2022 දෙසැම්බර් 04 වන ඉරිදා

දරු සිත නොරිදවා ශිල්ප සදන්නේ නම් මැනවි...

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 589

දරුවෙක්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි සහ ඉන්පසු ඒ පිළිබඳව විමසන දරුවාගේ පියාට අසංවර ලෙස බැණ වදින්නේ යැයි චෝදනා ලත් මැණික්හින්න ප්‍රදේශයේ බාලක විදුහලක නියෝජ්‍ය විදුහල්පතිනියක පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පසුබිමක ඒ ගැන කතා කරන්න හිතුණේ සැබෑ  ගුරුවරුන් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැයක දරුවන්ගේ නුවණැස පාදන්නට පේවී හිඳින පිරිසක් කියන එක කිසිසේත්ම අමතක කරන්න බැරි කාරණාවක් හින්දා‍. 

මව්පිය සෙවණේ ප්‍රාථමික සමාජානුයෝජනයට ලක්වෙන දරුවෙක් ඉන්පසු ද්වීතියික සමාජානුයෝජනයට ලක්වෙන වැදගත්ම සමාජ ආයතන දෙකක් වෙන්නේ පෙර පාසල සහ පාසලයි.

අධ්‍යාපනයේ සාර සිප් සේම ආධ්‍යාත්මික සහ චර්යාත්මක ශික්ෂණයක් උදෙසා අවැසි වෙන සුපෝෂණය දරුවන් එහිදී ලබන්නේ ගුරු මව්වරුන් සහ පියවරුන් වෙතින්. 

ගුටි නොගහා හදන දරුවාත් හැඳි නොගා හදන කිරි හොද්දත් එක වගේ කියලා ගැමි ව්‍යවහාරයේ කියවෙනවා... හැඳි නොගා හදන විට කිරි හොද්ද කැටි ගැහෙනවා... ඒ වගේම රස පදම මැනවින් ඉස්මතු වෙන්නෙ හැඳිගාමින් හදන විට... දරුවෙකුටත් අවශ්‍ය තැනදී දඬුවමක් දුන් විට දරුවාද නිවැරදි මාවතක ගමන් කරමින් යහපත් ආධ්‍යාත්මික සහ චර්යාත්මක සංවර්ධනයකින් යුතු පෞරුෂත්වයක් සහිතව ගොඩනැගෙනවා නම් ඇත්තටම අවශ්‍ය තැනදී කායිකව හෝ මානසිකව හිංසාකාරී නොවන දඬුවම වරදක් නෙවෙයි කියලයි මම හිතන්නේ. 

ඇත්තටම ඉස්සර ගුරුවරු ඉගැන්වීමේදී වේවැලක් භාවිත කළේ දරුවන්ට අවශ්‍ය තැනදි දඬුවම් කරන්න... අද ඒ වේවැල් සංකල්පය පාසල් තුළ නැහැ. ඒ වගේම ඉස්සර දරුවෙකුට දඬුවම් කළා කියලා චෝදනා කරමින් මව්පියන් පාසලට ආවෙත් නැහැ... එහෙත් දැන් මානව හිමිකම් පිළිබඳව කථිකාවන් ප්‍රවර්ධනය වී ඇති පසුබිමක ගුරුවරයෙක් යහපත් චේතනාවක් පෙරදැරිව දරුවෙකුට කරන දඬුවමක් වුවත් මානව හිමිකම් පිළිබඳ නීතිය හමුවේ වරදක් වෙන්න පුළුවන්... ඒ නිසා ඇත්තටම අද මෙවැනි කාරණා ඉතාමත් සංවේදී කාරණා බවට පත් වී තියෙනවා. සරසවි ආචාර්යවරයෙකු වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඕනෑම ගැටලුවක් මා සමඟ ඉතා විවෘතව කතා කරන පසුබිමක් තමයි සරසවිය තුළ මම නිර්මාණය කරගෙන තියෙන්නෙ. සරසවිය තුළ කිසිම විද්‍යාර්ථියෙකුට ගුරුවරයෙක් කායිකව දඩුවම් කරන්නෙ නැහැ. ඒ වුණාට විද්‍යාර්ථීන් කියන දේ අහනවා කියන දේ කරනවා. 

