කබලට  ඇතුළු වීමෙන් මානසික රෝග ඇතිකරන බවයි. රෝගීන් සුවපත් කිරීම සඳහා හිස් කබලෙහි සිදුරක් විදලා තියෙනවා. එම සිදුර තුළින් යකුන්, භූතයින්, ප්‍රේතයින්, අවතාර, නරක ආත්ම පිටව ගියපසු රෝගය සුවවන බව විශ්වාස කළා.

මධ්‍යකාලීන යුගයේ පැවති විශ්වාසය වූයේ සාතන්ගේ නියෝජිතයෙක් ශරීරය තුළට ඇතුළු වීමෙන් මානසික රෝග ඇතිකරන බව. පිටස්තර බලවේගයක් ශරීරය තුළට ඇතුළු වීමෙන් රෝග ඇතිකරන බව. ඒ සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කළේ පහරදීම, හිංසා කිරීම, උණුවතුර වක්කිරීම, පිළිස්සීම වැන ක්‍රම. එහෙම කළාම පිටස්තර බලවේගය ශරීරයෙන් පිටව යන බව විශ්වාස කළා. ඇතැම් රෝගීන් මෙවැනි ක්‍රම මගින් ආබාධිත වුණා. ඇතැම් රෝගීන් මියගියා. අද වැනි දියුණු ලෝකයකත් මෙවැනි මුග්ධ ක්‍රමවේද ක්‍රියාත්මකවනු දැකීම කනගාටුවට කරුණක්. වර්තමානයේ මිනිසුන්ගේ ශරීර තුළට ඇතුළු වූ පිටස්තර බලවේගයක් පන්නා දැමීමට මෙවන් ක්‍රමවේද භාවිත කරන ආකාරය නිරන්තරයෙන් දකින්නට පුළුවන්. මේ වගේ සිද්ධීන් නිසා මියගිය අය අනන්තවත් මෑත කාලයේ වාර්තා වුණා.

මානසික රෝගයක් වැළඳුණාම වර්තමානයේ මෙවන් දුර්මත සහ සාවද්‍ය ක්‍රමවේද ඔස්සේ දුවනවට වඩා හොඳම ක්‍රමවේදය තමයි. පළපුරුදු මනෝඋපදේශකයෙකු කරා එම පුද්ගලයාව යොමුකරන එක. එවිට මනෝඋපදේශකවරයා තමන්ට විසඳිය හැකි ගැටලුවක් නම් විසඳනු ඇත. නැතහොත් මනෝවෛද්‍යවරයෙකුට යොමුකරනු ඇත. අවශ්‍ය පියවර ගනු ඇත. මෙතැනදීත් මිනිසුන්ට අත්විඳින්නට වෙන ගැටලුවක් තමා ව්‍යාජ මනෝ වෛද්‍යවරුන් සහ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ නිසි අවබෝධයක් සහ නිසි උපදේශන කුසලතාවන් නොමැති ව්‍යාජ මනෝ උපදේශකවරුන් සමාජය තුළින් ඉස්මතු වීම. එහෙම වුණාම වෙන්නෙ ගැටලු හමුවේ අසරණ වන මිනිසුන් කබලෙන් ළිපට වැටීමක්.