2023 මාර්තු 12 වන ඉරිදා

බැටන් පොල්ල මර්දනය එපා! මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න..

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 180

සියල්ල හමුවේ මනුෂ්‍යත්වය ඉස්මතු විය යුතු, මනුෂ්‍යත්වය ඉස්මතු කළ යුතු සහ මනුෂ්‍යත්වය සමඟ හුස්මක් ගත යුතු අද දවසකයි අපි ජීවත් වෙන්නෙ කියන තැන ඉඳන් මේ සතියේ වදන් වියමන පටන් ගත යුතුයි කියලා මට හිතුණා. 

ලෝකය එකම යායක් සේ දකින්නට සංකල්පීය වශයෙන් කතාකරන ලෝකයක් ඇතුළේම තමයි අපි අසීමාන්තිකව බැඳෙන්නට නොව බෙදෙන්නට අවශ්‍ය අන්තවාදී මූලධර්ම ඉගෙන ගන්නෙත්. සාධාරණය මනුෂ්‍යත්වය සහ නීතිය වෙනුවට නීතිය අත දරන්නන් බැටන් පොල්ල අතට ගන්න ඉගෙන ගන්නෙත්. 

රටක ජනමාධ්‍ය රටේ පුරවැසියන් ලෙස ජනතාවට හිමි අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසෙන්නට තමන්ට හිමි ශක්‍යතාව තුළ කශේරුකාව කෙළින් තබාගෙන පෙළ ගැසිය යුත්තේත් මේ මොහොතේදීයි. එහෙත් කිසිදු වග විභාගයකින් වියුක්තව කොළඹ  සරසවි සිසුන්ට පහරදීම, කැලණිය සරසවියේ සිසුන්ට පහරදීම අබිමුවේ හඬ නැගිය යුතු බොහෝ පාර්ශ්ව මේ මොහොතේත් නිහඬයි.

කල් ඉකුත් වූ කඳුළු ගෑස් සරසවි ආරක්ෂක නිලධාරියෙකුගේ ජීවිතයක ජීවත්වීමේ අයිතිය උදුරා ගනිද්දී එය බොහෝ මාධ්‍යවලට සංවේදී පුවතක් නොවූයේ ඇයි? ඔහු ආරක්ෂක නිලධාරියෙකු ලෙස සරසවිය තුළ සේවය කළේ සරසවිය ආරක්ෂා කරන්න. අඹු දරුවන් පෝෂණය කරන්න. සමාජයේ වෙනත් අයට නොදැනුණාට පාඩුව, වියෝව දැනෙන්නෙ ඔහුගේ පවුලේ අඹු දරුවන්ට.

බල්ලෙක් මිනිසෙකු සපාකෑම ප්‍රවෘත්තියක් ලෙස නොසලකන එහෙත් මිනිසෙකු බල්ලෙක් සපා කෑම ප්‍රවෘත්තියක් ලෙස සලකන ජනමාධ්‍ය න්‍යාය මත රටට ප්‍රවෘත්තියක් වෙන්නෙ කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතය පමණක් නම්, ආණ්ඩුවක මර්දනය සහ මනුෂ්‍ය බිල්ල සංවේදී ප්‍රවෘත්තියක් නොවේනම් කුමකටද එවන් රටකට නීතියක් ධර්මයක් ජනමාධ්‍යයක්. 

මේ සියලු පසුබිම් තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන උද්ඝෝෂණයට එරෙහි මර්දනය සැබැවින්ම කතා කළ යුතුම ප්‍රබල මාතෘකාවක්. ශිල්ප සාක්ෂරතාවය සොයා සරසවි එන දූ පුතුන් අයුක්තියට, අසාධාරණයට එරෙහිව උද්ඝෝෂණ කරන එරට පාලකයන් වෙතින් තිළිණ වන්නේ මුගුරක් සහ අවියක් නම් ඒ යථාර්ථය අබියස නිහඬව බියගුල්ලන් සේ හැසිරීමට අපිට කිසිදු හැකියාවක් නැත. 

