නියත දහමට අවසඟව යන කිසිවක් මේ ලෝකයේ නැහැ. ඒ යථාර්ථය ඔබ, මම අපි හැම කෙනකුගේම ජීවිතවලට හැම මොහොතකම වලංගුයි. එහෙත් අපි මේ ලෝකයට පැමිණි පසු ජීවිතය ගෙත්තම් කරන්නෙ සිහින, ප්‍රාර්ථනා, බලාපොරොත්තු එක්ක. ඒ සියල්ලෙන් හිස් වූ තැන ජීවිතය හිස් බිමක් වගේ. හිස් බිමක මොනවද අපිට විඳින්න තියෙන්නේ... කිසිවක්ම නෑ.... ඉතින් එහෙනම් ඇයි අපි ජීවිතය හිස් බිමක් බවට පත් කරගන්නෙ....
මිනිස්සු ජීවිතය මානසිකව අත්හරින එක සිතුවිල්ලක් තමයි ''මම දැන් වයසයි..... මම දැන් මරණයට ළඟයි'' කියන සිතුවිල්ල..... එහෙත් අවසන් මොහොත දක්වා සතුට සහ සැහැල්ලුව ඔබට අත්විඳිය හැකිනම් ඔබ හැමදාම තරුණයි.... ඒ වගේම ලෝක ධර්මතාවය අනුව මරණය කියන්නෙ වයස්ගත වීම තුළ පමණක් උරුම වෙන දෙයක් නෙවෙයි..... බිළිඳු කළලයේ පටන් ළදරු, ළමා, යොවුන්, තරුණ මේ ඕනෑම වියකදී මරණය අපි කරා පැමිණිය හැකි නිශ්චිතයක්... එහෙයින් ජීවිතය වින්දනීය වෙසින් ආශ්වාදයක් ලබන කිසිදු සාධාරණ ඉසව්වක් මගහැර නොගත යුතුයි.
ඇත්තටම බටහිර සහ යුරෝපයේ මිනිසුන් මේ සංකල්පය තුළදී ඉන්නෙ හරිම ධනාත්මක ස්ථාවරයක. ඔවුන් බොහෝවිට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන ජීවිතය විඳින්න පටන් ගන්නෙ අවුරුදු පනහක් වගේ එළඹුමකදී. එහෙත් අපේ රටේ කාන්තාවන් ගත්තම බහුතරයක් අය බිරිඳක්, මවක් වූ පසු තමන්ගෙ රුව, ශරීර හැඩය, සෞඛ්‍යය ගැන දරන්නෙ හරිම සෘණාත්මක ආකල්පයක්..... සැබැවින්ම විවාහය හෝ මාතෘත්වය කියන්නෙ ඔබ දැන හෝ නොදැන ඔබ විසින් ඔබව අත්හැර දැමීමට හේතුවෙන බලපෑම්කාරක නොවිය යුතුයි.
ඇත්තටම කැලැන්ඩරයෙ අවුරුදු ගණනය කිරීමේ ක්‍රමය තුළ නොව ඔබේ සිතුවිලි මත, ඔබේ චර්යාවන් මත ඔබ ඔබේ තරුණ හෝ වියපත් බව තීරණය කරන්න. අපේ රටේ හුඟාක් කාන්තාවන් බිරිඳක් හෝ මවක් වූ පසු, විශේෂයෙන් වයස අවුරුදු හතළිහේ සීමාව පසුකළ පසු සූදානම් වෙන්නෙ සම්ප්‍රදායන් සහ ආගම තුළ අන්තවාදයකට යන්න. අනවශ්‍ය ලෙස සංස්කෘතික සීමාවන් තුළ රාමුගත වෙන්න....
ඇතැම්විට ඔබේ මේ අන්තවාදී නැඹුරුතාවයන් සහ ලිංගික ජීවිතයෙන් දුරස්වීම ඔබේ පවුල් ජීවිතයේ අසාර්ථකභාවයට වගේම ඔබේ සැමියා ඔහුගේ ජීවිතයේ දැනෙන හිස්තැන් පුරවාගන්න තවත් තැනක නවතින තැනට පොළඹවන හේතුවක් වෙන්න පුළුවන්. විවාහ සහතිකය හෝ අයිතිය තුළ සියල්ල සම්පූර්ණයි යන සිතුවිල්ලට ඔබ කිසිවිටක එන්න එපා.... ගැහැනියක ලෙස ඔබේ වගකීම වෙන්නෙ නීතිය විසින් ලබාදෙන අයිතිය ප්‍රායෝගිකව වඩාත් සුරක්ෂිත කිරීමයි.