එහෙත් ඉහත කී ගුරුවරියගේ වීඩියෝව මම කිහිප වරක් බැලුවා. ඒ හැසිරීම අනුමත කරන්නට බැහැ. එම ගුරුවරිය නියෝජ්‍ය විදුහල්පතිවරියක්. ඒ ගුරුවරිය දරුවාගේ පියා සමඟ සංවාද කළ ආකාරය රස්තියාදු භාෂාවක්. දරුවාට ඇහෙන්නට, දරුවා ඉදිරිපිට එසේම හැසිරෙන විට එය දරුවාගේ ඉදිරි අධ්‍යාපන මානසිකත්වයට බලපාන බව ගුරුවරිය අමතක කොට ඇති බවක් හැඟෙනවා. ඒ වගේ සිද්ධි මානසිකව බලපාන විට දරුවන් පාසල් යාමට බියක් දක්වනවා. පාසල් යාම ප්‍රතික්ෂේප කරනවා. ගුරුවරුන්ට අධ්‍යාපන මනෝවිද්‍යා දැනුම ව්‍යවහාර කිරීම අවශ්‍ය වන්නේ මේ නිසා. දරුවන් අධ්‍යාපනයට පෙළඹිය හැකි ආකාර කිහිපයක් ඉගෙනුම පිළිබඳ මනෝවිද්‍යාව තුළ, අධ්‍යාපන මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කෙරෙනවා. ඒ අතර ප්‍රධාන ක්‍රම ශිල්ප දෙකක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන් උපස්ථම්භන සහ දඬුවම්. මේ දෙක අතර වඩාත් ඇගයුමට ලක් කෙරෙන්නෙ දඬුවමට වඩා උපස්ථම්භන. 

උපස්ථම්භන (Reinforcement) කියන්නෙ දරුවන් අභිප්‍රේරණය කිරීම සඳහා ත්‍යාග ලබා දීම. මේවා භෞතිකව සහ මානසිකව කරන්නට පුළුවන්. භෞතිතව ත්‍යාග සහ සහතික පත් ලබාදීම කළ හැකියි. මානසිකව අගය කිරීම්, ප්‍රසංශා කිරීම් යනාදිය කරන විට දරුවන් මානසිකව අධ්‍යාපනය කෙරෙහි වඩ වඩාත් පෙළඹෙනවා. 

දඬුවම් කියන දේ අධ්‍යාපන සන්දර්භය තුළ භාවිත කරන විට ගුරුවරුන් ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත විය යුතුයි. උපස්ථම්භන යන්නට විරුද්ධ අංශය දඬුවම්ය (Punishment). උපස්ථම්භනයකදී චර්යාව ශක්තිමත් වේ. දඬුවමේදී සිදුවන්නේ චර්යාව දුර්වල වීමය. මනෝවිද්‍යාවේ ප්‍රකාරක ආරෝපණ න්‍යාය අනුව, සෑම චර්යාවකටම ප්‍රතිඵල තිබෙනවා. චර්යා ඉගෙනුම ඒ චර්යාවන්ගේ ප්‍රතිඵල මගින් තීරණය වන බව මින් කියවෙනවා. මෙහි ඇතුළත් වන්නේ ඉච්ඡානුග ක්‍රියාවන්ය. එනම් කැමැත්තෙන් කරන ක්‍රියාවන්ය. ඉච්ඡානුග ප්‍රතිචාරයට පසුව ලැබෙන උත්තේජකය (ප්‍රතිඵලය) මගින් ප්‍රතිචාරය නැවත ඇතිවීමේ හෝ ඇති නොවීමේ සම්භාවිතාව වෙනස් කරනු ලබනවා.

මනෝවිද්‍යාවේ ප්‍රකාරක ආරෝපණ න්‍යායට අනුව චර්යාවට ලැබෙන ප්‍රතිචාර දෙවර්ගයක් තියෙනවා. 

1. ධනාත්මක හෝ මිහිරි ප්‍රතිඵල (Positive /Pleasant Consequences)
2. සෘණාත්මක හෝ අමිහිරි ප්‍රතිඵල (Negative /Unpleasant Consequence)
1. ධනාත්මක හෝ මිහිරි ප්‍රතිඵල (Positive /Pleasant Consequences)

චර්යාවක් වැඩි කිරීම සඳහා ලබාදෙන ඕනෑම දෙයක් ධනාත්මක උපස්ථම්භනයක් ලෙස පෙන්වා දිය හැකිය. 

උදා: පොත්, ආහාර වර්ග, ඇඳුම්, තරු ලකුණු, සහතික, පදක්කම්, සම්මාන වැනි දෑ ලබාදීම. අගය කිරීම.

