2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

කොච්චර ප්‍රශ්න ආවත් ජීවිතය අත්හරින්න එපා!

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 158

පේරාදෙණිය සරසවියේ මනෝ විද්‍යාව විශේෂවේදී උපාධිය හදාරමින් සිටි අවසන් වසරේ ශිෂ්‍යයකු වූ තරිඳු අංජන ශිෂ්‍යයාගේ අතුරුදන් වීම ගැන පුවත මාධ්‍යයෙන් කියැවුණේ ගෙවී ගිය සතියේදී... එම ශිෂ්‍යයාගේ මව හඬමින් වේදනාවෙන් කළ ඉල්ලීම වූයේ තම පුතු කෙසේ හෝ සොයා දෙන ලෙසයි... ඔහු ලියූ ලිපියක්ද ඔහුගේ නවාතැනේ තිබී හමුවූ බව කියැවුණා... එහි ලියා තිබී ඇත්තේ “තව පැය භාගයක් ඇතුළත බාධාවක් වුණේ නැත්නම් මම මහවැලි ගඟේ පාවෙවී ඉඳීවි” යනුවෙන් දැක්වෙන අදහස් පෙළක්.  අවසන් ප්‍රතිඵලය වුණේ ඔහු ජීවිතයෙන් සමුගැනීම. ඔහු ලියූ ලිපිය නිසා ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට විශ්වාස කෙරෙනවා. 

කවර හෝ හේතුවක් පාදකව දරුවන් දෙමාපියන්ට මඟහැරීම විශාල ඛේදවාචකයක්... ඔහු බෝඩිමක සිටින විට මව, පියා සහ සහෝදරිය මෙන් ඔහු ගැන සැලකිල්ලක් දක්වන පිටස්තර පුද්ගලයෙක් නොමැත. ඔහු බෝඩිමේ තනිව සිටීමත් පැය භාගයක් ඇතුළත ඔහුට බාධාවක් නොවීමට හේතුවක්. බෝඩිම තුළ යහළුවෙක් සිටියා නම් මේ මරණය මෙසේ නොවන්නට ඉඩ තිබුණා. 

සරසවියට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බහුතරයක් ඉහළ මධ්‍යම පන්තියේ සහ පහළ මධ්‍යම පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්.... බොහෝ විට ඔවුන් සරසවිය වෙත පැමිණෙන ගමන දක්වා ඔවුන්ගේ දෙමව්පියන් දරා ඇති දුක් වේදනාත් අපමණයි. හුඟාක් දෙමාපියන් දරුවන් සරසවිය වෙත එවන්නේ අධ්‍යාපනය තුළින් ඔවුන් ඉහළ සමාජ තලයක් වෙත ප්‍රවේශව තමන්ට අහිමි වූ ජීවන වරප්‍රසාද තම දරුවන් හෝ භුක්ති විඳිනු ඇතැයි යන අභිලාෂයෙන්... දිවි නසාගත් සරසවි සිසුවා දැඩි ලෙස තම මවගේ අභිලාෂයන්, තම පියාගේ අභිලාෂයන් සිහිපත් කළා නම් ඔහු තවමත් ජීවතුන් අතර. 

මෙම සිද්ධිය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් වෙත යම් අදහසක් යොමු කරන්නට සිත් වුණා. 

රටේ ඇතිව තිබෙන ආර්ථික උද්ධමනය හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ගත කරන්නේ අතිශය දුෂ්කර ජීවිතයක්. ඔවුන් ඒ පිළිබඳව පෞද්ගලිකව මා සමඟ කතා කරන නිසා ඒ පිළිබඳ අවබෝධයක් පවතිනවා. එහෙත් සිසු සිසුවියන් කළ යුත්තේ අසීරුතා මැඩගෙන ජීවිතය පවත්වාගෙන යාම. ඔබ සෑමවිටම සිතිය යුත්තේ පැවැත්ම සියල්ලට වඩා වටිනා බව. 

