සිංහල හින්දු අලුත් අවුරුද්ද තව දවස් කිහිපයකින් පිළිගන්න තම තමන්ට හැකි අයුරින් හැම කෙනෙක්ම සූදානම් වෙනවා. එසේ සූදානම් වෙන්නෙ ආර්ථික අතින් දැඩි පීඩනයක හුඟාක් දෙනෙක් තැලී මිරිකී ඉන්න පසුබිමක. සිංහල හින්දු අලුත් අවුරුද්ද බැඳී තියෙන්නේ චාරිත්‍ර වාරිත්‍ර එක්ක විතරක් නෙවෙයි යුතුකම් වගකීම් සමුදායක් එක්ක.
රස කැවිලි හදන්න, අලුත් ඇඳුම් පැළඳුම් තෑගි දෙන්න, නෑදෑ ගමන් යන්න මේ සියල්ල ඒ යුතුකම් වගකීම් අතර වෙනවා. ආර්ථික අර්බුදය එක්ක රටේ බොහෝ පිරිසක් ජීවත් වෙන්නෙ කන්නෙ බොන්නෙ කොහොමද අපි කියන මානසිකත්වයෙන්.
ඒ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද හුඟාක් අයට මේ වතාවෙ ලොකු මානසික පීඩනයක් බවට පත්වෙන්න තියෙන අවකාශය වැඩියි. ඇත්තටම හොඳම දේ තමයි පවතින යථාර්ථය තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීම. කොහොමද අපි කිසිම දෙයක් පීඩනයක් කර නොගෙන පවතින යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරන්න ප්‍රායෝගිකව අපේ මනස සූදානම් කරගන්නෙ. සුබ අලුත් අවුරුද්දක් හැමෝටම ප්‍රාර්ථනා කරමින් අපි අද ඒ ගැන කතා කරමු.
වර්තමානයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම යනු භෞතික සම්පත් මත බොහෝදුරට කේන්ද්‍රගත වී ඇති ආකාරයක් දැකිය හැකිය. සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් විශාල ලෙස මුදල් වැයකොට ඇඳුම් පැළඳුම් එක්රුස් කරන අතර ඒවා ලබාගත නොහැකි වුවහොත් ඒ පිළිබඳ කල්පනා කරමින් මානසිකව අතෘප්තියෙන් යුතුව කල් ගත කිරීමට යොමු වේ.
අතීත ලංකාවේ කුඩා දරුවන් සිංහල අලුත් අවුරුද්ද තුළින් සතුටු වූයේ විවිධ ක්‍රියාකාරකම්වලට හුරු වීමෙනි. සිංහල අලුත් අවුරුදු සැණකෙළිය සමඟ වූ මෙම ප්‍රීතිමත් දින කීපයේදී බාල, මහලු, ස්‌ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව සියල්ලන්ම එක්‌ව ක්‍රීඩාවෙහි යෙදෙන අතර මෙම ජන ක්‍රීඩාවන් අතර වූ සුවිශේෂත්වයන්ද දැකගත හැක. ගෘහ ක්‍රීඩා වශයෙන් නිවසෙහි හෝ ගොඩනැගිලි තුළ කරන වෙහෙසකර නොවන ක්‍රීඩා තුළින් සතුටු විය. පංච කෙළිය වැනි ක්‍රීඩා ගෘහ ක්‍රීඩා වශයෙන් කෙරිණ.
එළිමහන් ක්‍රීඩා වශයෙන් රබන් ගැසීම, ඔන්චිල්ලා පැදීම, චක්‌ගුඩු පැනීම වැනි ක්‍රීඩා සිදු කෙරුණ අතර ආගමික සහ දේව සංකල්ප සමඟ බැඳුණු ක්‍රීඩා වශයෙන් අං කෙළිය පොරපොල් ගැසීම වැනි ක්‍රීඩා කෙරිණ. ඔළිඳ කෙළිය, පොර පොල් ගැසීම, අං කෙළිය, ඔන්චිල්ලා පැදීම, අං කෙළිය, කඹ ඇදීම, රබන් ගැසීම වැනි ක්‍රීඩා වලට යොමු වීමෙන් අලුත් අවුරුද්ද සතුටින් ගත කළහ. ගුඩු ගැසීම, එල්ලෙ ගැසීම, බුහු කෙළිය, වළ කජු ගැසීම, මේවර කෙළිය, එළුවන් කෑම වගේ ක්‍රීඩා දැන් අපිට අහන්න තියා දකින්නවත් නැති තරම්ය. ඔන්න මෙතනින් කියවන්න පුළුවන් මේ පැරණි කෙළි සෙල්ලම් ගැන.
එසේම සිංහල හිංදු අලුත් අවුරුද්දේ ප්‍රමුඛත්වය දිය යුතු තවත් අංශයක් වශයෙන් අලුත් අවුරුදු චාරිත්‍ර නිසි පරිදි ඉටු කිරීම පෙන්වාදිය හැකිය. මේවාට එතරම් මුදල් වැය කිරීමක් අවශ්‍ය නොවේ. තමාගේ වත්කම අනුව සරලව කළ හැකිය. නව සඳ බැලීම වැනි දෙයක් සරලව ගතහොත් මෙය මුදල් වැය වීමකින් තොරව සිදුකළ හැකිය. සෑම වසරකම මේ සූර්ය මංගල්ලයට පෙර සහ පසු අභිනව චන්ද්‍ර වර්ෂය සහ සූර්ය වර්ෂය වෙනුවෙන් නව සඳ බැලීම සිදුකරයි. මල්, පහන්, සුවඳ දුම් වලින් බුදුන් ඇතුළු තෙරුවන් පුදා පිරිත් සජ්ඣායනා කර තමයි සියලු දෙනාට යහපත ප්‍රර්ථනා කරමින් සුභ නැකතට නව සඳ බැලීම සිදු කරයි. පවුලේ අයගේ මෙන්ම සමස්ත රට වැසියන්ගේම යහපත ප්‍රාර්ථනා කිරීමක් මෙමගින් අපේක්ෂා කරයි. මෙවැනි චාරිත්‍ර වර්තමානයේ දැකිය නොහැකිය.