ගැහැනියක් ලෙස ඔබේ අනලස් බව, ක්‍රියාශීලී බව, සැලසුම් සහගත බව සහ නිර්මාණශීලිත්වය විවාහ ජීවිතයේදී ආදරය සහ ලිංගික ජීවිතය වගේම වැදගත්. රසට කෑම බීම පිළියෙළ කර දෙන, තමන් ගැන අවධානයෙන් සොයා බලන, අනලස්ව ගෘහ ජීවිතයේ යුතුකම් වගකීම් දෙවුර දරන දෙවඟනක් වගේ බිරිඳක් ප්‍රාර්ථනා නොකරන සැමියෙක් නෑ..... එහෙත් සමහර කාන්තාවන් උදෑසන නැගිටීමට දක්වන්නෙ අලස බවක්..... මුළුතැන්ගෙය පිළිවෙළක් පිරිසිදුකමක් නෑ..... මුහුණේ සැමවිටම තියෙන්නේ නුරුස්නා ස්වභාවයක්.... රාත්‍රියට ඇඳි ගවුම පිටින් දහවල වනතුරුත් නා පිරිසිදුවීමකින් තොරව ඉන්නවා...... රාත්‍රියේ ඉවූ හැලි වළං ඉඳුල් ඒ විදිහටම... ගෙදර හැමතැනම මකුළු දැල්... ඔබට හිතුණාද ඔබ අහිමි කරලා තියෙන්නේ ඔබත් එක්ක ඒ නිවසේ ජීවත් වෙන අනික් හැම දෙනාගෙම සතුට කියලා....
හැම දවසක්ම නැවුම් බවකින් පුරවන වගකීම ගැහැනියකට හරි ලස්සනට කළ හැකි දෙයක්.... ජීවිතය අත් නොහැර ජීවිතය සුන්දර විදිහට වැළඳ ගන්නේ කොහොමද?
මේ සඳහා වැදගත් කරුණක් ලෙස සඳහන් කළ හැක්කේ ෙපෟද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීමයි. එවිට මානසිකවද පුද්ගලයාට සතුටින් සාමයෙන් ජීවත්වන්නට වාතාවරණයක් උදාවෙන බව කිව යුතුයි. පෞද්ගලික සනීපාරක්ෂාව යනුවෙන් අදහස් ෙවන්නෙ ඔබ ඔබේ ශරීරය ගැන සැලකිලිමත් වන ආකාරයයි. නිතිපතා නෑම, දත්මැදීම, ඇඳුම් සෝදා පිරිසිදුව තබා ගැනීම ඊට ඇතුළත්ය.
සෑම දිනකම, ඔබේ ශරීරය බාහිර විෂබීජ, වෛරස් සහ බැක්ටීරියා මගින් අපිරිසිදු කරනවා. මේවා ඔබේ අපිරිසිදු දෑත් හෝ මුඛය හරහා ඔබේ ශරීරයට ඇතුළු වී ඔබව අසනීප කළ හැකිය. පුද්ගල සනීපාරක්ෂාව මගින් බාහිර රෝග කාරක මගින් ඔබගේ සනීපාරක්ෂාව දුර්වල කිරීමේ සම්භාවිතාව අඩු කළ හැකියි.
ෙපෟද්ගලික සනීපාරක්ෂා වර්ග සහ එය පවත්වා ගන්නේ කෙසේද? යන කරුණු කිහිපයක් කෙටියෙන් පහත සඳහන් පරිදි පෙන්වා දෙන්නට පුළුවන්.
ඔබේ මුඛය පිරිසිදුව තබා ගැනීම සහ රෝගවලින් තොරවීම මුඛ සෞඛ්‍යයේ පදනම වේ. සෞඛ්‍ය සම්පන්න දින චර්යාවක් විදුරුමස් රෝග සහ කුහර වැනි ගැටලුවලින් ඔබව ඈත් කරයි. උදෑසන සහ නින්දට යාමට පෙර දත්මැදීම. ඔබ ඕනෑම දෙයක් ආහාරයට ගැනීමෙන් පසු මුඛය සේදීම වැනි සරල කරුණුවලින් මුඛ සනීපාරක්ෂාව පවත්වාගත හැකිය.
ඔබේ සිරුරේ බොහෝ දහඩිය ග්‍රන්ථි ඇත. පිටත බැක්ටීරියා දහඩිය සමඟ මිශ්‍ර වූ විට එය ශරීරයෙන් නරක දුර්ගන්ධයක් ඇති කරයි. ඔබේ ශරීරය සේදීමෙන් ඔබට දුර්ගන්ධය සමඟ සටන් කිරීමට පමණක් නොව, ඔබේ සමෙන් දූෂක ඉවත් කිරීමටද උපකාරී වේ. සෑම දිනකම ස්නානය කිරීමෙන් ඔබේ සම බාහිර බැක්ටීරියා වලින් ආරක්ෂා වේ.
