2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ආත්ම ශක්තිය, විශ්වාසය සහ ධෛර්යය ගැන ලෝකයටම පාඩමක් කියාදුන් රශ්මි නිමේෂා

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 345

ජීවිතය කියන්නේ අවසාන පරිච්ඡේදයේ අංකය නොදැන අපි ලියන එක පොතක්..... සංසාර පෙරවදනක් ලියන්නට සංසාරයේ මෙතෙක් ආ දුර කොතෙක්දැයි නොදැන පරිච්ඡේදයෙන් පරිච්ඡේදය අපි ලියන එක පොතක් තමයි ජීවිතය... වසන්තයේ සොඳුරු සලකුණු සේම අඳුරු දුක්බර ගිම්හානයේ සෙවණැලිද ලියා අවසන් වූ ඒ පරිච්ඡේද කියවද්දී ඕනෑතරම් මුණගැහේවි. එහෙත් කඳුළ මැද්දෙන් සිනහවත්, අහිමිවීම් මඟහැර ජයග්‍රහණත්, නොසලකා හැරීම්, අත්හැර දැමීම් දරාගෙන ආදරයත් සොයා යන්නට තරම් විශ්වාසයත් ධෛර්යත් දරාගැනීමත් ඔබ ජීවිතයට එක්කර ගත් තැන ජීවිතය සැබැවින්ම සුන්දරයි.

බරීස් ප්ලෙවොයි කියන රුසියානු ලේඛකයා ලියූ ''The story of a real man'' නවකතාව දැදිගම වී. අන්ද්‍රාදී කියන විශිෂ්ඨ පරිවර්තකයා සිංහලයට පරිවර්තනය කළේ සැබෑ මිනිසෙකුගේ කතාවක් නමින්. මිනිසකුගේ සිතෙහි උපදින නොසිඳෙන ධෛර්යයට, ආත්ම විශ්වාසයට, දරාගැනීමේ සහ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ විසල් ශක්තියට ජීවිතය වෙනුවෙන් අත්කර දිය නොහැකි කිසිවක් නොමැත යන සත්‍ය සැබැවින්ම එම නවකතාව ඔස්සේ මැනවින් විද්‍යමාන කරන හැටි හරි අපූරුයි.
අලෙක්සේයි මරේසියෙව් කියන රුසියානු ගුවන් නියමුවා දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ බලවත් ජර්මානු යුද සේනාංක සමඟ සටන් වදිද්දී ඔහුට ඔහුගේ දෙපා අහිමි වෙනවා..... දෙපා අහිමි වුවත් ඔහු සටන අත්හරින්නේ නෑ.... ගුවන් නියමුවකු ලෙස තමන්ගේ වගකීම දෙවුර දරාගෙන හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමඟ සටනට තම දායකත්වය ලබාදෙන අලෙක්සේයි රුසියානු හමුදාවට විශිෂ්ඨ ජයග්‍රහණ ලබාදීමට තම දායකත්වය සපයනවා....... සැබෑ මිනිසෙකුගේ කතාවක් තුළින් කියන්නෙ අලෙක්සේයි සතු ඒ විශිෂ්ඨ ශක්තිය සහ විශ්වාසය ගැනයි......

සැබැවින්ම රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ පරිදි
''දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය...''

නැත...... කිසිවිටකත් එය එසේ නොවිය යුතුය...... ඔව්. එසේ හැර නොදමමින් රත්න ශ්‍රී කියූ පරිදිම හෙට මලක් වණු පිණිස කටු පොකුර ස්නේහයෙන් සිප ගත යුතුමය.

මෙවර උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් ඒ සාමාර්ථ තුනක් හිමිකරගත් රශ්මි නිමේෂා ගුණවර්ධන දියණිය කියා දුන්නේද එවැනිම ලස්සන පාඩමක්. 

