2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

’’ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ’’

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 202

නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ.....
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ......

ඒ සුගැඹුරු මානවවාදී සමාජ ප්‍රශ්න කිරීමට ඉලක්ක වෙන්නෙ බහුතර වැඩවසම්වාදී  චින්තනයෙන් අප්‍රමාණ ගැරහුමට පාත්‍ර වූ සහ අදටත් පාත්‍ර වන යුවතියන් සහ කාන්තාවන් පිරිසක් කියන තැනින් මේ ලියවිල්ලට අකුරු අමුණන්න මට හිතුණා.... ඒ ගී පද හමුවෙන්නෙ බන්දුල නානායක්කාරවසම් ලියූ රෝහණ ද වීරසිංහ සංගීතවත් කළ සුනිල් එදිරිසිංහ ගැයූ රෑ වැඩමුරය අවසන් වන කණිසමට කියන ගීතයෙන්.  

මනෝ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් කියන සරසවි භූමිකාවෙන් ඔබ්බට ගීතය, කලාව, සාහිත්‍යය සහ ජනමාධ්‍ය කියන්නෙ මගේ ප්‍රියතම විෂය ධාරාවන් කිහිපයක්. මෑතකදී ඉහත කී ගීතය මගේ විචාරයට ලක්වෙද්දී විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගීතයට ළැදි විවිධ පාර්ශ්ව ඒ ගීතය විෂයෙහි දැක්වූ සංවේදී ප්‍රතිචාර අතරෙ මේ ගීතයෙන් කියවෙන අරුත තීරු ලිපියේ මාතෘකාවක් බවට පත් කරගන්න කියන ඉල්ලීමත් ඇවිත් තිබුණා...

පොදු ලඝු පුරුෂෝත්තමවාදී සමාජ දෘෂ්ටියට අදාළ පොදු ව්‍යවහාරය තුළ ඇඟළුම් කලාපයන්හි ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් ලෙස සේවය කරන යුවතියන් සහ කාන්තාවන් සමාජයේ ඇතැම් මුග්ධ පුද්ගලයින්  හඳුන්වන්නේ 'ගාමන්ට් බඩු, ගාමන්ට් කෑලි' වගේ පහත් ව්‍යවහාරයන්ගෙන්. මේ ලෝකයේ හැම යුවතියක්ම, හැම ගැහැනියක්ම  ඔබේ ජීවිතයට ඥාතිත්වයකින් සම්බන්ධ නොවුණත් ඔබට හිතන්න පුළුවන් නම් ඒ කාගෙ හරි දියණියක්, ඒ කාගෙ හරි සොයුරියක්, ඇතැම්විට මවක් හෝ බිරිඳක් කියලා ඔබ කවදාවත් ඔබේ ජීවිතයේ බැඳීම්වලින් පිටස්තර ගැහැනියකට වුවත් පහත් ලෙස ආමන්ත්‍රණය කරන එකක් නෑ..... නිර්දය ලෙස ස්ත්‍රීත්වය විවේචනය කරන එකක් නැහැ....

භාණ්ඩයක් කියන්නෙ මිලදී ගත හැකි දෙයක්..... නැත්නම් හුවමාරු කර ගත හැකි දෙයක්.... ඇතැම්විට පරිභෝජනයෙන් පසු ඉවතලන දෙයක්.... මාතෘත්වය තුළ ලෝකයේ හෙට දවස නිර්මාණය කරන්න දරුවන් ලෝකයට තිළිණ කරමින් ළය ලෙය කිරට හරවමින් ඇය දරන වගකීම් සම්භාරය ගැන ඔබට අල්පමාත්‍රික හෝ හැඟීමක් ඇත්නම් ඔබ කවදාවත් එවන් ගැරහුමකට ඇඟළුම් ක්ෂේත්‍රයේ ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන්  ලෙස රැකියාව කරන කාන්තාවන් විතරක් නෙවෙයි කිසිම කාන්තාවක් පත් කරන්නෙ නැහැ... එසේම මාතෘත්වය ලැබුවත් නොලැබුවත් ගැහැනියකගේ භූමිකාවේ විසල් වපසරිය ඔබට අවබෝධ කරගත හැකිනම් ඔබ කිසිවිටක ඇයට ගරහන්නේ නැහැ.

ඇය කරන්නෙත් රැකියාවක්..... අප එකිනෙකා ගේ අධ්‍යාපන මට්ටම, රැකියාව අනුව අපේ සමාජ තත්ත්වය සහ අප ජීවත් වෙන පන්තිය වෙනස් යැයි හැඳින්වුවත් පන්තිය, සමාජ තත්ත්වය මේ ආදී සියලු සංකල්ප ධනේශ්වර චින්තනය තුළ නිමැවුණු සංකල්ප බව අමතක නොකළ යුතුයි. ඒ සියල්ලෙන් වියුක්ත වූ විට අප සියලුදෙනාම මානව යන පොදු කුලකයේ සමාන්තර සාමාජිකයන් නොවේයැයි ඔබට තර්ක කළ හැකිද?