සරසවිය තුළ නව යෞවන යෞවනියන්ද නැත. සරසවි තුළ අධ්‍යාපනය ලබන්නේ මුල් වැඩිහිටි වියට අවතීර්ණව සිටින වැඩිහිටි ශිෂ්‍ය පිරිසකි. සරසවි ශිෂ්‍යයා යනු පාසල් ශිෂ්‍යයෙකු නොවන බවත් සමාජය අවබෝධ කරගත යුතුය. සරසවි ශිෂ්‍යයා කෙසේ විය යුතුදැයි විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුරෝගාමී උපකුලපති හිමි නමක් වන වැලිවිටියේ සෝරත නායක ස්වාමීන් වහන්සේ විසින් අදහස් දක්වා තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ගීතය ලිවීමේදීද එම අදහස පහත සඳහන් පරිදි පාදක කොටගෙන තිබේ. 

''අයුක්තියේදී විවාදශීලී
අසත්‍යයේදී විචාරශීලී
වියත් සභා මැද සමාජශීලී
වියතුන් වී දැය පොබයව්''

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අයුක්තියේදී විවාදශීලී විය යුතුය. අසත්‍යයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයයින් විචාරශීලී විය යුතුය. එසේම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වියත් සභාමැද සමාජශීලී විය යුතුය. වියතුන් වී ජාතිය බැබළවිය යුතුය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කෙබඳු කෙනෙක් විය යුතුද යන්න පිළිබඳ අබමල් රේණුවක දැනුමක් පාලකයන්ට නොමැති බව ඔවුන් පාර්ලිමේන්තුව සහ ජනමාධ්‍ය සාකච්ඡාවල දක්වන අදහස් වලින් පෙනේ. පාලකයන් එසේනම්, පාලකයන්ගේ අණ ක්‍රියාත්මක කරන පොලීසිය, හමුදාව තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කෙබඳු අයෙක් විය යුතුද යන්න සම්බන්ධයෙන් පවතින අදහස්, ආක්ල්ප ඔවුන් ක්‍රියාත්මක වන ආකාරයෙන් සිතාගත හැකිය.

වර්තමානයේ සමස්ත ප්‍රජාවම ආර්ථික අර්බුදය හමුවේ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. විශ්වවිද්‍යාල අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළුව සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම මානසික පීඩනයකට පත්ව සිටිති. උපයන ආකාරය මත බදු කැපීම නිසා ඇතැම් ආචාර්ය වරුන්ට මාසයේ වැටුප ලෙස අතට ලැබෙන්නේ සොච්චම් වැටුපකි. එය ජීවත්වීමට අවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. කලක් උද්ඝෝෂණ ව්‍යාපාර කර වැඩකරගත් වැටුප විශාල වශයෙන් බදු ලෙස කප්පාදු කිරීමක් දැකිය හැකිය. 

ශිෂ්‍ය ප්‍රජාවට සිය ආහාර, ඇඳුම් පැළඳුම්, නවාතැන් පහසුකම් අවශ්‍යතා ඉටුකර ගැනීමටවත් නොහැකිය පීඩාවට පත්ව සිටිනු දැකිය හැකිය. සරල උදාහරණයක් දක්වතොත් රුපියලට දෙකට තිබුණ A4 කොළයක් අද වනවිට රුපියල් අටක් පමණ වේ. සිසුන්ගේ නිවස පැත්තෙන් ගතහොත් අධික ලෙස වැඩි කර ඇති විදුලි බිල ගෙවාගත නොහැකිව දෙමාපියෝ පීඩාවට පත්ව සිටිති. සිය දරුවන්ට අවශ්‍ය ආහාර ලබාදිය නොහැකිව දෙමාපියෝ පීඩාවට පත්ව සිටිති. AC කාමරවල සුඛ විහරණය කරන පුද්ගලයින්ට මෙය දැනෙන්නේ නැත. මෙය දැනගන්නට නම් බිම් මට්ටමට බැස හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, බදුල්ල වැනි දිස්ත්‍රික්කවල දුෂ්කර ගම්මාන වලට ගොස් විමසා බැලිය හැකිය. එදා වේල සොයාගත නොහැකිව, ණය ගෙවාගත නොහැකිව සිය පවුලේ දරුවන්ට සහ බිරිඳට වස පොවා ඝාතනය කොට තමාද සියදිවි නසාගත් පුවත් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා විය. පාලකයින් කළ යුත්තේ මේවාට විසඳුම් ලබාදෙනු මිස අමානුෂික මර්දනය නොවේ. 