උපතින්ම දෑත් අහිමිවූ එක් පාදයක් ආබාධ වූ රශ්මි දෑතින් කළ යුතු සියලු කාර්යයන් කරන්නට හුරුවුණේ පාදයෙන්...... පන්තියේ අනිත් දැරිවියන් අතින් පෑන අල්ලගෙන අකුරු ලියද්දී ඇය වම් කකුලේ මහපට ඇඟිල්ලත් අනිත් ඇඟිල්ලත් අතර පෑන රුවාගෙන අකුරු ලිව්වා..... ඇය විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වෙත් එහෙමයි....... ජීවිතයේ අහිමිවීම් අසල නොහඬමින් අහිමිවීම් විසින්ම උරුමකර දෙන අභියෝග ජය ගතහැකි තැන ජයග්‍රහණය නියතයි..... රශ්මි ඔප්පුකර පෙන්නුවේ ඒ නියමයයි.... දෑත් දෙකම අහිමි වුණත් දුකක වේදනාවක පසුතැවීමක සේයාවක්වත් ඇගේ මුහුණෙන් පෙනෙන්නෙ නැහැ...... අත් පා දෙකම සවිමත්ව තියාගෙන පරාධීනව ජීවිතය අයදින, අහිමිවීම් වේදනා දරාගත නොහැකිව ජීවිතය අත්හැර දමන දුර්වල පෞරුෂයක් සහිත මිනිසුන්ට රශ්මි දියණිය විභාගයට ලබාගත් ඒ සාමාර්ථ තුන ඔස්සේ කියාදෙන්නේ මේ සියල්ල ගැන අති විශිෂ්ඨ පාඩමක්.

අප ජීවිතයේ මුහුණදෙන ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් නැත්නම් ආදේශකයක් නොඑසේනම් විකල්පයක් හෝ හමුවෙනවා. ආත්ම ශක්තිය, ධෛර්යය, දරාගැනීම සහ විශ්වාසය තුළින් අභියෝග පරාජය කරමින් ජයග්‍රහණයේ මාවත් කරා ජීවිතය මෙහෙයවන්නේ කොහොමද? ඒ ගැන අද අපි මනෝවිද්‍යාත්මකව කතා කරමු.

මේ සඳහා ස්ව සංකල්පය දියුණු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. එමගින් ආත්ම අභිමානය ඇතිකරගත් පසු ජීවිතයට එල්ලවන අභියෝග පහසුවෙන් ජයගෙන පෞරුෂය සංවර්ධනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මනෝවිද්‍යාවට අනුව ළමයෙකුගේ පෞරුෂය දියුණු කරන්න අවශ්‍ය නම් කුඩා කල සිටම ස්ව සංකල්පය (Self Concept) වර්ධනය කළ යුතුව පවතිනවා. ස්ව සංකල්පය කියන්නෙ තමා පිළිබඳව ළමයා සිතන ආකාරය. ස්වයං ප්‍රතිරෑපය (Self Image), ස්වයං වටිනාකම (Self Worth) සහ පරමාදර්ශී ස්ව සංකල්පය (Ideal Self) ස්වයං ප්‍රතිරෑපයට ඇතුළත් වෙනවා.

ස්වයං ප්‍රතිරූපය කියන්නෙ ළමයා තමා පිළිබඳ ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපය. මම දක්ෂයි. මම ලස්සනයි. මට සිංදු කියන්න පුළුවන්. මට නටන්න, ගයන්න, වයන්න පුළුවන්. මට විභාග සමත්වෙන්න පුළුවන්. ආදී වශයෙන් ස්වයං ප්‍රතිරෑපයක් ළමයෙක් ගොඩනගාගෙන සිටිනවා. තමා විසින් තමා පිළිබඳව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපය තමා ජීවිතය සාර්ථක වන්නට ප්‍රබල ලෙස බලපාන්නේ. ජීවිතය ජයගන්නට අවශ්‍ය නම් ස්වයං ප්‍රතිරූපය සමඟ ස්වයං වටිනාකම (Self Worth) ඇතිකරගත යුතුයි. ස්වයං වටිනාකම (Self Worth) කියන්නෙ ළමයෙක් කුඩාකල සිට ගොඩනගාගෙන ඇති තමා පිළිබඳ වටිනාකම මුසු හැඟීම. මේකට කියනවා ආත්ම අභිමානය කියලා.

ආත්ම අභිමානය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 1. ඉතා ඉහළ ආත්ම අභිමානය (Self Esteem) 2. ඉතා පහළ ආත්ම අභිමානය (Very Low Self Esteem) වශයෙන්. ඉතා ඉහළ ආත්ම අභිමානය (Very High Self Esteem) කියන්නෙ තමා පිළිබඳ ඉතා ඉහළ ආත්ම අභිමානය මුසු හැඟීමක්. මේක සර්ව සුභවාදී හැඟීමක්. ඉතා පහළ ආත්ම අභිමානය කියන්නෙ සර්ව අසුභවාදී, සෘණාත්මක හැඟීමක්. 

