ආදරය කළ (උසස් පෙළ) පෙම්වතියගේ මුහුණට ඇසිඩ් ගසන්න, ආදරය කරපු හදවතකට පිහියෙන් අනින්න, සෙනෙහසින් එක දවසක් හෝ සිපගත් වතක්, සිරුරක් පිහියකින් කීතු කීතු කරන්න, සුවපත් වේවා, ඔබට යහපතක්ම වේවායි ආශිර්වාද කළ හදවතකින් මරණය ප්‍රාර්ථනා කරන්න කොහොමද කෙනෙක්ට හැකි වෙන්නේ...
ආදරය, ප්‍රේමය, සෙනෙහස අතරමඟකදී අත්හැරෙන්න පුළුවන්, අත්හරින්න පුළුවන්... අනෙකාගේ යහපත වෙනුවෙන්, අනෙකාගේ සතුට හෝ අවශ්‍යතාව වෙනුවෙන් නොඑසේනම් ආදරය, ප්‍රේමය හෝ සෙනෙහස හිරිහැරයක්, පීඩාවක්, නොගැලපීමක් ලෙස දැනෙන තැනකදී එය අත්හරින්න හෝ අත්හැරෙන්න පුළුවන්... එහෙත් එම සමුදීම හෝ සමුගැනීම ඔබ කළ යුත්තේ වෛරයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන් නොව ආදරයෙන්, ප්‍රේමයෙන් සහ සෙනෙහසින්මයි. ප්‍රේමය තුළ ප්‍රේමය හැරෙන්නටත්, ආදරය තුළ ආදරය හැරෙන්නටත් ඒ හා යාවෙන වෙනත් සොඳුරු මනෝභාවයන් කිසිවකට හැරෙන්නටත් ඉන් එහා පලිගැනීමකට හෝ වෛරයකට ඉඩක් නොතිබිය යුතුය.
ආසන්නතම සිදුවීම් දෙකක් මෙහෙම ලිපියක් ලියන්නට මා සිත යොමු කළා. පළමු සිද්ධිය වන්නේ තම ප්‍රේම සම්බන්ධතාව නතර කරන්නට යෝජනා කළ පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කිරීම. පෙම්වතා එහෙම කළේ ඇය වෙනත් කෙනෙකු වෙත අයිති නොවන්නට. දෙවැනි ආසන්නතම සිදුවීම උසස් පෙළ විභාගය ලියා නිවසට පැමිණෙමින් සිටි පෙම්වතියට ඇසිඩ් ගැසීම. ඔහු එහෙම කළේ ඇය විශ්වවිද්‍යාලයට තේරී විශ්වවිද්‍යාලයේ තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගනී යන සැකය නිසා.
තාක්ෂණික පෙම්වතුන් මිස ප්‍රේමණීය පෙම්වතුන් විරල වූ සමාජයක ආදරණීය උත්තරීතර ආදර කතාන්දර නොව අවබෝධ විරහිත ප්‍රේමය ප්‍රේමණීය ලෙස නොතැවරුණු ආදර කතාන්දර නිර්මාණය වීමේ අවකාශය ද සුලභය. අත රුඳි ජංගම දුරකථනයෙන් සහ අන්තර්ජාලයෙන් ලෝකය අතැඹුලක් සේ දකින්නට යත්න දරන බහුතර සමාජයක පොත පත, සාහිත්‍යයට, ගීතයට, කවියට, සිනමාවට සහ කලාවට යා වූ සිත් ඇති තරුණ තරුණියන් බොහෝ සෙයින්ම විරලය.
විෂය නිර්දේශයෙන් පිටස්තර කියවීමෙන් විරහිත උපාධිය සහ රුකියාව අපේක්ෂාවෙන් මිස දැනුමෙහි සහ බුද්ධියෙහි නෙක ද්වාරයන් විවර කරගනු පිණිස වූ අපේක්ෂාවෙන් සරසවියට පැමිණෙන්නේ නම් ඒ ඉතාමත් අතලොස්සකි. එවන් ගිරාපෝතක ජීවිතය ලඝු සීමාවන් තුළ රාමුකර ගත් පරපුරකින් ආධ්‍යාත්මික ශික්ෂණයක්, සුපෝෂණය වූ මානව ධර්මතා සමුදායක් අපේක්ෂා කිරීම සැබැවින්ම ප්‍රායෝගික නොවන යථාර්ථයකි.
