පියාඹා විත් කුඩා අතු රිකිල්ලක් මත නතර වන විහඟා, තම පාද යටින් ඇති රිකිල්ල කැඩී යන්නට ඉඩ ඇති බව දැනෙතත්, පියාපත් දෙකක් ඇති බව දන්නා නිසා, කූජනය නතර කරන්නේ නැත. ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ වරක් එසේ ලියා තැබුවේ විශ්වාසය යනු කෙතරම් ප්‍රබල හැඟීමක්දැයි ඒත්තු ගන්වනු පිණිසය.
ආදරය සහ විශ්වාසය තහවුරු වන්නේ යම් තැනකද, හදවතේ ගැඹුරටම ආදරය සහ විශ්වාසය පිළිබඳ හැඟීම දැනෙන්නේ යම් තැනකද, එතැන ඇතිවන්නේ බියෙන් තොර සුරක්ෂිතභාවය පිළිබඳ රමණීය මනෝභාවයයි. ජීවිතය සුන්දර නවාතැන්පොළක් බවට පරිවර්තනය කරගනු උදෙසා සැබෑ ආදරය සහ විශ්වාසය මගින් ඇතිකරනු ලබන ඒ බියෙන් තොර සුරක්ෂිතභාවය කෙතරම් වටිනාකමක් උසුලන්නේද යන්න වඩාත් දැඩිව දැනෙන්නේ එය අහිමි වී ගිය මොහොතක යැයි මම විශ්වාස කරනවා...
අප පය ගසා සිටින ලෝකය තුළ ඒ සොඳුරු මනෝභාවයන් කිසිදා අත්විඳින්නට වරම් නොලබන දරුවන් කොතෙක් සිටිනවාදැයි ඔබ දන්නවාද? රැකවරණය සහ ආරක්ෂාව, ආදරය සහ සුරක්ෂිතභාවය කිසිදා දරුවෙක් ලෙස අත්නොවිඳින, වේදනාත්මක සරණාගත හැඟීම තුළ තම ළමාවිය ගෙවන දරුවන් මේ ලෝකය තුළ කොතෙක් සිටිනවාදැයි ඔබ දන්නවාද? ජීවිත කාලය පුරා කිසිවකුගෙන් සෙනෙහෙබර ආමන්ත්‍රණයක් නොලබන, මව්පියන් විසින් හැර දමන ලද දරුවන් මේ ලෝකයේ කොතරම් ඉන්නවාද?
යථාර්ථය බොහෝ දුරකින් තබා නොයෙක් ආලවට්ටම් මැද ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා සහ වැඩිහිටි දිනයේදී දරුවන් යන තේමාවට අදාළව සැමරුම් දිගහැරෙන්නේ ඒ කටුක ඇත්ත තුළය.
එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්‍යාලය (UNCHR) සඳහන් කරන පරිදි 2021 අවසානය වනවිට පීඩා, ගැටුම්, ප්‍රචණ්ඩත්වය හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් ලොව පුරා මිලියන 89.3ක ජනතාවක් අවතැන් වී තිබේ. මින් සරණාගතයන් මිලියන 27.1 කි. මිලියන 53.2 ක් අභ්‍යන්තරව අවතැන් වූවන්ය. විදේශයක රුකවරණය පතන්නන් මිලියන 4.6 කි. ඒ සියලු දත්තයන්ට මේ ලෝකයේ ජීවත් වන දරුවන් සහ වැඩිහිටියන් යන දෙපාර්ශ්වයම අයත් වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ගෝලීය වශයෙන් 2020 දී වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර සිදුවන මරණවලින් 45% ක් පමණ මන්දපෝෂණය නිසා සිදුවන බව පැවසේ. මේ මරණ වැඩි වශයෙන් සිදුවන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලය. අවුරුදු 5ට අඩු ළමුන් මිලියන 149ක් වයසට සරිලන උසින් අඩුවෙන අතර මිලියන 45ක් කෘෂ දරුවන් ලෙසට ඇස්තමේන්තු කර ඇත.
