2022 අගෝස්තු 28 වන ඉරිදා

ලැජ්ජාවයි හීනමානයයි නාස්තිකාරකමටත් හේතුවක්!

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 101

“නසෝ සබ්බේසූ ඨානේසූ - පුරිසෝ හෝති පණ්ඩිතෝ
ඉත්ථිපි පණ්ඩිතා හෝති - තත්ථ තත්ථ විචක්ඛණා”

සෑම තැනකදීම පුරුෂයා පමණක් පණ්ඩිත නොවේ. ස්ත්‍රීහුද ඒ ඒ තැන විචක්ෂණශීලීව කටයුතු කරති. පණ්ඩිතව කටයුතු කරති.

ගැහැනිය ප්‍රඥාවෙන් තොරය යන බමුණු මතයට බුදුන් වහන්සේ දුන් කදිම පිළිතුරක් තමයි ඒ. සැබැවින්ම යුවතියක්, තරුණියක්, ගැහැනියක්, මවක්, බිරිඳක් වශයෙන් මේ කුමන භූමිකාවක වගකීම දෙවුර දැරුවත් ස්ත්‍රීත්වය යන පදනම තුළ ඔබ සංවේදී විය යුතු තැන සංවේදී විය යුතුයි. ආදරණීය විය යුතු තැන ආදරණීය විය යුතුයි. කරුණාව, ආදරය ලෝකය වෙතම තිළිණ කළත් හැඟීම්බර බව සහ සංවේදීත්වය බුද්ධියට සමපාත කරන්නට තරම් සබුද්ධිමත් විය යුතුයි. තමන් ආදරය කරන, තමන් සමඟ ජීවිතය බෙදා හදාගන්නා පුරුෂයා ඉදිරියේ ළඳ බොළඳ සුකුමාල විය යුතු තැන එසේ විය යුතුයි. එසේම ඔබ ඔබේ භූමිකාවන් තුළදී ශක්තිමත්, තීක්ෂණ විචාරයක් සහ ප්‍රායෝගික බුද්ධියක් සහිත යථාර්ථවාදී ගැහැනියක ලෙස කටයුතු කළ යුතු තැන එසේ විය යුතුයි. ගැහැනියක සතු ලක්ෂණ අතර ලෝබකම සොඳුරු ගුණාංගයක් ලෙස කිසි විටෙක අගය කළ නොහැකි වුවද නිසි කළමනාකාරීත්වය සහ අරපිරිමැස්ම ගැහැනු දෑතක් කුඩා වියේ සිටම පුරුදු පුහුණු කළ යුතුයි. ලෝබකම යනු අවශ්‍ය තැනදී පවා වියදම් නොකර, පරිත්‍යාග නොකර මසුරු සිතින් එක් රැස්කර ගැනීම වන අතර අරපිරිමැස්ම යනු අනවශ්‍ය සහ නාස්තිකාර ලෙස වියදම් නොකර නිසි මූල්‍යමය සහ භෞතික කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කිරීමයි. අරපිරිමැස්ම යන මේ ගුණාංගය පොදුවේ මිනිසුන් වෙතින් දුරස් කරන්නට එක් හේතුවක් වන්නේ ඔවුන් තුළ ඇති අනවශ්‍ය ලජ්ජාව, තමන් පිළිබඳ ඇති අධි තක්සේරුව සහ හීනමානයයි. සැබැවින්ම මේ සියල්ල දුර්වල පෞරුෂ ලක්ෂණ වෙයි.

ඇතැම් සුපිරි වෙළෙඳසැල්වල නරක් නොවුණු එහෙත් හැඩය තරමක් වෙනස් වුණු ප්‍රමාණයෙන් කුඩා එළවළු විශේෂ වට්ටම් සහිතව තබා තිබුණත් වයසක පිරිමි කාන්තා, පුරුෂ පාර්ශ්ව හැර විශේෂයෙන් තරුණ කාන්තාවන් එය මිලට ගැනීම ලජ්ජාවක් ලෙස සලකයි. දෙහි, ඉඟුරු වැනි දේවල් අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වුවත් ''අනේ එහෙම පොඩ්ඩක් ගන්න විලි ලැජ්ජාවෙ බෑ” වැනි සිතුවිල්ලෙන් දෙහි ගෙඩියක ඉඟුරු කැබැල්ලක අවශ්‍යතාව වෙනුවෙන් අඩුම තරමේ ග්‍රෑම් පන්සීයක්වත් රැගෙන යයි. පතෝල, වැටකොළු, බණ්ඩක්කා වැනි එළවළු සමඟ දෙහි එකට තැබූ විට එම එළවළු ඉක්මණින් මෝරන අතර දෙහි ශීතකරණයේ තැබූවිට ඉස්ම සිඳී තද ස්වභාවයකට පත් වෙයි. කැරට්, බීට් වැනි එළවළු හංවී හැකිලී ගිය ස්වභාවයකට පත්වෙයි. අවසානයේ ඔබ අහක දමන්නේ නරක් වූ එළවළු නොව ඔබ ඒ වෙනුවෙන් වියදම් කළ මුදල්, ඒ එළවළු වගා කරන්නට ගොවියන් වැයකළ දහදිය සහ ශ්‍රමයයි.