ඔබට ජීවිතයේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන්නට පුළුවන්. ඒ අතර ප්‍රධාන කරුණක් තමා ආර්ථික ප්‍රශ්න. එවැනි ප්‍රශ්න හමුවේ ඔබ ක්‍රියා කරන ආකාරය අනුව ඔබට ඒවාට විසඳුම් සොයාගන්නට පුළුවන්. සියදිවි නසාගන්නට හේතු දහසක් තිබියදී ජීවත් වන ඇතැම් සිසුන් සිටිනවා. අතිකාල වශයෙන් පොඩි පොඩි රුකියාවන් කරලා රුපියල් දෙදහස, තුන් දහස සොයාගන්නා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සිටිනවා. ඒ අතර තම අධ්‍යාපන කටයුතුත් ඉතා සාර්ථකව පවත්වාගෙන යනවා. ඔබට දැඩි ආර්ථික අපහසුතාවක් තිබේ නම් ඔබේ අංශ ප්‍රධානතුමා හෝ අංශ ප්‍රධානතුමියට ඒ පිළිබඳව දැනුම් දෙන්නට පුළුවන්. ඔබට ඇහුම්කන් දෙන්නට තරම් අකාරුණික අංශ ප්‍රධානවරුන් අංශ ප්‍රධානවරියන්, ආචාර්යවරුන්, ආචාර්යවරියන් විශ්වවිද්‍යාල තුළ නැතැයි යනු මගේ විශ්වාසයයි. ඔබ විවෘතව ඔබගේ පෞද්ගලික ගැටලු ගුරුවරුන් සමඟ කතා කරන්නේ නම් පැහැදිලිවම ඔබට ඔවුන්ගෙන් පිළිතුරක් ලැබෙනවා. 

අනෙක් කරුණ තමා විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනික කටයුතුවලින්, වැඩ අධික වීමෙන්, විභාග කාලසටහන්වල විරාම රහිත වීමෙන්, ඔබ පීඩාවට පත්වන්නේ නම් එවැනි පොදු කරුණු අංශාධිපතිවරුන්, අංශාධිපතිවරියන්, පීඨාධිපතිවරුන්, පීඨාධිපතිවරියන් සමඟ සාකච්ඡා කළ හැකිය. මෙවැනි කරුණු වෙනස් කළ අවස්ථා රාශියක් අප විශ්වවිද්‍යාලය තුළ මා දැකලා තියෙනවා. ආතතිය, කාංසාව, විෂාදය වැනි තත්ත්වයන් කළමනාකරණය කළ හැකි තත්ත්වයන්. 

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් මානසිකව වෙනස් වන තවත් තත්ත්වයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන් වන්නේ ඉච්ඡාභංගත්වය. ඉච්ඡාභංගත්වය හමුවේ දැඩි ලෙස පීඩනයට, කලකිරීමට පත්වන ඇතැම් අය ජීවිතයෙන් පලා යන්නට උත්සාහ කරන අවස්ථා තිබෙනවා. මෙය පුද්ගලයන්ගේ විඳදරා ගැනීමේ ශක්තිය මත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සිසු සිසුවියන් දැඩි ලෙස ඉච්ඡාභංගත්වයට පත්වන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිවන්නේ ප්‍රේම සම්බන්ධතා කඩවීම. තමා දැඩි ලෙස පෙම් කළ පෙම්වතා හෝ පෙම්වතිය තමාට අකමැති වන අවස්ථාවල, තමාව හැර යන අවස්ථාවල අනෙකා දැඩි ලෙස මානසික පීඩනයට ලක්වෙනවා. එවිට තමා විශ්වවිද්‍යාලයට ආ ප්‍රධාන කරුණ පවා අමතක වෙනවා. තමා විශ්වවිද්‍යාලයට ආ ප්‍රධාන කරුණ වන්නේ අධ්‍යාපනයෙන් ඉහළට ගොස් සාර්ථක පුද්ගලයෙක් වීම. සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගෙත් ඒකායන ප්‍රාර්ථනාව වන්නේ ඒක. දරුවන් සමාජයේ ඉහ‍ළට යන විට දෙමාපියන් තරම් සතුටු වන කෙනෙක් තවත් නැහැ. 