ලෝකය පුරා දරුවන් කොතරම් සංඛ්‍යාවක් දරුවෙක් ලෙසින් හිමිවිය යුතු මූලික අයිතිවාසිකම් පවා නොලබන්නේද යන්න එම සංඛ්‍යාලේඛන සාක්ෂි දරයි. එසේම කළලයක් ලෙස විකසිතව, එහෙත් මේ ලෝකයට පැමිණෙන්නට වරම් නොලබන දරුවන් කොතෙක්දැයි ඔබ දන්නවාද? වසරකට ලොව පුරා ගබ්සා මිලියන 73ක් සිදුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. අනපේක්ෂිත ගැබ් ගැනීම් 10කින් 6ක්ම ගබ්සා කිරීමකට ලක් වේ. සියලුම ගබ්සා කිරීම්වලින් 45%ක් පමණ අනාරක්ෂිත වන අතර ඉන් 97%ක්ම සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය.
ළමා අයිතිවාසිකම් ගැන සංවිධාන දස දහසින් පවතිද්දී, තව තවත් බිහිවෙද්දී, ලෝක ළමා දින උත්කර්ෂවත් ලෙස සැමරෙද්දී, කළලයක් ලෙස මියැදෙන්නට සිදුවීමේ සිට මේ ලෝකයේ දරුවන් අත්විඳින අහිමිවීම් සහ අත්විඳින ඛේදවාචකයන් සංඛ්‍යාත්මකව කොතෙක්දැයි ඔබ විමසුමක යෙදෙන්න.
වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටි දිනය සැමරෙන්නේද මෙවැනිම පසුබිමකය. වැඩිහිටි නිවාසයන්හි අවශ්‍යතාව ලෝකය පුරා දැඩි වෙමින් පවතින අතර කිසිවකුගේ හව්හරණක් රැකවරණයක් නොලද පිරිසක් ලෙස ඉන් බහුතරය තම සැඳෑ විය වැඩිහිටි නිවාසයක ගෙවන්නේ තම දරුවන් විදේශගත වීම හෝ නොසලකා හැරීම හේතු කරගෙනය.
භෞතිකව යුතුකම් වගකීම් ඉටු කරන බොහෝ මිනිසුන්ට අමතක වෙන දෙයක් නම් අපේ ජීවිත තුළ ඉඩක් වෙන් කරගෙන සිටින අය වෙනුවෙන් ආධ්‍යාත්මික යුතුකම් ඉටු කරන්නේ කෙසේද යන්නයි. වැඩිහිටි වියට එළඹෙන පුද්ගලයන් බොහෝ විට බලාපොරොත්තු වෙන දෙයක් නම් තමන් කෙරේ අවධානය සහ සැලකිල්ලයි. තමන්ට සමීපව ඇහුම්කන් දෙන අයෙක් ඔවුන්ට අවශ්‍ය වෙයි. ජීවිතය යනු කිසිවිටෙක හුදෙක් භෞතික අවශ්‍යතා සන්තර්පණය කිරීම තුළින් පමණක් ආස්වාදනය කළ හැකි දෙයක් නොවේ. එහි ලෞකික පරිපූර්ණත්වය ඔබට අත්විඳිය හැකි වන්නේ භෞතික සහ ආධ්‍යාත්මික යන දෙවැදෑරුම් අවශ්‍යතාවයන්ම පූරණය කළ විටය.