ඔබ කිසිවිටක ඔබට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් මිලට ගැනීමට මෙන්ම ඔබට අවශ්‍ය දේ නැත්නම් ''මොකුත් නොගෙන නිකම් යන්න බෑ හරි නෑ වගේ ලජ්ජයි'' වැනි සිතුවිලිවලින් තොරව හැරී යා යුතුය. එමෙන්ම භාණ්ඩයක් මිලට ගත්තත්, පොදු ප්‍රවාහන සේවයක ගියත් ඉතුරු රුපියල පවා නැවත ඉල්ලා ගත යුතුය. ඒ උපයන හැම රුපියලක් පිටුපසම ඔබේ හෝ ඔබේ සැමියාගේ නැත්නම් මවුපියන්ගේ මහන්සිය රැඳී ඇති හෙයිනි.

අප ජීවත් වෙන්නේ ඉතා සූක්ෂම වෙළෙඳ උපක්‍රම සහිත ලෝකයකය. උදාහරණයක් ලෙස භාණ්ඩයක මිල 2999ක් ලෙස සටහන්ව පවතිද්දී බොහෝ දෙනෙක් එහි මිල මානසිකව නිගමනය කරන්නේ “ආ දෙදහස් ගණනක්නේ” යනුවෙනි. එහෙත් සත්‍ය වශයෙන්ම එහි මිල පවතින්නේ රුපියල් තුන්දහස සීමාවේය. මිල නියාමනයේදී 9 ඉලක්කම සැබැවින්ම පාරිභෝගිකයා සූක්ෂම ලෙස මානසික රැවටීමකට පහසුවෙන් ගෙන යයි. ඔබ නිකමට සිතා බලන්න ඇතැම් දුරකථන කාඩ්පත්වල මිල ගණන් සටහන් වන්නේ 9 ඉලක්කමෙන් අවසන් වන පරිදිය. බොහෝ සපත්තුවල මිල ගණන් සටහන් වන්නේත් ඒ අයුරිනි. රුපියල් 100ක් දී මිල 99ක් වූ විට ඒ රුපියල ඉල්ලන පාරිභෝගිකයෙක් ඇත්නම් ඒ කලාතුරකිනි. දිනකට එවැනි අමතර රුපියල් කාසි කීයක් වෙළෙඳ සැල් හිමියන් හම්බ කරනවාද සහ ඔබ මසකට ඔබ හම්බ කරන මුදලින් එවන් රුපියලේ කාසි කීයක් වෙළෙන්දන් උපයන ලාභයට වඩා නිකරුණේ ඔබ ලබා දෙනවාදැයි සිතන්න.

මිල, වෙළෙඳ සන්නාමය, ඔබ මිලට ගන්නා ප්‍රමාණය අනුව යමෙකු ඔබ තක්සේරු කරන්නේනම් සහ එසේ තක්සේරු වීමට ඔබ පෙළඹෙන්නේ නම් ඔබ දෙපාර්ශවයම සතුව ඇත්තේ දුර්වල පෞරුෂ ලක්ෂණය. එවැනි පෞරුෂ ලක්ෂණ නිර්මාණය වන්නේ ඇයි? එයින් මිදෙන්නට මඟ කුමක්ද? ඒ පිළිබඳව අපි මනෝ විද්‍යාත්මකව කතා කරමු.

මෙවන් පෞරුෂ ලක්ෂණ ඉසමතු වෙන්නට ඇතැම් මානසික අක්‍රමිකතා මෙන්ම ඇතැම් පෞරුෂ අක්‍රමතාවන්හි බලපෑමක් පවතිනවා. සමාජ කාංසා අක්‍රමතාව සහ අංගන භීතිකාව මේ හා සම්බන්ධ මානසික අක්‍රමතා දෙකක්. සමාජ කාංසා අක්‍රමතාව සමාජ භීතිකාව වශයෙන්ද හඳුන්වනු ලැබේ. සමාජ අවස්ථාවන්ට සහභාගී වීමේදී අතිශය බියක් දැක්වීම මෙහි ස්වභාවයයි. මෙහිදී සැලකිය යුතු මට්ටමේ මානසික පීඩනයක් පුද්ගලයාට ඇති කරයි. මෙම තත්ත්වය ඇතිවිට දෛනික ජීවිතයේ ඇතැම් කාර්යයන්ද සිදුකර ගැනීමට අපහසු වේ.

