2023 ජනවාරි 01 වන ඉරිදා

ඔබට අවැසි ජීවිතය නව වසරේ හොයන්න‍

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 118

නව වසරක පළමු දවස අදයි. ඉතින් ආයුබෝවන්. ඔබ කැමති, ඔබ හොයන, ඔබ ප්‍රාර්ථනා කරන ජීවිතය ඔබට මුණගැසෙන, ඔබේ හෘද සාක්ෂියට අවසඟව නොයන සියලු යහපත් සිතුම්, බලාපොරොත්තු එලෙසින්ම ඉටුවෙන නව වසරක් වේවායි සුබ පතමින් අද අපි කතා කරමු හැම මොහොතකම ජීවිතය ස්නේහයෙන් පිළිගන්නෙ කොහොමද කියලා...

මම ඔබට මෙහෙම කියන්නම්... ජීවිතය වෙනුවෙන් පෙරවදන් ලියන්න හදිස්සි වෙන්න එපා. ඔබ ජීවිතය වෙනුවෙන් සුන්දර අර්ථවත් පසුවදනක් දිනෙක ලියා තබන්න හැම තත්ත්පරයකම ජීවිතය වෙනුවෙන් සූදානම් වෙන්න...

හුස්මක් වැටෙන නිසා ජීවත්වෙන මිනිස්සු මේ ලෝකයේ හැමතැනම ඉන්නවා. ඒ හුස්මක් වැටෙන නිසා ජීවත් වෙන සියක් දහසක් මිනිස්සු අතරේ ඔබ හුස්මක් ගන්න. ඔව්..... හුස්මක් ගන්න... එලෙසින්ම... හුස්මක් ගන්න බව දැනෙන ලෙස ජීවත්වෙන මිනිසෙකු බවට පත්වෙන්නට නව වසරේ අරමුණු කරගන්න.

ජීවිතය අත්හරින්න හේතු ඔබට අතීතයේදීත් ඕනෑතරම් තියෙන්න ඇති... වර්තමානයේදීත් ඇති. අනාගතයේදීත් තියෙන්න පුළුවන්. ඒත් ඔබ ඒ සියල්ල විනිවිද ඔබට අවැසි ජීවිතය හොයන්න. ඔබට අවැසි බලාපොරොත්තු දල්වන්න... අඳුරට එරෙහිව පහන් දැල්විය යුත්තේ හැඟීමෙන් නොවෙයි බුද්ධියෙන් සහ ආදරයෙන්. ඔව්. ජීවිතය ගැන සබුද්ධිමත් දැක්මකින් සහ අත් නොහරින ආදරයකින්. ඔබට ජීවිතය මුණගැසෙන තැන එතනයි...

ජීවිතය කියන්නෙ මහා පුස්තකයක්... ඒ හැම පරිච්ඡේදයක්ම ලස්සනට ලියන්න... ව්‍යාකරණ නිවැරදිව ලස්සන අලංකෘතවලින් සරසමින් ඒ හැම පරිච්ඡේදයකටම අකුරු වියමන සකසන්න... නොවැරදීම සොඳුරු පසුවදනක් ලියන්න ඔබට දවසක් සපැමිණේවි.

නව වසරේ ඔබේ අදිටන අනුව, කිසිවෙකු මත කිසිවක් මත යැපෙන්න එපා... කිසිවෙකු මත කිසිවක් මත පරාධීන වෙන්න එපා... ඔබ ඔබම වෙන්න... කවුරුන් ඔබ වටා සිටියත් ඔබ තරම්, ඔබේ ශක්තිය තරම්, කිසිවක් විශ්වාස නොකරන්න... ඔබ ඔබට දක්වන ආදරය තරම් ඔබට කිසිවෙකුත් කිසිදා ආදරය නොකරන බව යථාර්ථයෙන් ඔබ්බට සත්‍ය විනිවිද ඔබ අවබෝධ කරගන්න. එම අවබෝධය ඔබගේ ජීවිතය නවමු මාවතකට යොමු කරාවි... මා නොව මම නව වසරේ ඔබට හමුවන්නේ එවිටයි.