සරසවි ආචාර්යවයෙක් ලෙස මා ගීත විචාරය, තීරු ලිපි, ශාස්ත්‍රීය ලිපි වැනි මාධ්‍ය වෙත යොමුවීමේ එක් අපේක්ෂාවක් වූයේ ද සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි ශිෂ්‍ය ප්‍රජාවට සාහිත්‍ය කලාව රසවින්දනය ඔස්සේ නවමු මාවත් විවර කිරීමය.
ප්‍රේමය සහ ආදරය යනු සැබැවින්ම හුදෙක් අයිතිය තුළ ලඝු විය යුතු මනෝභාවයන් නොවේ. ආධ්‍යාත්මික හෝ නීතිමය අයිතියෙන් ගිලිහෙන මොහොතකද ආදරය ආදරයම විය යුතුය. ප්‍රේමය ප්‍රේමයම විය යුතුය. අහිමිවීමේ වේදනාව ආදරයෙන් සහ ප්‍රේමයෙන්ම විඳ දරා ගත යුතුය. පිහිය වෙනුවට පෑනක් අතට ගත හැකි මානසිකත්වයක්, වෛරය වෙනුවට විරහව කලාවේ නවමු ප්‍රවේශයන් උදෙසා ප්‍රස්තුතයක් බවට පත් කර ගැනීමේ මානසිකත්වයක්, විරහව ද්වේෂයෙන් නොව පොතක්, ගීතයක්, කවියක්, සිනමා රෑපකාරකයක් ළඟ නතර වෙන මානසිකත්වයක් නිර්මාණය කර ගත හැකි නම් ආදර කතාන්දරවල අවසානය සලකුණු වන්නේද ආදරණීයම ප්‍රවේශයකිනි.
එහෙත් එය එසේ නොවන්නේ ඇයි... හිමිකම් අහිමි තැන ඝාතනය අරමුණු වන්නේ ඇයි...
ඒ ගැන අපි මනෝ විද්‍යාත්මක ප්‍රවේශයකින් විමසමු. ප්‍රහාරයක්, හිරිහැරයක් හෝ සමාජීය වශයෙන් ප්‍රතික්ෂේප කිරීමක් දැනෙන විට පලිගැනීමට, තමන්ට හානියක් කළ කෙනෙකුට හානි කිරීමට මිනිසුන් පෙළඹේ. මනෝවිශ්ලේෂණවාදී ගුරු කුලයෙහි පුරෝගාමියා වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ආරක්ෂණ යාන්ත්‍රණයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එම ආරක්ෂණ යාන්ත්‍රණය සංරක්ෂණ ප්‍රයෝග යන වචනයෙන්ද හඳුන්වනු ලබනවා. ආරක්ෂණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නෙ මානසිකව මනසේ ආරක්ෂාවට මනස දුර්වල අයට මෙවැනි ක්‍රමවේදයකින් මනස ආරක්ෂා කර ගැනීම අපහසුය. මානසික ආරක්ෂණ යාන්ත්‍රණය තුළ එකක් තියෙනවා. ඒක හඳුන්වන්නේ උත්කර්ෂණය (Sublimation) කියලා. මනෝවිද්‍යාවේ දී, උත්කර්ෂණය කියන්නෙ පරිණත ආකාරයේ ආරක්ෂක යාන්ත්‍රණයක් වන අතර, සමාජීය වශයෙන් පිළිගත නොහැකි ආවේගයන් සමාජීය වශයෙන් පිළිගත හැකි ක්‍රියාවන් හෝ හැසිරීම් බවට පරිවර්තනය වීමක් මේ තුළින් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භක ආවේගය දිගු කාලීනව පරිවර්තනය වීමට ඉඩ සැලසෙනවා.