ඇස් පනාපිට සිදුවන අයුක්තියට, අසාධාරණයට විරුද්ධව කතා කිරීමට, හඬ නැගීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ප්‍රජාතාන්ත්‍රික අයිතියක් පැවතිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක විය යුත්තේ එයයි. රටේ ජීවත්වන ඇතැම් පාලකයන්, ආරක්ෂක අංශවල නියෝජිතයින් ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය මිමිණුවද එහි අයිතිය නිසි පරිදි දන්නේද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී‍. සැබැවින්ම අද ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේ කොතැනකද යන ප්‍රශ්නය අප අබිමුවේ පවතී.

විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින්ට විරුද්ධව අමානුෂික ප්‍රහාර එල්ලකරන පුද්ගලයින්ට ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි අරුත පහදා දිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යන්න මැනවින් අරුත් ගන්වා ඇත්තේ අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන  ඒබ්‍රහම් ලින්කන්ගේ වචනවලිනි. ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? 1863 දී ඒබ්‍රහම් ලින්කන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන විට භාවිත කළේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ''ජනතාවගේ රජයක් බවයි., එම රජය පත් කරන්නේ ජනතාව විසිනි. එම රජයේ කාර්යය විය යුත්තේ  ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි.''

ප්‍රජාතන්ත්‍රවාදී රටක සිව් ආකාරයක නිදහස පැවතිය යුතුය. එනම්, 

1. කතා කිරීමට සහ අදහස් දැක්වීමට නිදහසක් ජනතාවට පැවතිය යුතුය. 
2. තමා කැමති ආගමක් ඇදහීමට නිදහසක් ජනතාවට පැවතිය යුතුය. 
3. දේශපාලනය කිරීමට නිදහසක් ජනතාවට පැවතිය යුතුය. 
4. ආර්ථික නිදහසක් ජනතාවට පැවතිය යුතුය. 

ඔහුගේ බුද්ධිය මෙහෙයවා මදක් කල්පනා කොට බලන්න. කතා කිරීමේ නිදහසක් ලංකාව තුළ පවතීද? කැමති ආගමක් ඇදහීමට, තමා කැමති දේශපාලන මතයක් දැරීමට සහ ආර්ථික නිදහසක් ලංකාව තුළ පවතීද? 

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පාරට බසින්නේ මේවාට විරුද්ධවය. විශ්වවිද්‍යාල තුළට ඇතුළු වී විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම දැඩි ලෙස හෙළා දැකිය යුත්තේ එබැවිනි. රටේ ආරක්ෂක අංශ විශ්වවිද්‍යාල තුළට ඇතුළු වී සිසුන්ට පරහදීමේ සම්ප්‍රදායයක් මේ දක්වා අප දැක තිබුණේ නැත. එය අතිශය කනගාටුදායක තත්ත්වයකි. එවන් අවස්ථාවක පාලකයින්, ආරක්ෂක අංශ කළ යුත්තේ විශ්වවිද්‍යාලයක පරිපාලනය සමඟ සාකච්ඡා කොට ගැටලුව සමථයකට පත්කිරීම මිස විශ්වවිද්‍යාල ගේට්ටුවලින් බලෙන් ඇතුළු වී කල් ඉකුත් වූ කඳුළු ගෑස් වලින් සහ බැටන් පොලුවලින් අමානුෂික ලෙස පහර දීම නොවේ. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00