සෑම සිසුවෙක්ම, සෑම සිසුවියක්ම තම දෙමාපියන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වාගත යුතුයි. තමාට දැඩි දුකක්, මානසික පීඩනයක් පැමිණි විට ඒවා දෙමාපියන් සමඟ සාකච්ඡා කළ හැකියි. එවිට ඔබගේ දුක තුනීවෙලා යනවා. දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන්නේ වටිනා උපදෙස් සහ වටිනා මඟපෙන්වීම්. තමාට ජීවිතය එපා වී මියයන්නට හිතෙනවා නම් පළමුව සිහිපත් කළ යුත්තේ දෙමාපියන්. ඔබ ඔබගේ දෙමාපියන් වෙනුවෙන් ජීවත් විය යුතුයි. ඔබ ඔබගේ ජීවිතයට හානියක් කර ගතහොත් මැරි මැරී උපදින්නේ දෙමාපියන්. ඔබ මෙය සිහියට ගන්නේ නම් කවදාවත් තම ජීවිතයෙන් පලා යන්නට උත්සාහ කරන්නේ නැහැ. අපට මේ දිනවල නිරන්තරයෙන් මාධ්‍ය මගින් දක්නට ලැබෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මියගිය සිසුවාගේ දෙමාපියන් මානසිකව විඳින වේදනාව. සහෝදරිය මානසිකව විඳින වේදනාව. යම් පුද්ගලයෙක් ජීවිතයෙන් පලා යන්නට උත්සාහ කරනවා කියන්නේ ජීවත්ව සිටින අයත් දැඩි දුකකට ඇද දමන තත්ත්වයක්. 

ඇතැම් කරුණු තිබෙනවා ඒවා දෙමාපියන් සමඟ සාකච්ඡා කළ නොහැකි කරුණු. සිසුවෙක්ට හෝ සිසුවියකට පුළුවන්කම තිබෙනවා එවැනි කරුණු තමාට අතිශය මිත්‍රශීලී හිතවත් යහළුවකු හෝ යෙහෙළියක සමඟ සාකච්ඡා කරන්න. එවිට එම යහළුවාගෙන් හෝ යෙහෙළියගෙන් මඟපෙන්වීමක් ලැබෙනවා. දුක බෙදාහදා ගන්නට කෙනකු සිටින විට, තමාට ඇහුම්කන් දෙන්නට කෙනකු සිටින විට එය ලොකු මානසික ලිහිලනයක්. විශ්වවිද්‍යාලය තුළ ඇතැම් සිසු සිසුවියන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු බොහෝවිට උපදේශනයට යොමුවන්නේ මිතුරියක් හෝ මිතුරෙක් හරහා. දුක සැප දෙකෙහි සමව පවතින උතුම් මිතුරු මිතුරියන් සිටිනවා. ඔවුන් කවදාවත් තමාට පිටුපාන්නේ නැහැ. තමා විපතට වැටෙනවා දැක සතුටු වෙන්නේ නැහැ. 
මිතුරු මිතුරියන්ට හෝ පැවසිය නොහැකි දෙයක් ඔබට තිබේ නම් විශ්වවිද්‍යාලයේ මනෝ උපදේශකවරයකුට හෝ ශිෂ්‍ය උපදේශකවරයකුට එය යොමු කරන්නට පුළුවන්. එවිට ඔබගේ රහස්‍යභාවය සුරකිමින් ඔබගේ ගැටලුව සාර්ථකව විසඳන්නට ඔවුන්ගේ මැදිහත්වීම ලැබෙනවා. සෑම විශ්වවිද්‍යාලයකම මනෝ උපදේශන ඒකකයක් තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයෙත් කළණ මිතුරු කියා වෙනම ඒකකයක් පිහිටුවා තිබෙනවා. සිසු සිසුවියන්ගේ මානසික ගැටලු විසඳන්නට එවන් ඒකකවලින් ලැබෙන්නේ මිල කළ නොහැකි සේවාවක්. 

