මහ පොළොවට තරම් අකම්පාව සියල්ල උසුලා දරාගන්නට ඔබට පුළුවන්ද....? මම ඔබගෙන් අහන්නෙ..... ඔබට පුළුවන්ද? කඳුළ නිර්මාණය වුණේ මහ පොළොවක් සේ දරාගන්න ශක්තියක් තිබිය යුතු තැන්හීදිත් ඒ ශක්තිය ගිලිහී ගිය නිසා නෙවෙයිද? කඳුළක් දෑස් අග්ගිස්සෙන් වැටිය යුතු තැන කඳුළක් දෑස් අගින් ගිලිහී වැටිය යුතුයි. ඒ සංවේදීත්වය මානවීය වටිනාකම් තවදුරටත් මේ විශ්වයට දායාද වූ සුරක්ෂිත සුන්දර හෙට දවසක් වෙනුවෙන් හදවත්හි කවර හෝ ඉඩ හසරක ඉතිරි විය යුතුමයි. එහෙත් නොවැටිය යුතු තැනදීත් කඳුළක් වැටෙන, කඳුළක් උපදින තැන් ජීවිත අස්සෙ කොච්චරද? මොහොතක් එබිකම් කර බලන්න.
අසෙනි වැහි වැටී ළදලු ඉහිරවන, මල් කැකුළු, පිපුණු මල් තලා පොඩි කර දමන අසෙනි වැහි දරා ගන්නෙත් මහ පොළොව.... බිම් යායෙන් යායට ඉරි තලන ඉඩෝරය දරා ගන්නෙත් මහ පොළොව.... ඒ ඉඩෝරයට අවසන් හුස්ම නිහඬවම දන්දෙන මහා ගස්, පුංචි මල්, තම ඇකයෙන් ගිලිහෙද්දී ඒ වියෝව කඳුළක් නොහෙලමින්, සුසුම් සුළඟකට මුසු කරමින් දරා ගන්නෙත් මහ පොළොව... දොසක් නොකියා කිසිවෙකුට...... අහස කොයිතරම් රිදුම් දුන්නත්, පොළෝ ගැඹුරම උපද්දවන මහා කම්පන කොයිතරම් හදවත කෙනිත්තුවත්, මහ පොළොව ඒ සියල්ල දරාගන්න අරුමය.... ඒ තරම් ඉවසිලිවන්ත ඉවසීමක්, ඒ තරම් ඉවසිලිවන්ත සංයමයක් කොහොමද මහ පොළොවට ලැබුණේ....
රිදෙන තැන්වලදී නොරිදවමින් දරාගන්න.... අහිමි වීම් අබියස ඒ ගිලිහී යාම් දරාගෙන තවත් දලු, කොළ, කැකුළු, මල් පුබුදන්න මහ පොළොවකට පුළුවන්...... සොබාදහම බෝධිසත්ත්ව ගුණ ඇති හදවතක ඉපදෙන ආදරය, පරාර්ථකාමීත්වය කියාදෙන්න මහ පොළොවක් නිමවන්නට ඇති..... ගහ, දළු, කොළ, කැකුළු, මල්, ගංඟා, ඇළ, දොළින් ඒ මහ පොළොව සරසලා අනන්ත මාතෘත්වයක් ඒ මහපොළොවේ විසල් හදවත මත බිඳෙන් බිඳ තවරන්න ඇති.... ආදරයේ අකලංක වර්ණ පදාස සිත්තම් සෙයින් ඒ මහ පොළොව මත දැවටෙන්න ඇති....
සිතන්න.... ඒ තරම් අපූරු දාර්ශනිකයෙක් අමුතුම ගුරුවරයෙක් කවදාවත් හමුවී තියෙනවාද ඔබට... අද දවස මහා කුණාටු සහිත දවසක් වුණත් ඒ දවස ස්නේහයෙන් දරාගන්න ඔබට හැකිනම් ඔබට මුණගැසෙන හෙට දවස නොවැරදීම සොඳුරු දවසක් වෙයි... ජීවිතය අත් හරින්නෙ ජීවිතය දරාගන්න නොදන්න මිනිස්සු.... ජීවිතයට ආදරය කිරීම අත් හරින්නෙත් ජීවිතය දරාගන්න ඉගෙන නොගත්ත මිනිස්සු.....
