2022 නොවැම්බර් 27 වන ඉරිදා

හමුනොවී සමුගන්න ඇත්තටම පුළුවන්ද?

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 165

සමුගැනීම ජීවත්වීම තුළ ඔබත් මමත් අත්විඳින යථාර්ථයක්. ආධ්‍යාත්මිකව හෝ භෞතිකව ජීවිතය තුළ ගැටගැහෙන ඕනෑම බැඳීමක් අත්හල යුතු මොහොතක් සපැමිණීම ඔබත් මමත් අත්දැකීමක් ලෙස විඳින සත්‍යයක්.... අහේතුක හෝ සහේතුක කාරණා සේම මරණයද සියලු බැඳීම් මත අවසන් තිත තියන්නට දෛවය හෝ සොබාදහම කියන දෙවියන් වහන්සේගේ කැමැත්ත නියම වන තුරු බලාගෙන ඉන්නවා.

එහෙත් කිසිදා ඔවුනොවුන් හමුනොවී, ඒ නමුත් හදවතින් හදවතට යා වූ බැඳීමකින් බැඳී, කිසිදා හමුනොවීම සමුගන්න ආදරණීය කතාවක චරිත දෙකක් කියන්නෙ එක අතකින් හරි රොමාන්තික ආදරයක් වින්ද දෙන්නෙක්.... භෞතිකව නිය තුඩකවත් ස්පර්ශයක් නොලැබ දෙදෙනකුට ළං වෙන්න, බැඳෙන්න, ආදරය කරන්න, දෙදෙනාට දෙදෙනා කියවන්න හැකිවීම, දෙදෙනාට දෙදෙනාගේ හදවත්හි ඉසියුම් සුවඳ දුරක හිඳ විඳගන්නට ලැබීම ඇත්තටම හරිම චමත්කාරයක්... ආදරයේ භෞතික නොවන ආධ්‍යාත්මික සියලු සෞන්දර්යන් එවන් බැඳීමක සුමට ලෙස සම්මිශ්‍රණය වී තිබෙන ඉඩ හසරක ඇත්තටම ආදරය කියන්නෙ ශුද්ධ වූ බයිබලය කියන විදිහටම වඩා ශ්‍රේෂ්ඨතම මනෝභාවයයි.

එවන් වූ අහම්බකාරක ආදරයක් ප්‍රස්තුත කරගෙන නිමැවුණු සොඳුරු සහ භාවාත්මක සිනමා වියමනක් ලෙස Ritesh Batra ගේ The Lunch box හින්දී සිනමා රූපකාරකය සඳහන් කරන්න මම කැමතියි.

විශ්ව සිනමාවට අහිමි වූ ශ්‍රේෂ්ඨ රංගධරයෙක් වූ ඉර්ෆාන් ඛාන් මෙහි ප්‍රධාන නළු භූමිකාවට ජීවය කවන අයුරු සැබැවින්ම අති විශිෂ්ටයි.... ඉන්දීය සිනමාව තුළ ඉර්ෆාන්ට සමාන කළ හැකි තවත් රංගධරයකු ඇත්දැයි සිතෙන තරමට ඕනෑම චරිතයක් හා ආත්මගත වී ඒ හා ගැඹුරින් ඔහු ගන්නා හුස්ම ඔහු ඉන්දීය සිනමාවේ වෙනම සලකුණක් බවට පත් කිරීම ඊට හේතුවයි.

The Lunch box සිනමා රූපකාරකයකට අනුභූතිය වෙන්නේ වැරැද්දක් නැත්නම් අතපසුවීමක්  තුළින් ඇරඹෙන බැඳීමක්... ඇය පුංචි දියණියකගේ මවක්... ඇගේ සැමියාට ඇය දිවා ආහාරය යවන්නේ දිවා ආහාරය එසේ කාර්යාල වෙත රැගෙන ගොස් බාරදෙන සේවාවක් මාර්ගයෙන්... නිවසටම පැමිණ දිවා ආහාර බඳුන් රැගෙන ගොස් නැවත හවසට ගෙදර දොරකඩට ගෙනැවිත් දීම එම සේවාව මඟින් සිදු වෙනවා... දිනක් ඇගේ සැමියාට යවන දිවා ආහාරය වැරදීමකින් බාර දෙන්නා බාර දෙන්නෙ වෙනත් කෙනෙක්ට... එදා හවස හිස් කෑම බඳුන්වල වෙනදා වගේ කෑම ඉතුරු කර නැහැ.