ජීවිතය කියන්නේ පරාජය වීම් හමුවේ පලා යාම නොවේ. සිසු සිසුවියන් සෑමවිටම කල්පනා කළ යුතු වන්නේ පරාජය වීම් හමුවේ සහ දැඩි මානසික පීඩනයන් හමුවේ සාර්ථක වීමට. ලෝකයේ මනෝ විද්‍යාඥයන් බවට පත්වෙච්ච බොහෝ අය ජීවිතයේ දැඩි ලෙස මානසික පීඩනයන්ට ලක් වූ අයයි. උදාහරණයක් වශයෙන් පෙන්වා දුනහොත් සාංදෘෂ්ටිකවාදී මනෝ විද්‍යාවේ පුරෝගාමී රොලෝ මේ කියන්නේ ජීවිතයේ අතිශය පරාජය වූ කෙනෙක්. ප්‍රේම සම්බන්ධතා අසාර්ථක වූ කෙනෙක්. විවාහ දෙකක් දෙදරා ගිය කෙනෙක්. සිය සහෝදරිය භිනනෝන්මාදය නම් උග්‍ර මානසික අක්‍රමතාවෙන් පීඩා විඳි කෙනෙක්. ක්ෂය රෝගය වැළඳී අවුරුදු එකහමාරක් රෝහලක නතර වී ප්‍රතිකාර ලැබූ අයෙක්. ඔහු ජීවිතයෙන් පලා ගියේ නැහැ. සියදිවි නසාගත්තේ නැහැ. අවසානයේ මනෝ විද්‍යාඥයකු බවට පත්වුණා. ඔබ කියවිය යුත්තේ එවන් චරිතාපදාන. ඔබ ආදර්ශයට ගත යුත්තේ එවන් චරිතාපදාන. එවිට ඔබ අනිවාර්යයෙන් සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙනු නොඅනුමානයි.‍

වර්තමානය වන විට සරසවියට පැමිණෙන බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසිකත්වය නිර්මාණය වී තිබෙන්නේ සාහිත්‍ය පරිශීලනයෙන්, සුභාවිත ගීත රසවින්දනයෙන් සහ ජීවන අත්දැකීම් ඔස්සේ ලද මානුෂික මුහුණුවරකින් සහ ශික්ෂණයකින් නොව අන්තර්ජාලයට, ජංගම දුරකථනයට සහ මුහුණු පොත වැනි සමාජ මාධ්‍යයන්ට දැඩි ලෙස ඇබ්බැහි වීමෙන් ඇතිවූ පටු ආත්මාර්ථකාමී ස්වභාවයකින්. එහෙම වුණාම මානසිකව ඇතිවන ආතතිය, කාංසාව, විෂාදය විඳදරා ගැනීමේ හැකියාවක් නොමැති වෙනවා.  තාක්ෂණික ඥානය අතින් ඔවුන් යම් ඉහළ මට්ටමක සිටියත් විෂය ඥානයෙන් ඔබ්බට ඔවුන්ට අැති චින්තනමය ශක්තිය, ප්‍රායෝගික බුද්ධිය, ජීවිතය විෂයෙහි ගවේෂණාත්මක විමසුම ඉතා අඩු වීම මෙවැනි ඛේදවාචක ඇතිවීම විෂයෙහි බලපාන කරුණක්. එබැවින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකෙරෙන ක්‍රියාකාරකම් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙනවා. 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00