2. සෘණාත්මක හෝ අමිහිරි ප්‍රතිඵල (Negative /Unpleasant Consequence)

අමිහිරි හෝ පීඩාකාරී උත්තේජකවලින් මඟහැරීම සෘණාත්මක උපස්ථම්භනවලදී සිදුවෙනවා. ඒ සඳහා ලබා දෙන ඕනෑම දෙයක් සෘණාත්මක උපස්ථම්භන ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. සෘණාත්මක උපස්ථම්භනවලදී වර්ධනය වන්නේ අනවශ්‍ය හෝ අකමැති චර්යාවන්ය. උපස්ථම්භන ලබාදීම තුළින් සිදුවන්නේ අනවශ්‍ය හෝ අකමැති චර්යාව නිසා ඇතිවන පීඩාවෙන් මඟහැරීමයි. 

උදා: මව දරුවා සමඟ වෙළෙඳපොළට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදී සෙල්ලම් භාණ්ඩයක් ඉල්ලා දරුවා හඬන විට මව එම භාණ්ඩය මිලදී ගෙන දරුවාට ලබාදීම.

මව භාණ්ඩය ලබාදෙන්නේ දරුවාගේ හැඬීම නතර කිරීමටය. දරුවාගේ හැඬීම මවට පීඩාකාරී උත්තේජකයකි. ඉන් මඟහැරීම සඳහා සෙල්ලම් භාණ්ඩය ලබා දෙන අතර ඒ නිසාම හැඬීමේ චර්යාව ශක්තිමත් වේ. යමක් අවශ්‍ය සෑමවිටම හැඬීම යන චර්යාව දරුවා තුළ ඇතිවේ.

දඬුවම් ලෙස සැලකෙන්නේ යමකිසි චර්යාවක් අඩුකිරීම හෝ නැති කිරීම සඳහා ලබා දෙන අමිහිරි උත්තේජකයි. දඬුවම් කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන්. 

දඬුවම් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. 

1. ධනාත්මක දඬුවම් (Positive Punishment)
2‍. සෘණාත්මක දඬුවම් (Negative Punishment) 
1. ධනාත්මක දඬුවම් (Positive Punishment) 

අකමැති අමිහිරි උත්තේජක එකතු කිරීම ධනාත්මක දඬුවම්ය. චර්යාවක ප්‍රතිඵලය අමිහිරි උත්තේජක ලැබීමට හේතුවන බැවින් අදාළ චර්යාව නතර වේ. 

උදා: ගුරුවරයා පැවරූ අභ්‍යාසයක් නොකිරීම හේතුවෙන් පාසල් පැමිණීම සතියකට තහනම් කිරීම. 

නවක වදය ලබා දුන් සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම.

යනාදී දේවල් මේ යටතේ සිදු කරන්නට පුළුවන්. මෙහිදී දඬුවමක් ලබා දීම සිදුවන අතර එමගින් විශාල බලපෑමක් සිසු සිසුවියන්ට සිදුවන්නෙ නැහැ. එහෙත් ගුරුවරයෙක් අමානුෂික ලෙසින් ශරීරයේ කැළැල් සිටින ලෙස, කන පැලෙන ලෙස පහරදීම මනෝවිද්‍යාත්මකව කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. එවැනි දඬුවම් තුළින් සිසු සිසුවියන්ට විශාල මානසික හානියක් සිදුවෙනවා. 

2. සෘණාත්මක දඬුවම් (Negative Punishment)

මිහිරි හෝ කැමති උත්තේජක ඉවත් කිරීම සෘණාත්මක දඬුවම්ය. අනවශ්‍ය චර්යා හෝ චර්යාව නතර කිරීම මෙමගින් අපේක්‍ෂා කෙරේ. 

උදා : ගුරුවරයා පැවරූ අභ්‍යාසයක් නොකිරීම නිසා සිසුන්ට විවේක කාලය අහිමි කිරීම.

දරුවා පාඩම් නොකිරීම නිසා රූපවාහිනිය නැරඹීමට ලබා දුන් කාලය ඉවත් කිරීම.

මෙවැනි දඬුවම් මගින් සිසු සිසුවියන්ට යම් බලපෑමක් සිදුවන අතර එය මානසිකව එතරම් හානිදායක ලෙසින් ඉදිරි අධ්‍යාපනයට බලපාන්නෙ නැහැ. 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00