අතීතයේ හැම ගෙදරකම පාහේ නොවැරදීම කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්, නාරං කැවුම්, ආස්මි, වගේ අනේකවිධ කැවිලි ජාති බොහොම ප්‍රමාණයක් සදති. එහෙත් මේ කැවිලි හදන්න තෙල් වලං ලිප තැබීම කරන්නේ හොඳින් පේවී සුබ නැකතකට අනුවය. සුභ වෙලාවට තෙල් වළඳක් ලිප තබා මුලින්ම පිළියෙළ කරගන්නෙ කොණ්ඩ කැවුමක්ය. මේ මුල්ම කැවුම කෝඳුරු කැවුම කියා වෙන්කර කෝඳුරුවෝ ඇතුළු කෘමීන්ට කන්න වහළයේ මුදුනක එල්ලල තබයි. මෙවැනි සරල චාරිත්‍ර බොහෝ නිවාස වලින් ඉවත් වී ඇත. බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ කැවුම් කොකිස් අතිරස යනාදිය කඩෙන් ගෙනවිත් මේසය මත තබන්නටය. මේවා මිලදී ගන්නට ලොකු මුදලක් වියදම් කරයි. පැරණි නිවෙස්වල නිවස තුළම මේවා හදන්නට යොමුවීම නිසා ආර්ථික වශයෙන් එතරම් අපහසුවක් මිනිසුන්ට දැනුනෙ නැත.
අවුරුදු කුමාරයා පිළිගන්නත් අතීතයේ චාරිත්‍ර විධි වෙන් වී තිබුණි. වැඩ වරණ වෙලාව නොඑසේනම් පුණ්‍ය කාලය එළඹෙන්න පෙර ගෙදර නැගෙනහිර දිශාව එනම් හිරු කුමාරයා වඩින දිශාවට මල්පැලක් අටවා අවුරුදු කුමාරයාව පිළිගනී. ඉන්පසු නැකතට පිළියෙළ කරන කිරිබත් වලින් කොටසක් එක්ක කැවිලි පිළිගන්වා පහනක් දල්වා අවුරුදු කුමාරයාට සලකනු ලැබේ.
පුණ්‍ය කාලය සෑම දෙනාටම වඩා සතුටින් සමරන්නට හැකි අවුරුදු චාරිත්‍රයකි. නිවසේ සියලුදෙනාම සුදු වතින් සැරසී තම ගමේ විහාරස්ථානයට ගොස් පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීම මින් අපේක්ෂා කරයි. මෙසේ බොහෝ පහසුවෙන් සිදු කරන්නට හැකි අවුරුදු චාරිත්‍ර වලිනුත් බොහෝ දෙනා ඉවත්ව සිටින ආකාරය නූතන තාක්ෂණික යුගයේ දකින්නට ලැබෙන සුලභ දසුනකි.
වැඩ ඇල්ලීම යන නැකතෙදි සිදු කරනුයේ නවතා තිබුණ සියලු වැඩ ආපසු පටන් ගැනීමය. නිවසක ගෘහණිය නැකතට ළිපගිනි මොළවා, කිරි උතුරවා, කිරිබතක් හදා වැඩ ආරම්භ කරයි. ගෙදර ගෘහ මූලිකයා හෙවත් තාත්තා වැඩ අල්ලන නැකතට කැත්තකින් කිරි ගසකට කෙටීම හෝ උදැල්ලෙන් පොළව කෙටීම, පැළයක් ඉන්දවීම වැනි ක්‍රියාවක් සිදු කරයි. අද බොහෝ අය මේ නැකතට සිදු කරන්නෙ කිරි ඉතිරීම සහ ආහාර අනුභවය පමණය.
ගනුදෙනු කිරීමේ නැකත යෙදෙන්නේ වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය සමඟය. ගැමියෝ වැඩ අල්ලලා ඊළඟට ගනුදෙනු කිරීම සිදුකළහ. ගනුදෙනු කිරීමේදී ගෘහණිය විසින් අඟුරු කැබැල්ලක්, මල් සහ කාසි කිහිපයක් එකතු කර සෑදූ පොට්ටනියක් ළිඳට දමා නැවුම් වතුර කලයක් ළිඳෙන් පුරවා ගනී. ඊළඟට ගෙදර සියලුදෙනාම ගෙදර ගෘහ මූලිකයා සමඟ බුලතින් සහ මුදලින් ගනුදෙනු කිරීම සිදු කරයි. ආහාර අනුභවය සිදු කරන්නේ ඒ සියල්ල අවසානයේය.
නැකැත් චාරිත්‍ර අනුව තමාට හැකි පමණින් මේවා කරන්නට හැකි නම් ආර්ථික අර්බුදය හමුවේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද බරක් නොමැතිව, බරක් නොදැනී සමරන්නට හැකියාව ලැබෙනු ඇත.