කාර්‍යබහුලත්වය අද්‍යතනය වන විට මිනිසා බොහෝ සෙයින් හුදෙකලා ජීවියෙක් බවට පත් කර ඇත. පුද්ගල මනෝභාවයන් සහ වචන කෙරෙහි සංවේදීත්වය කාර්‍යබහුල වීම තුළ ඔවුන් තුළින් බැහැර වෙද්දී බොහෝ විට නිමැවෙන්නේ රොබෝ ආකෘති ස්වරූපයක් දරන මිනිසුන්ය. ආදරණීය බැඳීම් තුළ කෙනෙක් කෙනෙක්ගෙන් ඉල්ලා හිඳින වටිනාම දේ තමන් වෙනුවෙන් කාලයයි. එහෙත් බොහෝ මිනිසුන්ට නොලැබෙන සහ මඟහැරෙන දෙය ද එයයි. අපගේ සියලු ජීවිත අපේක්ෂාවන්ගේ අවසන් අරමුණ සතුට සහ ආත්ම තෘප්තිය නම් බොහෝ මිනිසුන් බොහෝ දේ මැද නොලබන දෙය ද එයයි.
ලොව සියලු ප්‍රාණීන්ට හුස්මක් වැටෙයි. එහෙත් හුස්මක් ගන්න බව හදවතට දැනෙන ලෙස ජීවිතය දෝතට බාරගත් මිනිසුන් සුලබ නැත. හුස්මක් වැටෙන මිනිසුන් ලෙස නොව හුස්මක් ගන්න මිනිසුන් ලෙස ජීවත් වෙමින් ජීවිතයේ සැබෑ සොඳුරු බව අත්දැකිය යුත්තේ කොහොමද? අපි කතා කරමු. තමාගේ ආදරණීයයන් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න පුළුවන් නම් එය ඔබගේ ජීවිතයට සුන්දරත්වයක් එකතු කරාවි.
කාර්මික සමාජයක් තුළ ආර්ථිකය පසුපස හඹා යන බොහෝ මිනිසුන්ට තිබෙන්නෙ දුවන ගමනක්. ඒ නිසා තම ආදරණීයයන් මඟහැරෙනවා. උදෑසන සේවයට යන ඇතැම් දෙමාපියන් නිවසට එද්දි තම දරුවන් නිදි. තම දරුවන් හැදෙන්නෙ වැඩෙන්නෙ විටෙක ආච්චි සීයා ළඟ. එසේ නැතහොත් ආය කෙනෙක් ළඟ. සේවිකාවක් ළඟ. දරුවන් ක්‍රමයෙන් වැඩිවියට පත්වෙද්දී දෙමාපියන්ගෙන් දුරස් වන්නට මෙයත් එක් හේතුවක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. ඇතැම් දූ පුතුන් විදේශගතවෙලා ඒ රටවල සංස්කෘතීන්වලට අනුගත වූ පසුව දෙමාපියන් සම්පූර්ණයෙන්ම අමතක කර දමන තත්ත්වයක් වර්තමානයේ දකින්නට පුළුවන්. එයට වගකිවයුත්තෝ දෙමාපියන්ම වන බව මාගේ හැඟීමයි. කුඩා කල දෙමාපියන් විසින් තමාගෙන් දුරස් කරන දරුවන් වැඩිවියට පත්වෙද්දී දෙමාපියන්ට සමීප කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා තම දරුවන් වෙනුවෙන් කාලයක් වෙන් කිරීම අතිශය වැදගත් වෙනවා.
එසේම දරුවන්ගේද වගකීමක් පවතිනවා. තම දෙමාපියන් ක්‍රමයෙන් මහලු වෙද්දි තනි නොකිරීමට වගබලා ගැනීම. මම බොහෝ විට මගේ මුහුණුපොත ඔස්සේ මගේ අම්මා සහ තාත්තා සමඟ මගේ ආදරය, මගේ අත්දැකීම් බෙදාගන්නේ ශිෂ්‍ය ප්‍රජාවට ඔබ ඔබේ දෙමව්පියන් සමඟ කටයුතු කළ යුතු ආකාරය මෙයැයි යන පණිවිඩය යම් මට්ටමකට හෝ ප්‍රායෝගිකව ඒත්තු ගැන්වීමේ අරමුණෙන්.