එහෙයින් උත්පත්ති සාධක හෝ බාහිර සමාජීය සාධක කරණකොට ගෙන ඔබ යමෙකු උසස් හෝ පහත්‍් යැයි විනිශ්චය කරන්නේ නම් ඔබ පළමුව අවබෝධ කර ගත යුත්තේ ඔබ මනුෂ්‍යත්වය නම් කවරේදැයි අවබෝධ කර නොගත් පුද්ගලයෙක් බවයි.
ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් ලෙස ඇඟළුම් ක්ෂේත්‍රයේ නියැලි බහුතරයක් යුවතියන් සහ කාන්තාවන් ඈත ගම් පළාත්වලින් පැමිණි අය... දරිද්‍රතාවයෙන් පීඩිත මිනිසුන් හොරකම, වංචාව වෙනුවට දෑතේ සවියෙන් ශ්‍රමය වගුරවමින් හරි හම්බ කරන යම් තැනක් වෙත්නම් ඒ දෙස ඔබ සැබැවින්ම බැලිය යුත්තේ ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රසංශනීය හැඟීමෙන්... ඒ වගේම ඔබ කිසිවිටක අමතක නොකළ යුතු කරුණක් වන්නේ ඔවුන් අප රටට විදේශ විනිමය රැගෙන ඒමට දක්වන විසල් දායකත්වයයි. ඇත්තටම මෙවැනි රැකියාවකට එන බහුතරයකගේ අරමුණ තමන්ගෙ පවුලේ ආර්ථිකයට හයියක් වීම, මව්පියන්ට යම් සහනයක් ලබාදීම, තමන්ට බාල සොයුරු සොයුරියන් වෙත්නම් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උරදීම, ඉන්න ගෙයක්, රත්තරන් බඩු ටිකක් හදාගැනීම වගේ දේවල්... එහෙම නැතුව මාලිගා ඉදිකරන සිහින පෙරදැරිව ඔවුන් මැෂිමක් එක්ක ජීවන ඔට්ටුවක් අල්ලන්නෙ නෑ... ඔබ සිතන්න ඔබට මඟහැරෙන එහෙත් ඔබ කෙතරම් සංවේදී විය යුතු, මානුෂික විය යුතු කොතෙක් නම් සංධිස්ථාන මේ සමාජය තුළ තියෙනවාද කියලා.

ඔවුන් වැඩි පිරිසක් ජීවත් වෙන්නෙ දහයයි දහය තරමේ පුංචි බෝඩිම් කාමර තුළ. ඇතැම්විට එවැනි කාමරවල කිහිප දෙනෙක් එකට ජීවත් වෙනවා. නිසි සෞඛ්‍යය පහසුකම් තබා නිදහසේ ඇඳුමක් මාරු කරගන්න තරම් වටපිටාවක්වත් ඒ ඇතැම් තැන්වල නෑ... ඇතැම් පිරිමින් ඔවුන් දෙස බලන්නෙ තමන්ගෙ විවිධ ලිංගික අවශ්‍යතාවන් සපුරාලීම පිණිස සැදී පැහැදී සිටින වෛශ්‍යාවන් දෙස බලන ඇසින්.... ළැම විනිවිද ළයක සිරවුණු ආත්මීය කතාන්දර සහකම්පන ගුණ ඇතුව කියවන්න හුඟාක් මිනිස්සුන්ට බැහැ...

සැබැවින්ම ඔබ අනෙකා දෙස බැලිය යුත්තේ අනුකම්පාව පෙරදැරිව නොව සහකම්පනය පෙරදැරිවයි. සහකම්පනය කියන්නෙ අනෙකාගේ දුක, මානසික පීඩනය තමාගේ ඇසින් නොව අනෙකාගේ ඇසින් දකින්නට පුළුවන් වීම. ඔබට අනෙකා කවුරුන්ද යන්න හඳුනාගත හැකි වන්නේ එවන් දෘෂ්ටියක් තුළයි. සයුරක් වෙසින් රළ නඟන කඳුළු සමුදායක, පවනක් වෙසින් හමන සුසුම් සමුදායක, හෙවණැල්ල ඇරෙන්න දිවි මගේ අත් නොහැර රැඳුණු උන් නැති තැනෙක ජීවිතය කොතෙක් නම් කටුක අත් දැකීමක්දැයි ඔබ නැවතී සිතන්න.
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

ජීවිතයේ අනේක ඉරුණු තැන්, කඩතොලු වී ගිය තැන් තිබෙද්දී මසන ඇඳුමෙන් උපයන රුපියල්  මතින් මහන්නට වෑයම් කරන්නේද ජීවිතයේ ඉරී ගිය රුවල් මිස අන් කවරක්ද? එහෙත් එක් තැනක් මසා නිමකරන විට තව තැනක් ඉරී නිරුවත් වන ඒ දුප්පත් ජීවිතවල සංවේදනාවන් අබියස ලේ මස් නොඉල්ලමින් රැකවරණ සදන්නේ කවුද... බෝසත් සිත් විරල විස කටු පිරුණු සමාජය ක පිපුණු මල් කෙළෙසන්නට මිස රකින්නට එසවුණු අත්ද විරලය. සැබැවින්ම මානුෂිකත්වයෙන් ලෝකය දෙස බලන්නට සිතුවිලි පෙළ ගස්වා ගත යුතු මග කුමක්ද... මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකින් අපි ඒ ගැන කතා කරමු.

