2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

රටක සංවර්ධනය කියන්නෙ මර්දනය නොවෙයි

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 51

දියවරක් පිටාර ගලා යන මොහොතක යෝධ පවුරක් ඉදි කළත් නවත්වන්න බැහැ... මුවදොරක් හමුවෙන තෙක් පිටාර ගලා යන දළ රළ ගල් කුළු මතින් වුව හැපීගෙන තමන්ගේ ගමන නොනැවතී යනවා... නිශ්චිත ප්‍රාර්ථනාවක්, අරමුණක්, බලාපොරොත්තුවක් පෙරදැරිව දියත් කළ අරගලයක් වෙත්නම් ඒ අරගලයත් ඒ දියවර හා සමානයි... හදවතක්, තෙතමනයක් නැති මර්දනයට, අලුගෝසු චින්තනයට, කාකි නිලඇඳුම්වලට, බැටන් පොලුවලට, අරගල අතරමඟ නවත්වන්න බැහැ... ලෝක ඉතිහාසයේ විප්ලව ගැන කියවෙන පරිච්ඡේද ඒ උදෙසා දෙන සාක්ෂි බොහෝමයි. 

නිදහස් නිර්මාණශීලි චින්තන සමුදායන් එක්වෙන තැන කොතැනද, එතැන නිතැතින්ම නිර්මාණය වෙන්නෙ සීමාසහිත සාම්ප්‍රදායික වැඩවසම්වාදී රදළ ආකල්ප සහ සංකල්ප සුන්නද්දූලි කරමින් නව දිශානතින් කරා යන නව චින්තන ප්‍රවාහයක්. විප්ලවයක් ලෙස අරගලයක් ලෙස හැඳින්වෙන්නේ එම චින්තන ප්‍රවාහයේ භෞතික ගමනයි. ලෝකය මනුෂ්‍යත්වයේ අස්වැන්නෙන් සුපෝෂිත ක්ෂේම භූමියක් බවට පරිවර්තනය කරන්න එවැනි සත්‍යවාදී විප්ලව සහ අරගල ලෝකයට අවශ්‍යමයි. ධනවාදයට, ධනවාදයේ මුර සෙබළුන්ගේ භූමිකාවන් නිරෑපණය කරන මර්දනයට, පීඩනයට, පන්තිවාදී, ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී මහ පවුරු බිඳහෙලණු පිණිස මනුෂ්‍යත්වය සහ ආදරය පසුබිම් කරගත් චින්තන විප්ලව ලෝකයට අවශ්‍යමයි. ලෝකයේ බුද්ධි ප්‍රබෝධ පුනරුද ඇතිවී ඇත්තේ චින්තන විප්ලවයන් තුළිනි. 

ෆැන්ටසියෙන් එහා ඔබ යථාර්ථය ළඟ නවතින්න එපා. යථාර්ථය කියන්නෙ මිනිසා විසින් නිර්මාණය කරන ලද සංකල්පයක් (Manmade concept). ඔබ දැකිය යුත්තේ යථාර්ථයෙනුත් ඔබ්බට සත්‍යයයි. ලොව පවතින ඕනෑම ප්‍රපංචයක න්‍යෂ්ටිය දක්වා ගමන් කර එහි මූලය ඔබට අවබෝධ කරගත හැක්කේ යථාර්ථය නොව සත්‍ය දැකීම ඔස්සේයි... එහෙයින් ධනවාදයේ පාදඩ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද ෆැන්ටසියෙන් ඔබ්බට ඔබ ලෝකය දකින චින්තනයකට ප්‍රවේශ වෙන්න... ඒ ඔස්සේ නිර්මාණය වෙන සැබෑ අරගලයක පංගුකාරයෙකු වෙන්න. නිවටයෙක් ලෙස අවුරුදු සියයක් ජීවත්වීමට වඩා වීරයෙකු ලෙස එක් දවසක් ජීවත් වීම වටිනා බව තේරුම් ගන්න. 

විප්ලව සහ අරගල පිළිබඳව මෙවන් පූර්විකාවක් තබන්නට මට හිතුණේ අරගලයේ සහායකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අන්තරේ ශිෂ්‍යයන් දියත් කළ අරගලයට එරෙහි රුදුරු මර්දනය කතා කළ යුතුම මාතෘකාවක් බව හැඟුණු නිසයි.