අංගන භිතිකාව මේ හා සම්බන්ධ තවත් මානසික අක්‍රමතාවක් මින් අදහස් වන්නේ ප්‍රසිද්ධ ස්ථානවලට යාමට, ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීමට අතිශය බියක් දැක්වීමයි. උදාහරණ ලෙස සුපිරි වෙළඳසල්, ගුවන්තොටුපළ, බස් ස්ථානය, විශාල පාලම් යනාදිය සඳහන් කළ හැකිය.

මඟහැරීමේ පෞරුෂ අක්‍රමතාවෙන් පෙළෙන පුද්ගලයාට සමාජ අවස්ථාවන්හිදී දැඩි අපහසුතාවක් ඇති වේ. සෘණාත්මක තක්සේරුකරණයන්ට අතිශය සංවේදීය. ඔවුන්ට හීනමානයක් පවතී. සමීප මිතුරන් සිටින්නේ කිහිප දෙනෙකු පමණි. මඟහැරීමේ පෞරුෂ අක්‍රමතාව සමාජ කාංසා අක්‍රමතාවට ඉතා සමානය. මෙම අක්‍රමතා දෙකෙහි සමානකම් ලෙස දැක්විය හැක්කේ සමාජය ඉදිරියේ අපකීර්තියට පත්වේ යැයි බිය සහ පහළ ආත්ම අභිමානයයි. ප්‍රධාන වෙනස්කම් වශයෙන් දැක්විය හැක්කේ සමාජ කාංසා අක්‍රමතාවෙන් පෙළෙන පුද්ගලයා සමාජ පරිසරයන්ට අතිශය බියක් දක්වන අතර මඟ හැරීමේ පෞරුෂ අක්‍රමතාවෙන් පෙළෙන පුද්ගලයා සමීප සමාජ සම්බන්‍ධතා පැවැත්වීමට අතිශය බියක් දැක්වීමයි. 

පරාධීන හෙවත් යැපීමේ පෞරුෂ අක්‍රමතාවෙන් පෙළෙන පුද්ගලයාට තමාව රැකබලා ගැනීමේ අධික අවශ්‍යතාවක් පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් තමාව රැකබලා ගන්නා පුද්ගලයින්ගේ අතේ එල්ලී සිටී. එසේම ඉතා කීකරුය. තමා ආදරය කරන අයගෙන් වෙන් වේයැයි බියක් පවතී. සෑමවිටම වෙනත් අය මත දැඩි ලෙස විශ්වාසය තබයි. ඉතා කුඩා තීරණයක් වුවද තනිව ගැනීමට නොහැකිය. මෙම අක්‍රමතාවෙහි කේන්ද්‍රීය ලක්‍ෂණය වන්නේ වෙන්වීමේ අපහසුතාවයි. බොහෝ පුද්ගලයින්ට මානසික වශයෙන් පීඩනයක්, හුදකලා බවක්, දුකක් පවතී. බොහෝවිට ඔවුන් තමන්ටද අකමැතිය. ඔවුන්ට විෂාදය, කාංසාව සහ ආහාර ගැනීමේ අක්‍රමතා වැළඳීමේ ප්‍රවණතාවක් පවතී. සියදිවි නසා ගැනීමේ සිතිවිලිද ඇතිවිය හැකිය. 

මෙවැනි තත්ත්වයන් පවතිනවිට තම ජීවිතයට බාධාකාරී ලෙස ඉස්මතු විය හැකියි. උපයෝගීතාව පිළිබඳ නොසිතා අන් අය සතුටු කරන්නට භාණ්ඩ පරිභෝජනයට යාමෙන් පාඩුවක් වන්නේ තමාටමයි. යම්කිසි පුද්ගලයෙකුට ඉහත දැක්වූ ආකාරයේ මානසික අක්‍රමතාවක් පෞරුෂ අක්‍රමතාවක් පවතීනම් පළපුරුදු මනෝ උපදේශකවරයෙක් හමුව සාකච්ඡා කළ යුතුයි. එසේ නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් හමු වී තම ගැටලුව විසඳා ගැනීමට වගබලාගත යුතුයි. මෙවන් පුද්ගලයින් සමාජයේ දුටුවිට අදාළ අංශ වෙත යොමු කිරීමත් වැදගත් කාර්යයක් වන බව සඳහන් කළ යුතුයි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00