ආදරය, ගෞරවය, සැලකිල්ල, පරිත්‍යාගය ඔබ බෙදාහරින්න. එහෙත් ඔබ ප්‍රදානය කරන කිසිවක් වෙනුවෙන් ආපිට කිසිවක් කිසිවකුගෙන්වත් නොඉල්ලන්න. සැබැවින්ම ඔබට කිසිවකුගෙන්වත් කිසිවක් බලාපොරොත්තු නොවී සිටින තාක් සතුටින් ජීවත්වෙන්න පුළුවන්. ඔබ නොඉල්ලුවත් ඔබ පිරිනමන සියල්ල වෙනුවෙන් සොබාදහම ඔබට සාධාරණය ඉෂ්ට කරනවා. සොබාදහමේ රීතිය එයයි.

ඇදහිල්ලෙන් ඔබ්බට ඔබ ඔබේ චින්තනයට ඉඩදෙන්න. විශ්වාසයෙන් ඔබ්බට ඔබ නිර්මාණශීලිත්වයට ඉඩදෙන්න.  ඔබට ඔබ මඟ නොහැරෙන තැන එතැනයි.  සැබැවින්ම නිර්මාණශීලි ආදරණීය පුද්ගලයකු වෙසින් ජීවිතය නිරීක්ෂණය කරමින් ජීවිතයට ආදරය කරන්නේ කොහොමද?

නව වසරේ ඔබ ඔබේ මාර්ගය සොයාගන්න

මෙපමණක කලක් ඔබ ආ මාර්ගයේ ඔබගේ වත්මන් ජීවන තත්ත්වය පරීක්ෂා කරන්න. ඔබගේ වර්තමාන ජීවන ගමන් පථය ගැන ඔබ සෑහීමකට පත්වේද යන්න ඔබෙන්ම අසන්න. ඔබ පාසැල් ශිෂ්‍යයෙක් නම්, ඔබ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් නම්, ඔබ පොළඹවන සහ ඔබට ආශාවක් දැනෙන දෙයක් ඔබ ඉගෙන ගන්නවාද? ඔබ වැඩ කරන්නේ නම්, ඔබේ රුකියාව අර්ථවත්ද? ඔබට ඔබගේ ජීවිතය අර්ථ විරහිත බවක් දැනෙන්නේ නම් ඔබේ ජීවිතය අර්ථවත් කර ගැනීමේ මාර්ගය 2023 නව වසරේ සොයා ගන්න.

ඔබේ වටිනාකම් ගැන මෙනෙහි කරන්න

කාල් රොජර්ස් නම් මනෝ විද්‍යාඥයා සඳහන් කරන පරිදි “මිනිසුන් මූලික වශයෙන් යහපත්ය. (People are basically good)” ඔබ වටිනා කෙනෙක් බව සෑමවිටම කල්පනා කරන්න. ඔබ ඔබේ වටිනාකම්වලට අනුව ජීවත් නොවන්නේ නම්, ඔබේ ජීවිතයට ආදරය කිරීමට ඔබට අපහසු වනු ඇත. ඔබ සතු නොවටිනාකම්වලට වඩා ඔබ සතු වටිනාකම් වලට නව වසරේ ප්‍රමුඛතාව ලබාදෙන්න. එවිට ඔබගේ වටිනාකම් මගින් ඔබව නව වසර තුළ වටිනා පුද්ගලයෙක් බවට පත් කරනු නොඅනුමානය.

නව වසරේ අලුත් දේවල් අත්හදා බලන්න

''අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී'' කියලා කුමාරතුංග මුනිදාසයන් කියලා තියෙනවා. ඒ නිසා නව වසරේ අලුත් දෙයක් අත්හදා බලන්න. ලොව නගන්නට ප්‍රථම ඔබ නැගී සිටිය යුතුයි. ඔබ නැගී සිටි පසු ලොව නැගීම පහසුයි.  ඒ නිසා සෑම විටම අලුත් අලුත් දෑ අත්හදා බලන්න. එක් දෙයකින් ඔබ අසාර්ථක විය හැකිය. එහෙත්, සෑම දෙයින්ම ඔබ අසාර්ථක වන්නේ නැත. ඔබ අත්හදා බලන එක් දෙයකින් හෝ ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරනු ඇත.