අපි විවිධ පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමට අපගේ අත් භාවිත කරන අතර, අපගේ මුහුණ සහ මුඛය අතපත ගෑමෙන් බැක්ටීරියා, වෛරස් සහ විෂබීජ පහසුවෙන් අපගේ ශරීරයට ඇතුළු වේ. විශේෂයෙන්ම අද කාලයේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ වැදගත්ම අංගයක් වන්නේ අත් සේදීමයි. සරල අත් සේදීම මගින් ඔබට ප්‍රධාන රෝගවලින් ආරක්ෂා විය හැකි බව වෛද්‍යවරුන්ගේද මතයයි. ආහාර සෑදීමට පෙර සහ පසු අත් සේදීමෙන්, ඔබ කිසිවක් අනුභව කිරීමට පෙර ඔබේ දෑත් පිරිසිදු කිරීමෙන්, වැසිකිළිය භාවිත කිරීමෙන් පසු ඔබේ අත් සේදීම සඳහා සබන් භාවිත කිරීමෙන්, ඔබ ඔබේ සුරතල් සතුන් හැසිරවීමෙන් පසු සෑමවිටම ඔබේ අත් සේදීමෙන්, වසංගතයක් පවතින බැවින්, ඔබ පිටතින් එන පාර්සල්, එළවළු සහ ආහාර පැකට් වැනි වස්තූන් ස්පර්ශ කරන සෑමවිටම ඔබේ අත් සේදීමෙන් සනීපාරාක්ෂාව නැතහොත් ස්වස්ථාව පවත්වාගත හැකිය.
අපිරිසිදු නියපොතුවලට ඉතා පහසුවෙන් විෂබීජ පැතිර යා හැකිය. දිගු නියපොතු ඇති පුද්ගලයින් ආසාදනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. එමනිසා, ඔබේ නියපොතු පිරිසිදුව තබා ගැනීම අතිශයින්ම වැදගත්ය. ඔබේ නියපොතු නිතරම කපා ඒවා කෙටිකර තබා ගැනීමෙන්, ඔබේ නියපොතු සබන් ගා වතුරෙන් සේදීමෙන්. සනීපාරක්ෂාව පවත්වාගත හැකිය.
ඔබේ ලිංගික අවයව ඔබේ ශරීරයේ සියුම් කොටසක් වන අතර විශේෂ අවධානයක් අවශ්‍ය වේ. ඔබ එම ප්‍රදේශය පිරිසිදු නොකරන්නේ නම්, ඔබට මුත්‍රා ආසාදන වැනි බරපතළ තත්ත්වයන් ඇතිවිය හැක. ඔබ වැසිකිළියට යන සෑම අවස්ථාවකම ඔබේ ලිංගික අවයව සේදීමෙන්. තෙත් සම ආසාදනයන්ට පත්විය හැකි බැවින් මෘදු තුවායක් භාවිතයෙන් එම ප්‍රදේශය වියලීමෙන්, හැකිතාක් පොදු වැසිකිළිවලින් වැළකී සිටීමට උත්සාහ කිරීමෙන්, සෑම දිනකම ඔබේ යට ඇඳුම් මාරු කිරීමෙන් සනීපාරක්ෂාව පවත්වා ගත හැකිය.
ඔසප් සනීපාරක්ෂාව සෑම කාන්තාවක් සඳහාම වැදගත් වේ. ඔසප් චක්‍රය තුළ සෑම කාන්තාවක්ම වෛද්‍ය මතය අනුව තමන්ව පිරිසිදුව තබා ගැනීමටත්, ආසාදන හා මාරාන්තික රෝග රුසකින් ආරක්ෂා වීමටත් දින චර්යාවක් අනුගමනය කළ යුතුය. දුර්වල සනීපාරක්ෂාව නිසා ඇති විය හැකි රෝග රාශියක් වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ. ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ජීවිතයට තර්ජනයක් විය හැකියි. ඔබ බොහෝ බැක්ටීරියා සහ වෛරස්වලට ගොදුරු විය හැක. අපිරිසිදු බව තුළින් ඔබට දරුණු උදර වේදනාව හෝ වෙනත් සෞඛ්‍ය ගැටලුද ඇති විය හැකියි.
පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීම බැක්ටීරියා සහ විෂබීජවලින් ඔබව ආරක්ෂා කරනවා පමණක් නොව මානසික වශයෙන් ඔබේ ආත්ම අභිමානය ඉහළ නංවයි. පිරිසිදු පෙනුම ඔබේ පෞරුෂයට, සමාජ ජීවිතයට මෙන්ම ඔබේ මානසික සෞඛ්‍යයට බලපායි. මනෝවෛද්‍ය මෙන්ම මනෝවිද්‍යාත්මක පිළිගැනීම අනුව කය සහ මනස අතර සම්බන්ධතාවක් පවතී. පුද්ගලයෙකුගේ කායික මානසික යන අංශ දෙකෙහිම යහ පැවැත්ම පවත්වාගැනීම මේ නිසා වැදගත් වේ. මේ සඳහා පුද්ගලයාගේ වයස අදාළ නොවේ. ඔබ වයසට ගොස් මියයන මොහොත දක්වාම ලස්සනට ජීවත් ෙවන්නේ නම් මානසික වශයෙන්ද තෘප්තිමත්ව ජීවිතය ගත කළ හැකිය.