 ඒ සතුට නිසාම ඇය සැමියාගෙන් විමසනවා අද කෑම රසද කියලා.... ඒ වචනය අහන්න ඕනෑම ආදරණීය බිරිඳක්, පෙම්වතියක් කැමතියි.... ඔහු රසයි කියන කෑම වර්ග අනුව ඇය තේරුම් ගන්නවා ඔහු වෙත ලැබී තියෙන්නේ ඇය යැවූ කෑම බඳුන නෙවෙයි කියන එක. එහෙත් ඇය නිහඬවම ඉන්නවා.... අනික් දවසෙ ඇය ඒ කෑම බඳුන යවන්නෙ මම අද පිළියෙල කළේ මගේ සැමියා කැමතිම ආහාර කියලා කොළයක ලියන පුංචි සටහනක් එක්ක... ඒ සටහනට ඇයට පිළිතුරක් ලැබෙනවා.... මේ අයුරින් කෑම බඳුනත් එක්ක යවන පුංචි ලියුම් කඩදාසිය ඔවුන් දෙදෙනාගේ ලෝකය යා කරන, ඔවුන් දෙදෙනාගේ ලෝකය, සිතුවිලි, ජීවිතය ඔවුන් දෙදෙනා වෙත සන්නිවේදනය කරන ආදරණීය වාහකය බවට පත් වෙනවා.

ඔහු බිරිඳගේ අකල් සමුගැනීමෙන් ජීවිතය තුළ තනිවූ හුදෙකලා නිහඬ සංවේදී හදවතක් ඇති එහෙත් ජීවිතය පිළිබඳ පරිණත පිරිමියෙක්.... එහෙත් ආදරය ප්‍රේමය දැනෙන තැන සෞන්දර්යාත්මක, බොළඳ, සොඳුරු සිතුවිලි, සංවේදී හැඟීම් පංගු පේරුවකින් වියුක්තව ඕනෑම හිතක දලුලන්න පුළුවන්.... ඒ තමයි මානවීය ප්‍රකෘතියේ ස්වභාවය....

ඇයට ඇගේ සැමියාගෙන් ඇයට අවැසි මානසික රැකවරණය ආදරය නොලැබෙන පසුබිමක හවසට හිස් කෑම බඳුනක් ඇතුළේ තියෙන ඇයට ඇහුම්කන් දෙන හදවතකින් ගලා එන අකුරු ඇති කඩදාසිය කියන්නෙ හුස්මක් වැටෙන සෙයින් දැනෙන බැඳීමක්.... ඔහු ඒ කෑම බඳුන පැමිණෙන තෙක් බලා හිඳින්නෙ ඒ පුංචි ලියුම් කඩදාසිය කියවන්න.  ඔයා කෑවද? ඔයාට බඩගිනිද? ඔයා සනීපෙන්ද? ඔයාට මොනවද ඕනෑ? කියලා අහන්න කෙනෙක් ජීවිතයේ නැති වුණාම ඒ දැනෙන හිස්තැන හුදෙකලාව දරාගන්න හුඟාක් මිනිස්සු ඒ හුදෙකලාව ආදරණීය වෙසෙකින් පිරවෙන බැඳීමක් හමු වූ තැනකදී ඒ බැඳීම ඒ ආදරය තමන්ගෙ මුළු ලෝකයම බවට පරිවර්තනය කර ගන්නවා.  

ඔහු සහ ඇය අවසානයේ පත්වෙන්නෙත් ඒ මානසිකත්වයට.... දවසක් ඔහුත් ඇයත් මුණගැසෙන මොහොතක් කතා කර ගන්නවා..... ඔහු ඒ තැනට ගොස් නිහඬව ඇය දෙස බලා සිට හැරී යනවා.... ඇය තරුණයි සුන්දරයි.... ඔහු හිතනවා ඇය තමන් දුටු පසු ඇගේ ලෝකයේ ඔහුට තිබුණු ඉඩ හසර අහිමි වී යයි කියලා. 

පසුදා එන්නෙ හිස් කෑම බඳුනක්.... ඔහුගේ ජීවිතයේ එතෙක් ලොකුම බලා හිඳීම වූ ඒ කෑම බඳුන ඇතුළට ඔහු එක් කරන කඩදාසියේ ඔහුගේ හෘද සාක්ෂියම ඔහු අකුරු ලෙසින් ගලපනවා.... අවසානයේ ඔහු ඒ නගරයද හැර යනවා. කිසිදා හමු නොවීම ඔවුන් ඔවුන්ගේ හමුවීම තුළ සමුගැනීම සටහන් කරනවා.

අහිමි වීම යන්න වඩාත් කටුක වෙසකින් විඳින්නට සිදුවේය යන මානසිකත්වය ඔහු එවන් රළු තීරණයක් කරා ගෙන යන්න ඇති. ආදරය අංශුමාත්‍රයකින් හෝ දැනෙන තැන ආදරය සහ මානසික රැකවරණය නොලැබෙන හිත් කොයිතරම් සංවේදී ස්වරූපයන්ගෙන් ඊට ප්‍රතිචාර දක්වන්නේද යන්න මේ සිනමා රූපකාරකය ගැඹුරු ලෙසින් විමසන ආකාරය ඉතා විශිෂ්ටයි.