අද මගේ දෙමව්පියන් මගේ රැකවරණය සහ ආදරය යටතේ මා සමඟ එකම නිවසේ ජීවත් වුණත් මෑතක් වන තුරුම මගේ තාත්තා ගොවියෙක් ලෙස කුඹුරු අස්වද්දපු කෙනෙක්. තාත්තා කුඹුරු වැඩ කරන කාලෙට කෙතරම් කාර්‍යබහුල වුණත් මම දකුණේ බෙලිඅත්තෙ මගේ ගමට ගිහින් අනික් සහෝදරයන් එක්ක තාත්තාට උදව්වට එකතු වුණේ අපේ ඒ පැමිණීම තාත්තාට මානසිකව විශාල සතුටක් වගේම ශක්තියක් කියලත් දන්න නිසා... ඇත්තටම වයසින් වියපත් වෙද්දී ඔවුන් අපෙන් අපේක්ෂා කරන්නේ මානසික අවධානයක් සහ රැකවරණයක්... මාසිකව වියදමට මුදලක් දීමෙන්, අවුරුද්දට වතාවක් දෙකක් ඔවුන් බැලීමට යාමෙන්, ඔවුන් සේවකයකුගේ භාරයට පත් කර ඔබේ ඇසුරෙන් දුරස් කිරීමෙන් ඔබ හිතනවා නම් ඔබ ඔබේ යුතුකම් ඉටු කරන බව... ඇත්තටම එය ඔබට වැරදීමක්. ඔවුන් සංවේදීව ඔබෙන් බලාපොරොත්තු වන මානසික රැකවරණය ඔවුන් වෙත ලබා දීමේ යුතුකම ඔබෙන් ගිලිහිලා.
මගේ අම්මා තාත්තා බොහෝ විට මම කුඩා වියේදී කළ කී දෑ මෙනෙහි කිරීමෙන් අද විඳින්නෙ අහිංසක සතුටක්... ඔවුන් සමඟ ළෙන්ගතු හිතකින් මම ඒ අත්දැකීම් සිහි කරද්දී ඔවුන්ට දැනෙන්නෙ අනේ අපේ දරුවා එදා වගේම අපිත් එක්ක ඉන්නවා කියන හැඟීම. මගේ තාත්තා නිතරම සතුටින් ඉන්න කැමති කෙනෙක්. මම තාත්තාට එයා කැමති බලි, තොවිල් නැටුම් ආදිය රෑපවාහිනිය තුළින් බලන්න ඉඩ හදලා දෙද්දී එයා වෙනුවෙන් මම කාලය කැප කළා නේද කියන සතුට එයා විඳිනවා. ප්‍රායෝගිකවම මම මේ කරුණු පැහැදිලි කළේ පුංචි පුංචි දේවල්වලින් ඔබට ඔබ වෙනුවෙන් ජීවිත කැප කළ ඔබේ දෙමව්පියන් මඟ නොහැර ඔවුන්ගේ සතුට වෙනුවෙන් කෙතරම් දේවල් කළ හැකිද යන කාරණය පැහැදිලි කරන්නයි.
ජීවිතයේ මඟහැරෙන දේවල් වෙනුවෙන් නැවත යුතුකම් වගකීම් ඉටු කරන්නට කවදාවත් අපිට නැවත කාලයක් එන්නෙ නෑ. මොකද, ගෙවෙන හැම තත්ත්පරයක්ම අතීතයේ අයිතියක්... ඒ අතීතය සජීවීකරණය කරමින් වැරදි, මඟහැරීම් නිවැරදි කර එන්න කාලය ඔස්සේ අතීත ගමනක් යන්න අපි කාටවත් බැහැ. ඒ නිසා පසුතැවීම්, කලකිරීම් වෙනුවට ආත්ම තෘප්තිය විඳිනු පිණිස ජීවිතය පරිවර්තනයකට ලක් කර ගැනීම ඔබේ වගකීමක්.