ඒ අරගලයේදී පොලීසියේ තෙතමනයක් මනුෂ්‍යත්වයක් සංවේදීත්වයක් නැති බහුතරයක් පොලිස් නිලධාරීන් අරගලයේ සහෝදරයන් වෙනුවෙන් පාරට බැස්ස ශිෂ්‍ය ප්‍රජාවට මර්දනයේ උපරිමයෙන් සංග්‍රහ කළේ ඉතාමත් පිළිකුල් සහගත සදාචාර විරෝධී වියරු මානසිකත්වයකින්. ඒ බව විද්‍යුත් මාධ්‍ය වාර්තා කිරීම් මැනවින් පැහැදිලි සාක්ෂි සපයා තිබුණා.

මර්දනයෙන් වේගය යටපත් කළ හැකි වුවත් චින්තනය මරා දැමිය නොහැකි බව පොලීසියේ නිලධාරීන් සේම ආණ්ඩු කරන, අණදෙන දේශපාලන පාර්ශ්ව ද මැනවින් තේරුම් ගත යුතුයි. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමේ නිදහසට, සමාගමයේ නිදහසට අයිතිය හිමිවේ.

භාෂණයට පුද්ගලයාට උපරිම නිදහසක් තිබිය යුතුය. එසේම ප්‍රකාශනය ඇතුළුව අදහස් පළ කිරීමට පුද්ගලයෙකුට නිදහසක් පැවතිය යුතුය. සාමකාමීව රුස්වීමේ නිදහසක් පුද්ගලයාට පැවතිය යුතුය. 

යම් අධිකාරියක් විසින් එම නිදහස අවහිර කරන්නේ නම් පැහැදිලි ලෙසම පුද්ගලයාව මානසිකව සහ කායිකව පීඩාවට පත් කිරීමකි. හිංසනයකට ලක් කිරීමකි.  

එහෙත් මර්දනය තුළින් අමු අමුවේ උල්ලංඝනය කරනු ලබන්නේ මානව හිමිකම් ප්‍රකාරවද මිනිසුන්ට හිමි වී ඇති ඒ නිදහසයි. අපට අසන්නට ඇත්තේ එය එසේ වී නම් ජනතා පරමාධිපත්‍යය යන්න තවදුරටත් වලංගු වන තැන කොතැනද යන්නයි. මර්දනය තුළින් තව තවත් වර්ධනය වන්නේ පීඩනයම බවත්, පීඩනයෙන් සහ අසහනයෙන් පෙළෙන ජනතාවක් සිටින රටක සංවර්ධනය යන්න මිත්‍යාවක් බවත් පාලකයින් දැන්වත් තේරුම් ගත යුතුය. සංවර්ධනය යනු මහා මාර්ග හා ගොඩනැඟිලි ඉදිකිරීම, ආර්ථික ප්‍රවේශ ඇති කිරීම පමණක් නොව ආධ්‍යාත්මික සාධක ඔස්සේද බලගන්වන්නක් බව දැන්වත් අදාළ පාර්ශ්ව තේරුම් ගත යුතුය. 

මර්දනය හා පීඩනය සැබැවින්ම රටකට සමාජයකට වින කරන ප්‍රවේශ මනෝ විද්‍යාත්මකව වටහා ගැනීම ද මෙහිදී වැදගත්ය. බලය සඳහා වන ප්‍රේරණය නිසා තමා මෙහෙම අන් අය මර්දනයට අන් අය පීඩනයට පත් කරන්නට පුද්ගලයින් පෙළඹෙන්නේ. 

බල චේතනාව යනු වෙනත් පුද්ගලයින්ට බලපෑම් කිරීමට, ඔවුන්ගේ හැසිරීමට හෝ හැඟීම්වලට බලපෑම් කිරීමට ඇති ආශාවයි. මෙම පුළුල් සහ සාමාන්‍ය නිර්වචනයට බලපෑම, ආශ්වාදය, පෝෂණය, අධිකාරිය, නායකත්වය, පාලනය, ආධිපත්‍යය, බලහත්කාරය සහ ආක්‍රමණශීලීත්වය වැනි අතිච්ඡාදනය වන සංකල්පවල අන්තර්ගතයන් ඇතුළත් වේ.