පරමාදර්ශී ස්ව සංකල්පය (Ideal Self) කියන්නෙ තමා අනාගතයේදී කිනම් පුද්ගලයෙක් වන්නේද යන බවට ළමයෙකු තුළ ඇති හැඟීම. කුඩාකල මෙය ගොඩනැගෙන්නෙ ළමයා දකින දේ අනුව. ඒ නිසයි මම විදුහල්පතිවරයෙක් වෙනවා. මම ගුරුවරයෙක් වෙනවා. මම වෛද්‍යවරයෙක් වෙනවා. මම හමුදාවට යනවා ආදී වශයෙන් කියන්නෙ. ළමයෙකුට තේරෙන වයස වෙනකොට ඒ කියන්නේ අවුරුදු 15 - 20 වෙනකොට තමයි ළමයෙක් තමාගේ හැකියාවන් හඳුනාගෙන තමා අනාගතයේදී කවරෙකු වන්නේද යන්න තීරණය කරන්නේ. අම්මට, තාත්තට, ගුරුවරුන්ට පුළුවන් ළමයෙක් එහෙම මෙහෙයවන්න. මේක තේරුම්ගන්න ප්‍රකට කතාවක් උපුටා දක්වන්න කැමතියි.

විදුලි බල්බය සොයාගත් තෝමස් අල්වා එඩිසන් කියන්නෙ ඉගෙනගන්න බැරි, මන්ද මානසික පුද්ගලයෙක් කියලා හංවඩු ගහපු කෙනෙක්. එක දවසක් පාසලෙන් ලිපියක් ලැබෙනවා එඩිසන්ගෙ අම්මට. ඒකෙ තිබුණෙ මෙහෙම දෙයක්. ''ඔබේ පුතා මන්ද මානසික ළමයෙක්. ඔබේ පුතාට උගන්වන්න ගුරුවරු මේ පාසලේ නැහැ.''

එඩිසන් විමසනවා ඒ ලිපිය මොකක්ද කියලා. අම්මා මෙහෙම කියනවා. ඔයාගෙ පාසලෙන් ලිපියක් එවලා ''ඔබේ පුතා ඉතා දක්ෂ කෙනෙක්. ඔබේ පුතාට උගන්වන්න ගුරුවරුන් මේ පාසලේ නැහැ. ඒ නිසා ඔබේ පුතාට ඔබම උගන්වන්න....'' කියලා.
මේකෙන් වුණේ තෝමස් අල්වා එඩිසන් තුළ හොඳ ස්වයං ප්‍රතිරෑපයක්, හොඳ ස්වයං වටිනාකමක් නැතහොත් ආත්ම අභිමානයක් ගොඩනැගුන එක. අවසානයේ ඔහු ලෝකයම එළිය කරන විදුලි බල්බය සොයාගන්නවා. විද්‍යාඥයෙක් වෙනවා. දෙමාපියන් විසින් කුඩාකල සිට කළ යුත්තේ දරුවාගේ ස්වයං ප්‍රතිරෑපය, ස්වයං වටිනාකම, ආත්ම අභිමානය ඉහළ නංවන එක.

ලෝකයේ ඉතා ඉහළට ගිහිල්ලා තියෙන්නෙ මේ වගේ පුද්ගලයින් තමයි. රශ්මි නිමේෂා කියන්නෙ මෙය සැබෑවක් බව ඔප්පු කරපු ලංකාවේ යුවතියක්. ලෝකයේ උදාහරණවලට වඩා අපේ රටේ මේ උදාහරණය අතිශය වටිනවා. අසාර්ථක බව පිළිබඳ සිතා පසු තැවෙන ඔබ කල්පනා කළ යුත්තේ උපතින් අත් දෙකම සහ එක කකුලක් අාබාධ වූ රශ්මි නිමේෂාට ජීවිතය ජයගන්නට පුළුවන් නම් ඇයි ඔබට බැරි කියන කරුණ. ඔබට ඉහත කරුණු සමඟ කැපවීම සහ අධිෂ්ඨානය ඇත්නම් ඔබට කළ නොහැක්කක් නොමැත.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00