මේ මනුෂ්‍ය භාවයන් පිළිබඳව මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකින් විමසන්නේ නම් මනුෂ්‍ය භාවය සමස්තයක් ලෙස මානව වර්ගයාගේ සාමාන්‍යයෙන් සහජ නමුත් නම්‍යශීලී ලක්ෂණවලින්, හැසිරීම්වලින්, ආකල්පවලින් ආකල්ප සමන්විත වෙනවා. තවත් අර්ථයකින් පවසතොත් මිනිස් ස්වභාවය කියන්නෙ අපගේ විශේෂ අනන්‍යතාවයේ එකතුවක්, මිනිසුන්ව අද්විතීය කෙනෙකු බවට පත් කරන මානසික, භෞතික සහ අධ්‍යාත්මික ලක්ෂණ මනුෂ්‍ය ස්වභාවයට ඇතුළත් කරන්නට පුළුවන්. 

මානව ස්වභාවය අධ්‍යයනයට සම්බන්ධ විද්‍යාවේ ශාඛාවලට සමාජ විද්‍යාව, සමාජ ජීව විද්‍යාව සහ මනෝ විද්‍යාව, විශේෂයෙන් පරිණාමීය මනෝ විද්‍යාව සහ සංවර්ධන මනෝ විද්‍යාව ඇතුළත් වෙනවා. මනෝ විද්‍යාඥයන්ට අමතරව, සමාජ විද්‍යාඥයන්, මානව විද්‍යාඥයන්, දාර්ශනිකයන් සහ දේවධර්මවාදීන් ද මිනිස් ස්වභාවය පිළිබඳ පර්යේෂණ සිදු කර තිබෙනවා.

ඇත්තටම මනුෂ්‍ය ස්වභාවය කියන්නෙ මිනිසාට ස්වභාවිකව ඇතැයි කියනු ලබන සිතීමේ, හැඟීමේ සහ ක්‍රියා කිරීමේ ක්‍රම ඇතුළුව මූලික ආකල්ප සහ ලක්ෂණ පෙන්නුම් කරන සංකල්පයක්. මෙම යෙදුම බොහෝ විට භාවිත කරන්නෙ මනුෂ්‍ය වර්ගයාගේ සාරය හෝ මනුෂ්‍යත්වය යන්නෙහි ‘අර්ථය’ දැක්වීමට. මෙම සිනමා පටය තුළින් අපට මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ යම් ඉගෙනුමක් ලබන්නට පුළුවන්. මනුෂ්‍ය ස්වභාවය ගැන ඉගෙන ගැනීම මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ වඩා හොඳ තේරීම් කිරීමට අපට උපකාර වෙනවා. මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ නිසි අවබෝධයක් තිබෙන විට දරුවන්ට මනුෂ්‍ය ස්වභාවය සම්බන්ධයෙන් යම් බලපෑමක් ඍජුව හෝ වක්‍රව සිදු කරන්නට පුළුවන්. මනුෂ්‍යත්වය මගින් ගුරුවරුන් සහ දෙමාපියන් වඩාත් ඵලදායී බවට පත් කරන්නට පුළුවන්. 

පුද්ගලයකුගේ වර්ධනයට සහ හැසිරීමට බලපාන පාරිසරික සාධකවල සම්පූර්ණත්වය, විශේෂයෙන් පවුල් ගුණාංග, දෙමාපියන්ගේ දරුවන් ඇතිදැඩි කිරීමේ පිළිවෙත් සහ ආර්ථික තත්ත්වය වැනි සමාජ සංස්කෘතික හා පාරිසරික සාධක මනුෂ්‍ය ස්වභාවය තුළින් පිළිබිඹු වෙනවා. The Lunch box හින්දී සිනමා රූපකාරකයේ එම භූමිකාවන් තුළින්ද ආදරණීයත්වය, සහ මනුෂ්‍ය මනෝභාවයන් මැනවින් ඉදිරිපත් වෙනවා. 
ජීවිතය කියන්නේ නිශ්චිතාර්ථයෙන් මේ යැයි නිර්වචනය කළ හැකි දෙයක් නොවේ. එය බොහෝ සංසිද්ධීන් සහ මනෝභාවයන් අතර සැරිසරමින් නිබඳව ගලා යන්නකි... නැවතීමේ නිශ්චය තෙක් ඔව් නැවතීමේ නිශ්චය තෙක් ගලා යන්නකි... සාම්පාදිකත්වය, සංස්කෘතිය, සම්මතය මේ සියල්ල අතික්‍රමණය කරමින් ජීවිතය ගලා යන මොහොතක මානවීය ප්‍රකෘතියේ වර්ණදාස ගැල්වූ නිම්නයකදී ජීවිතය සැබැවින්ම මුණගැසෙන බව The Lunch Box ඉසියුම් ලෙස විවරණය කරනයුරු සැබැවින්ම අපූරුය.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00