ස්ත්‍රීවාදී මනෝවිද්‍යාත්මක දෘෂ්ටියකින් මේ දෙස බැලිය යුතුයි. ස්ත්‍රීවාදී මනෝවිද්‍යාව යන්නෙන් අදහස් කරන්නෙ සමාජ ව්‍යුහයන් සහ ස්ත්‍රී පුරුෂ භාවය කේන්ද්‍ර කරගත් මනෝවිද්‍යාත්මක ස්වරූපයකි. ස්ත්‍රීවාදී මනෝවිද්‍යාව ස්ත්‍රීවාදයේ වටිනාකම් සහ මූලධර්ම මත නැඹුරු වෙනවා.

ස්ත්‍රීවාදය පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. ස්ත්‍රීවාදය කියන්නෙ ස්ත්‍රියක් ස්ත්‍රියක් වීම නිසාම විඳින්නට සිදුවන ගැටලු පිළිබඳ අවධානය යොමුකරන විෂය ක්ෂේත්‍රයක්. ඉතා සරලව, ස්ත්‍රීවාදය කියන්නෙ සියලුම ස්ත්‍රී පුරුෂ භාවයට සමාන අයිතිවාසිකම් සහ අවස්ථා තිබීම සම්බන්ධයෙන් කතාකරන විෂය ක්ෂේත්‍රයක්. ස්ත්‍රීවාදය මගින් විවිධ කාන්තාවන්ගේ අත්දැකීම්, අනන්‍යතා, දැනුම සහ ශක්තීන්ට ගරු කිරීම සහ සියලුම කාන්තාවන්ට ඔවුන්ගේ පූර්ණ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට බල ගැන්වීමට උත්සාහ කරනවා.

ස්ත්‍රීවාදය යනු සමාජ න්‍යායන් සහ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළින් අවබෝධ කර ගත් පරිදි ස්ත්‍රී පුරුෂ භාවය, ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය සහ ලිංගිකත්වය මත පදනම් වූ සමානාත්මතාවය සහ සමානාත්මතාවය පිළිබඳ ගැටලු සඳහා අන්තර් විනයානුකූල ප්‍රවේශයක්.

ස්ත්‍රීවාදියෙක් කියන්නෙ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් සඳහා අනුබල දෙන අයෙක්. එකම රැකියාව කිරීම සඳහා කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩු වැටුපක් ලැබීමට ඔබේ සහෝදරයා දැඩි ලෙස විරුද්ධ නම්, ඔහු බොහෝවිට ස්ත්‍රීවාදියෙකු වශයෙන් හඳුන්වන්ට පුළුවන්. කාන්තාවන්ට පිරිමින්ට සමාන දේශපාලන, සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් තිබිය යුතු යැයි ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබ ස්ත්‍රීවාදියෙක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.

පොදුවේ ගත් කල, ස්ත්‍රීවාදය ලිංගිකත්වය, ලිංගික සූරාකෑම සහ පීඩනයට තිත තැබීමට සහ නීතියේ සහ ප්‍රායෝගිකව පූර්ණ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමේ ව්‍යාපාරයක් ලෙස පෙන්වා දිය හැකියි. ස්ත්‍රීවාදී ව්‍යාපාර ඡන්ද අයිතිය, රාජ්‍ය නිලතල සඳහා තරඟ කිරීම, වැඩ කිරීම, සමාන වැටුප් ඉපැයීම, දේපළ අයිති කර ගැනීම, අධ්‍යාපනය ලැබීම, කොන්ත්‍රාත්තුවලට ඇතුළත් වීම, විවාහය තුළ සමාන අයිතිවාසිකම් සහ මාතෘ නිවාඩු ඇතුළු කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා.

මවකගේ කුසයෙන් බිහිවූ අප කිසි විටෙකත් කාන්තාවන් දෙස රැකියාව නිසා හෝ වෙනත් කාරණයක් නිසා අගතිගාමී ලෙසින් පහත්කොට නොසිතිය යුතුයි. පහත්කොට නොසැලකිය යුතුයි. සමාජය තුළ වෙනස්කමකට භාජනය නොකළ යුතුයි. ඔබ එසේ කරන්නේ නම් එය ඔබ සතු සුවිශේෂී පෞරුෂ ලක්ෂණයක් ලෙසින් අවසාන වශයෙන් පෙන්වා දිය හැකියි.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00