අක්ෂර හෝඩියෙන්, විෂය පොත් අතරින් සොයා යන සාක්ෂරතාවය නෙවෙයි සැබෑ පර්යේෂණාතමක ඉගෙනුමක්, අධ්‍යනයක් කියන්නෙ.... සැබෑ ඉගෙනුම සහ පර් යේෂණය කියන්නෙ, සැබෑ අධ්‍යයනය සහ විචාරය කියන්නෙ ඊට වඩා හුඟාක් ගැඹුරු දෙයක්.... එය සමස්ත ලෝකයම පිළිබඳව කරන සංස්ලේෂනාත්මක සහ විශ්ලේෂණාත්මක විචාරයක්. ජීවිතය එවැනි විචාරයක් ඔස්සේ ඔබට නිර්වචනය කරගන්න හැකිනම්, විවරණය කර ගන්න හැකිනම් ඔබට පුළුවන් ජීවිතයේ පාර දිගේ යන ගමනේදී ඔබ අබිමුවට එන ඕනෑම රළු කුණාටුවක් දරාගන්න.... ඒ කුණාටු ඉවසගෙන හිනාවෙන්න. එහෙම හිනාවෙන්න හැකි හෙට දවසක් වෙනුවෙන් අද අපි සූදානම් වෙන්නෙ කොහොමද? එන්න මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක සිට අපි ඒ ගැන කතා කරමු.
සෑම දිනකම සිනාසීමේ වැදගත්කම ගැන අපි කවුරුත් අසා ඇත්තෙමු. දුක අතරින් ආයාසයකින් ඇතිකරගන්නා සිනහවක් පවා පුද්ගලයෙකුගේ මනෝභාවයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකියි. ඔබට ස්වභාවික සිනහවක් ඇති කිරීමට සහ ඔබේ ජීවිතයේ සමස්ත ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට ඔබට කළ හැකි දේවල් තිබේ. එවැනි අංශ කිපිහයක් පහත සඳහන් පරිදි පෙන්වා දෙන්නට පුළුවන්.
සැමදාම ඔබේ දවස ස්වභාවධර්මය සමඟ අරඹන්න. - අධ්‍යයනවලින් සොයාගෙන ඇති ආකාරයට සූර්යාලෝකයට නිරාවරණය වීම ස්වභාවිකවම පුද්ගලයෙකුගේ මනෝභාවය ඉහළ නංවනවා. උදෑසන පිබිදුන ගමන් ඔබ ඔබගේ දුරකථනයේ ඊමේල් පරීක්ෂා කරනවා වෙනුවට, සොබා දහමට මදක් යොමු වන්න. ඔබ ඉදිරියෙහි ඇති සොබා දහමේ දර්ශන නැරඹීමට අගය කිරීමට කාලය ගත කරන්න. එය ස්වභාවිකවම ඔබේ මුහුණට සිනහවක් ගෙන ඒවි.
සෑමදිනම උදෑසන ඉතා කෙටි වේලාවක් හෝ ව්‍යායාම කිරීමට කාලයක් වෙන් කරන්න. - ඔබ පැය භාගයකට පෙර අවදි වුවද, දිවා ආහාර වේලෙහි විවේකයක් ගත්තද, ව්‍යායාම කිරීමෙන් නිකුත් වන එන්ඩොර්ෆින් ක්ෂණිකව ඔබේ මනෝභාවය ඉහළ නැංවිය හැකි බව මනෝවිද්‍යාඥයින්ගේ සහ කායික විද්‍යාඥයින්ගේ මතයයි. ඔබේ සේවා ස්ථානයේ, ඔබ ඉගෙන ගන්නා ස්ථානයේ ඔබට මෙය කරන්නට පුළුවන්. මේ සඳහා සරල ආදේශන තිබෙනවා. සෝපානය වෙනුවට පඩිපෙළ දිගේ ඇවිද යන්න. කෙටිදුර වාහනයෙන් යනවා වෙනුවට දෙපයින් ඇවිද යන්න. එවිට ඔබේ දරා ගැනීමේ ශක්තිය වැඩිවෙනවා. මනෝභාවයන් වෙනස් වෙනවා.