බල චේතනාව ඇති පුද්ගලයින් අන් අයට බලපෑම් කිරීම ගැන සැලකිලිමත් වනු ඇත. ඔවුහු තම කීර්තිනාමයෙන් මිනිසුන්ට බලපෑම් කිරීමට උත්සාහ කරති. ඔවුන් බලාපොරොත්තු වන්නේ මිනිසුන් හිස නමා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීමයි. හොඳ හෝ නරක වේවා හිස නමා ඔවුන්ගේ උපදෙස් පිළිගන්නේ නම්, ක්‍රියාවන් අනුමත කරන්නේ නම් පාලකයන් එයට අතිශය කැමතිය. මිනිසුන් සඳහා මිනිසුන් විසින් තෝරාපත් කරගත් මිනිසුන් පාලනය කරන මිනිසුන්ගේ පාලකයන් එසේ නොවිය යුතුය. 
සාමාන්‍යයෙන් අධි බල චේතනාවක් ඇති අය තම බලතල යෙදිය හැකි රුකියා තෝරා ගනිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුගාමිකයන් ලෙස කටයුතු කරන මිනිසුන්ය. ඔවුන්ගේ අනුගාමිකයන් ලෙස කටයුතු නොකරන තැන, හොඳ හෝ නරක වේවා ඔවුන්ගේ මතවාද සහ ක්‍රියාවන් නොපිළිගන්නා තැන මර්දනය ක්‍රියාත්මක කරති. අධිකාරී පෞරුෂයක් සහිත පාලකයන් විසින් සෑමවිටම මර්දනය ක්‍රියාත්මක කරනු ලැබේ. ඔවුහු සෑමවිටම අන් අයගෙන් ඉහළ කීර්තියක් හා පිළිගැනීමක් අපේක්ෂා කරති. බලය පැතිරවීමට, මර්දනය කිරීමට කැමැති පුද්ගලයින් රුකියාවන් තෝරාගන්නේද ඊට අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙන මාර්ගයන්ගෙන්. නිදසුනක් වශයෙන්, පොලිස් නිලධාරියෙකු, දේශපාලනඥයෙකු සඳහන් කළ හැකිය. 

බලය මත පදනම් වූ අභිප්‍රේරණය සඳහා හොඳ උදාහරණයක් වන්නේ නායකත්වයයි. නායකයෙකු යනු මිනිසුන් මෙහෙයවීමට පෙළඹෙන පුද්ගලයෙකි. ශ්‍රේෂ්ඨ නායකයන් මිනිසුන් පාලනයට, පීඩනයට ලක් කරනවාට වඩා අභියෝග ජය ගැනීමට මිනිසුන්ව පොළඹවන අතර ඔවුන්ගේ වැඩ කටයුතු සංවිධානය කිරීමට උපකාර කරනු ඇත. 

මැකියාවෙලීගේ කුමාරයා ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට පාලිතයන් පාලකයාට ගෞරව සම්ප්‍රයුක්ත බියකින් සැලකිය යුතුය. එහෙත් ඒ තත්ත්වය ඇතිවන්නේ මර්දනය තුළින් නොවේ. පාලකයන් සතුව පවතින මානව හිතවාදී නැතහොත් මානුෂවාදී ගුණධර්මයන් සමගිනි. 

ජනතාවට යම් අසාධාරණයක්, අගතිගාමීත්වයක්, වෙනස් කොට සැලකීමක් වන්නේ නම් එයට එරෙහිව අදහස් පළ කිරීමට, සාමකාමීව රුස්වීමට අයිතියක් තිබිය යුතුය. පාලකයන් විසින් එවන් තත්ත්වයන් කෲර ලෙස පාලනය කිරීමට යාමෙන් වන්නේ එවන් තත්ත්වයන් තව තවත් වර්ධනය වීම මිස සමනය වීමක් පාලනය වීමක් නොවන බවද පාලකයන් තේරුම් ගත යුතුය.