අධ්‍යාපනය ලබන්න

ඉගෙනීමට වයසක්, කාලයක් නොමැති නව වසරේ අලුත් දෙයක් ඉගෙන ගන්නට අදිටන් කරගන්න. අධ්‍යාපනය යනු නව දොරටු සහ නව අවස්ථා විවර කර ගැනීමට කදිම මාර්ගයකි. අධ්‍යාපනය ලැබීම උසස් මානසික සෞඛ්‍ය, සමාජ සහයෝගය සහ වෙනත් ධනාත්මක දේවල් සමඟ සම්බන්ධ වී ඇත. ඔබට ජීවිතය තුළ සිරවී සිටින බවක් හැඟේ නම් හෝ ඔබේ පැවැත්මට වැඩි තෘප්තියක් ගෙන ඒමට අවශ්‍ය නම් නව වසරේ අලුත් දෙයක් ඉගෙන ගන්න අදිටන් කරගන්න.

ජීවිතය පිළිබඳ වෘත්තීය මාර්ග පිළිබඳ තීරණයක් තනිව ගැනීම අපහසු නම්, වෘත්තීය උපදේශකයෙකුගේ සහය ලබාගන්න.

ඔබගේ හැකියාවන් සම්බන්ධයෙන් ආත්ම විශ්වාසයක් මත යම් ක්‍රියාවකට යොමුවීමට ඔබ අපොහොසත් නම් වෘත්තීය උපදේශකයෙකු හමුවීම ගැන සලකා බලන්න. ඔබේ හැකියාවන් සහ ආශාවන් මත පදනම්ව වෘත්තීය මාර්ගයක් සොයාගැනීමට උපකාර කළ හැකි පුහුණු වෘත්තිකයන් බොහෝ සිටිති. ඔබ පාසලක නම්, ඔබ විශ්වවිද්‍යාලයක නම්, ඔබේ පාසල හරහා විශ්වවිද්‍යාලයෙහි වෘත්තීය උපදේශන ඒකකයන් හරහා ඔබට එය කළ හැකිය. අත්‍යවශ්‍ය කාරණය වන්නේ කෙසේ හෝ ජීවිතය සාර්ථක කරගැනීමයි.

නව වසරේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය නම් සෑම විටම ආදරණීය මිනිසුන් සමඟ සිටින්න. ඔබ වටා ධනාත්මක, සහයෝගය දක්වන පුද්ගලයින් සිටීම ඔබේ ආතතිය අඩු කර නව වසරේ ඔබව සතුටින් තබනු ඇත. ඔබේ ජීවිතයට ආදරය කිරීම තනි පුද්ගල කර්තව්‍යයක් නොවේ, අප සැමට අප සැලකිලිමත් වන සහ ගරුකරන පුද්ගලයින්ගේ සහයෝගය සහ ආදරය අවශ්‍ය වේ. ජීවිතය වඩාත් ලස්සන වන්නෙ එසේ වූ විටයි. සෘණාත්මක මිනිසුන් පසෙක තබන්න. බුදු රජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවා. ඇසුරට ගැලපෙන පුද්ගලයෙක් නොමැතිනම් සිත දැඩිකොට තනිව වාසය කිරීම යහපත් බව. ඇසුරට ගැලපෙන මිනිසුන් ඇසුරු කරන්න. ඇසුරට නොගැලපෙන මිනිසුන් දුරු කරන්න. එය ඔබගේ ජීවිතයට කනස්සල්ලක් නොව අස්වැසිල්ලක් වේවි.

ඔබට ඔබේ ජීවිතයට සැබවින්ම ආදරය කිරීමට අවශ්‍ය නම්, ඔබට සම්බන්ධ විය හැකි ක්‍රියාකාරකම් සෙවිය යුතුය. ජීවිතයේ සතුට හා ආදරය සෘජුව මෙන්ම වක්‍රවද සොයාගත හැකිය. ඔබගේ ජීවිතයේ සියලු ධනාත්මක දේ අගය කිරීමටත්, සෘණාත්මක දේවල් බැහැර කිරීමටත් හුරුවන්න. කිසිවෙකුගේ ජීවිතය පරිපූර්ණ නොවේ, නමුත් ඔබ ධනාත්මක දේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, ඔබට සෘණාත්ම සිතුවිලි වලින් බැහැරවීම පහසු වනු ඇත.

“ජීවත් වීමේ ලොකුම මහිමය ඇත්තේ කිසිදා නොවැටී සිටීම තුළ නොව අප වැටෙන සෑම අවස්ථාවකදීම නැඟී සිටීමයි.” 

(නෙල්සන් මැන්ඩෙලා) නව වසරේ ඔබේ අධිෂ්ඨානය විය යුත්තේ මෙයයි.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00