පිහියෙන් ඇන ඝාතනය කිරීම, ඇසිඩ් ගැසීම වැනි ක්‍රියාවන් ඉස්මතු වන්නෙ ආවේගයන් පාලනය කර ගැනීමට තරම් මානසිකත්වය දුර්වල වූ විටය. ආවේගයන් පාලනය කළ හැකි පුද්ගලයා උත්කර්ෂණය නම් ආරක්ෂණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් සමාජීය වශයෙන් පිළිගත නොහැකි ආවේගයන් සමාජීය වශයෙන් පිළිගත හැකි ක්‍රියාවන් හෝ හැසිරීම් බවට පරිවර්තනය කරනවා. ප්‍රේමයක් කඩවී දැඩි ලෙස මානසික වශයෙන් ඉච්ඡාභංගත්වයට පත් වූ විට මෙම හැකියාව සහිත පුද්ගලයන් තම කුසලතා භාවිතයට ගන්නවා. ඇතැමෙක් කවි ලියනවා. ඇතැමෙක් ගීත රචනා කරනවා. ඇතැමෙක් නවකතා, කෙටිකතා රචනා කරනවා. ඇතැමෙක් චිත්‍ර අඳිනවා. කිනම් හෝ ප්‍රවේශයකින් තම ආවේගය සමාජයට හිතකර ආකාරයෙන් මුදා හරිනවා. එහෙත් දුර්වල මනසක් සහිත පුද්ගලයෙකුට මෙය කළ නොහැකිය. ආවේගයන් සමාජයට හානිදායක ආකාරයෙන් මුදාහරින්නේ එවැනි පුද්ගලයන් විසින්.
ප්‍රේමය හමුවේ මෙවැනි පළිගැනීම් චේතනාවන් සහ ක්‍රියාවන් සඳහා බලපාන තවත් කරුණක් වශයෙන් ලිංගික ඊර්ෂ්‍යාව පෙන්වා දෙන්නට පුළුවන්.
ලිංගික ඊර්ෂ්‍යාව කියන්නෙ ප්‍රේම සම්බන්ධතාවලදී බොහෝ විට ඇතිවන ඊර්ෂ්‍යාවක්. එක් සහකරුවෙකු හෝ සහකාරියක් අනෙක් සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් පිටත පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමඟ නුසුදුසු ශාරීරික හෝ චිත්තවේගීය සමීප සබඳතා බෙදාගෙන ඇති බවට බිය වීම නිසා ලිංගික ඊර්ෂ්‍යාව ඉස්මතු වෙනවා.
ප්‍රේම සම්බන්ධයක එක් සහකරුවෙකු ලිංගික ද්‍රෝහිකමක් සිදු කරන විට ලිංගික ඊර්ෂ්‍යාව ඇති විය හැකි නමුත්, එක් සහකරුවෙකු අනෙකා චිත්තවේගීය ද්‍රෝහිකමේ වරදකරු බවට සැක කරන විට එය බලවත් විය හැකියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මනුෂ්‍ය ඝාතනවලට පෙළඹීම සහ ක්‍රියාත්මක කිරීම දැකිය හැකියි.
පලිගැනීමේ මිනිස් ආශාව බොහෝ විට ලැජ්ජාවට පත් වූ හෝ අසාධාරණ ලෙස සැලකීමේ හැඟීම් සමඟ සම්බන්ධයි. එබැවින් ඔබේ ආත්ම වටිනාකම වැඩි දියුණු කළ හැකි දේවල් කිරීමෙන් ඔබේ පළිගැනීමේ හැඟීම් වඩාත් ධනාත්මක ආකාරයකින් කළමනාකරණය කිරීමට උපකාරී වේ.
වෙන්වීමෙන් පසු පලිගැනීම හොඳද? “පලිගැනීම" යනු ඔබට කෙතරම් රිදුණත්, වෙන්වීමෙන් පසු ඔබට කළ හැකි නරකම දෙයයි.
වෙන්වීමෙන් පසු හොඳම පලිගැනීම කුමක්ද? ඔබට ද්‍රෝහිකම් කරපු අයගෙන් පලිගැනීමේ ක්‍රමය වෙනුවට සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි සෞඛ්‍ය සම්පන්න ක්‍රම අනුගමනය කළ හැකිය.
නව විනෝදාංශයක් සොයා ගන්න... ආදරණීයයන් සමඟ කාලය ගත කරන්න... ඔබේ වෘත්තීය සාර්ථකත්වය කෙරෙහි අවධානය යොමු කරන්න... වැදගත් සමාජ කාර්යයන් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්න... වෙන්වීමෙන් පසු මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා මනෝ උපදේශකවරයෙකුගේ හෝ මනෝ වෛද්‍යවරයෙකුගේ සහායද ලබාගත හැකිය.