තවත් කෙනෙකු වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. ස්වේච්ඡා සේවයේ යෙදෙන අය එසේ නොකරන අයට වඩා සතුටින් සිටින බව පර් ෙය්ෂණවලින් සොයාගෙන තිබෙනවා. ඔබට නිතිපතා පුණ්‍ය කටයුතු කිරීමට කාලය නොමැති වුවද, අනෙක් පුද්ගලයින් සඳහා කුඩා දේවල් කිරීමෙන් ඔබේ සමස්ත ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකියි.
සංගීතයට සවන් දෙන්න. ඔබ සෑම දිනකම තමාට විවේකයක් ලැබෙන සෑම අවස්ථාවකම මනස සුවපත් කරන සංගීත ඛණ්ඩයකට, ගීතයකට ඇහුම්කන් දෙන්න. සංගීතය කියන්නෙ මනෝප්රතිකාරයක්. එය දවස සඳහා ඔබ ගැන උනන්දු වීමට හොඳ මාර්ගයක් විය හැකියි. එබැවින් ඉඩක් ලද මොහොතක ඔබේ ප්‍රියතම සංගීතයට ඇහුම්කන් දෙන්න.
රසවත් කෑමක් කන්න. ඔබේ ප්‍රියතම ආහාර රසවිඳීමෙන් ඔබේ දවසට ප්රබෝධයක් ලබා දිය හැකියි. එය මානසික වශයෙන් ඔබව ප්‍රබෝධමත් කරන කාර්යයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ආහාරයෙන් පවා ඔබ අතෘප්තිකර නම් එය ඔබගේ මනෝභාවයන් පහළ හෙළීමට හේතුවක් වෙනවා.
සමාජ මාධ්‍යවලින් ඈත්වන්න.
ඔබ සෑම උදෑසනකම කරන පළමු දෙය ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීම නම්, ඔබ ඔබේ සමස්ත යහපැවැත්මට හානි කරයි. මුහුණුපොත භාවිතා කරන පුද්ගලයින් අන්තර්ජාලයේ ගතකරන කාලය හා සම්බන්ධ නිශේධාත්මක හැඟීම් අත්විඳින බව පර් යේෂණයකින් සොයාගෙන තිබෙනවා. සමාජ මාධ්‍යවලට ඔබ යොමුවුවත් ප්‍රතිජානනාත්මක නැතහොත් ධනාත්මක දේවල් සඳහා කාලය යොමු කරන්න.
සෑමවිටම සිනහ ප්‍රේරක ළඟ තබාගන්න. ඔබගේ සේවා ස්ථානයේ පළ කර ඇති වැඩ මතක් කිරීම් සහ සටහන් වලට අමතරව, ඔබ සිනහවක් ඇති කරන ප්‍රේරක ඔබ අවට තබා ගත යුතුයි.
හාස්‍ය මතුකරන කුඩා හෝ වීඩියෝ දර්ශන නරඹන්න. ඔබට මෙය සමාජ මාධ්‍ය භාවිතයෙන් වුවත් කළ හැකියි. ඔබගේ මනසට විඩාව, පීඩාව, කලකිරීම ඇති කරන වීඩියෝ දර්ශන වලින් දුරස් වන්න. ඒව මග හරින්න.
ආදරණීයයන් සමඟ කාලය ගත කරන්න. ඔබ ආදරය කරන කෙනෙක් ඔබව නොසලකා හරින්නේ නම් ඒ පිළිබඳව කල්පනා කිරීමෙන් සිදුවන්නේ දරාගැනීමේ ශක්තිය තව දුරටත් පහළ හැරීමක්. යම් කෙනෙක් ඔබව නොසලකා හරින්නේ නම් ඔබට ආදරය කරන තවත් අය සිටිනවා. ඒ පිළිබඳව සිතා ඔවුන්ව ඇසුරු කරන්න.
එක් සිනහවකින් පුද්ගලයෙකුගේ ආතතිය සමනය කළ හැකි අතර, එය වඩාත් ඵලදායී දිනයක් මෙන්ම, යහපැවැත්ම පිළිබඳ හැඟීමක් වැඩි කරයි. සෑම දිනකම ඔබේම මුහුණට සිනහවක් ගෙන ඒමට ක්‍රම සොයා ගැනීමෙන්, ඔබේ දරා ගැනීමේ ශක්තිය වැඩි කරන අතර ඔබ හමුවන සෑමදෙනාටම වඩා හොඳ හැඟීමක් ඇති කිරීමට ඉඩ සලසන බව අවසාන වශයෙන් කිව යුතුයි.