ඇතැම් දේශපාලන නායකයින් හා මාධ්‍ය විසින් උසිගන්වනු ලබන ලාංකික ජනතාවගෙන් බොහෝ දෙනෙක් සිතන්නේ ඉන්දියාව හා චීනය පරම හතුරන් බවයි. ලෝක ජනගහනය දෙස බලතහොත් වැඩිම ජනතාව සිටින්නේ ඉන්දියාවේ හා චීනයේ යි. දෙරටේම පුරවැසියන් බිලියනය බැගින් සිටිති. මුළු ලෝක ඉතිහාසයේම රටක බිලියනයක් ජනතාව මීට පෙර ජීවත්ව නැත.
එපමණක් නොව මේ දෙරටම විදේශ ආධිපත්‍යයෙන් මිදුණු රටවල්ය. ඉන්දියාව දිගු කලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ප්‍රධාන යටත් විජිතය විය. බ්‍රිතාන්‍ය කිරීටයේ දීප්තිමත්ම මැණික වූයේ ඉන්දියාවය යන්න ඉංග්‍රීසි ප්‍රවාදයකි. අවුරුදු දෙසීයක් පමණ මුළුල්ලේ බ්‍රිතාන්‍ය විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණක් වූයේ ඔවුන්ගේ යටත් විජිත රැකගැනීමයි. එයින් ද ප්‍රධානතම ඉලක්කය වූයේ ඉන්දියාවයි. අධිරාජ්‍ය යුගයේ එංගලන්තයේ ආර්ථික දියුණුවේ පදනම වූයේ යටත් විජිතවල සම්පත් සූරා කෑමයි. අධිරාජ්‍යවාදී ක්‍රමය නොතැකූ කාල් මාර්ක්ස් විසින් මිනිස් සමාජය අනිවාර්යයෙන් ධන වාදයෙන් සමාජ වාදයටත්, සමාජවාදයෙන් කොමියුනිස්ට් සමාජයකටත් සංක්‍රමණය වන බවට අනාවැකි පළ කළේය. මේ අනවරතයෙන් පරිණාමය වන සමාජය පිළිබඳ මතය පිළිගත් බොහෝදෙනා එකී සුන්දර සිහිනය පසුපස හඹා යමින් තම ශ්‍රමය, ධනය හා ඇතැම් විට ජීවිත ද පූජා කළෝය. එහෙත් එය මිරිඟුවක් බව වර්තමානය අපට හෙළිකරයි. සෝවියට් දේශයේ නායකයෙක් වූ මිහෙල් ගෝර්බොචොප් සඳහන් කළ පරිදි “ඉතිහාසය විවෘතයි”. මාක්ස්ගේ අනාවැකියෙන් කියැවෙන පරිදි සමාජය පරිණාමය නොවන බවට පිළිගැනීමත් සමඟම සෝවියට් දේශය බිඳ වැටුණි. දැන් කවුරැත් එම මාක්ස් වාදී අනාවැකි අවිවාදයෙන් පිළිගන්නේ නැත.
සෝවියට් දේශය බිහි කළ ලෙනින්ද “විප්ලවය හා අධිරාජ්‍යවාදය” නමැති ග්‍රන්ථයෙන් මාක්ස් කියන පරිණාමය පහසුවෙන් සිදු නොවන බව පිළිගත්තේය. ඔහු කියා සිටියේ යටත් විජිතවල සම්පත් සූරා කෑම නිසා අධිරාජ්‍යවාදී රටවල් නව ජවයකින් ධනවාදය ඉදිරියට ගෙනයන බවයි. ස්ටාලින් ඊටත් එහා යමින් ලෝක විප්ලවය වෙනුවට එක රටක සමාජවාදය පිළිබඳ අදහස පෙරදැරි කරගෙන පංති අතර සහයෝගයෙන් පොදු පෙරමුණක් හැදිය යුතුයැයි තර්ක කළේය. මෙම තර්කය ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය දෙකඩ කළේය. බොහෝ කොමියුනිස්ට් පක්ෂ ස්ටාලින්ගේ මේ එළඹුම පිළිගෙන පොදු පෙරමුණු දේශපාලනයට ඇදී ගියෝය. තනිවූ සෝවියට් දේශයට හිට්ලර්ගේ ආක්‍රමණය පරාජය කිරීමට හැකි වූයේ පංති සමගිය නිසා බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. පංති සමගියට පදනම වූයේ මව්බිම පිළිබඳ ජාතිවාදී සංකල්පයයි. ට්‍රොට්ස්කිවාදීන් මේ තර්කය පිළිගත්තේ නැත. ඔවුන් බලාපොරොත්තු වූයේ ලෝක විප්ලවයක් තුළින් සෝවියට් දේශය රැකගැනීමටය. එහෙත් හිට්ලර්ගේ යුද බලය ඉදිරියේ මෙය හාස්‍යජනක මෙන්ම භයානක තර්කයක් බව සැලකූ යුරෝපීය කම්කරු පංතිය ට්‍රොට්ස්කිවාදය විහිළුවක් සේ බැහැර කළහ. අවසානයේ දී ට්‍රොට්ස්කිවාදීන් රටට කිසි බලපෑමක් කළ නොහැකි කුඩා කණ්ඩායමක් බවට පත්විය. මුළු ලෝකයේම ප්‍රබල ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම ලංකාවේ බිහි වූවා යැයි කීමෙන් එම මතවාදය ලෝකයේ කොතරම් සිනාවට ලක්වූවා දැයි අපට සිතාගත හැකිය.
බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් චීනය නතු කරගත්තේ ඉන්දීයාවෙන් ආනයනය කරන ලද අබිං මඟිනි. බොම්බාය වරාය හරහා අබිං පිරි නැව් චීනයේ නගරවලට යවන ලදි. එකී නගර අතුරින් ප්‍රධාන මර්මස්ථාන වූයේ ෂැංහයි හා චීනයේ දකුණු දිසාවේ පිහිටි කැන්ටන්ය. මුලින්ම අබිංවලට ඇබ්බැහි වූයේ චීන රජ පවුල හා රදළවරුන් මෙන්ම උසස් නිලධාරීන්ය. අබිං ආනයනයට විරුද්ධ වූ චීන නිලධාරීන්ට දඬුවම් පනවන ලදී. අමිතාබ් ගෝෂ් නමැති නවකතාකරුවා විසින් චීන අබිං ජාවාරම මුල්කරගෙන වටිනා පොතක් ලියා තිබේ. “සී ඔෆ් පොපීස්” නමැති එම නවකතාව සාහිත්‍ය තෑගි කීපයක්ම දිනා ගත්තේය.
අධිරාජ්‍යවාදයෙන් නිදහස් වූ ඉන්දියාව හා චීනය මුල් යුගයේදී ගජ මිතුරෝ වූහ. ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරැ රතු චීනය ලෝක වේදිකාවට ගෙන ඒමට මහත් වෑයමක් දැරීය. නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ බීජය වැපුරු බැන්ඩුන් සමුළුවට ශ්‍රී නේරු චීන අගමැති චු එන් ලායිව කැඳවාගෙන ගියේය. බැන්ඩුන් සම්මේලනය හැටවෙනි සමරැ උත්සවය 2015 දී ඉන්දුනීසියාවේ පවත්වන ලදී. ලක් රජය නියෝජනය කරමින් මම එම සම්මේලනයට සහභාගී වූවෙමි. 1955 දී ආසියානු නායකයින් බැන්ඩුන්වල තමන් නවාතැන්ගත් හෝටලයේ සිට සම්මේලන ශාලාව වෙත පයින්ම ගමන් කළෝය. එය අනුගමනය කරමින් අපි බැන්ඩුන් ජනතාව අතුරින් සම්මන්ත්‍රණ ශාලාවට පාද යාත්‍රා කළෙමු. බැන්ඩුන් නගරය පුරා නේරු, චු එන් ලායි, සුකර්නෝ හා සර් ජෝන් කොතලාවලගේ ඡායාරූප එල්ලා තිබුණි. එදින පැවති රාත්‍රි යෝජනා සංග්‍රහයක දී සුකර්නෝගේ දුව මට හමු විය.
ඉන්දියාව හා චීනය අතර මිත්‍රත්වය තරමක් දුරට පලුදු වූයේ ඔවුන් අතරවූ මායිම් ප්‍රශ්නයක් නිසාය. දෛවයේ සරදමක් වශයෙන් සැලකිය හැක්කේ එම මායිම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන් විසින් නිර්මාණය කරන ලද ඒවා වීමයි. හිමචල් ප්‍රදේශය යනුවෙන් හඳුන්වන ලද ඉන්දියාවේ උතුරුකරය මායිම් කරන්නේ චීනයට, පාකිස්ථානයට හා තිබ්බතයටය. රැඩ්ක්ලිෆ් නමැති ඉංග්‍රීසි මිනුම්දෝරැකරැවෙක් විසින් අඳින ලද රේඛා අනුව උතුරු කඳුකරයේ මායිම් නියම කර ඇත. මේ මායිම් ගැන නැවත සලකා බලා තර්කානුකූලව එම හිමකතර බෙදාගත යුතු යැයි චීනය කරන ලද යෝජනාවට ජවහර්ලාල් නේරු විරුද්ධ විය. දැනුත් ඉන්දියාව නේරුගේ අදහස වෙනස් කිරීමට සූදානම් නැත. ඊට ප්‍රධාන හේතුව කාශ්මීරය ඇතුළු උතුරුකරය නැවතත් බෙදුනහොත් ඉන්දියාවට අවාසි වන්නේ යැයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන නිසයි. ජාතිවාදී පදනම මත බලය ගත් මෝඩි අගමැතිතුමා එම විදේශ ප්‍රතිපත්තිය කිසිසේත් වෙනස් කරති යැයි සිතිය නොහැකිය. පසුගියදා චීනය විසින් කරළියට ගෙන එන ලද “සේද මාවත” නමැති සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දියාව විසින් වර්ජනය කරන ලදී.
මෙවැනි මත ගැටුම් තිබුණද චිනය හා ඉන්දියාව සදාතනික හතුරන් යැයි කල්පනා කළ නොහැකිය. ඒ ජනාකීර්ණ රටවල් දෙක තුළම අවධානය යොමු වන්නේ ආර්ථික සංවර්ධනය කෙරෙහිය. අතිවිශාල ජනගහනයකට සෑහෙන ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීම ලේසි පහසු කාර්යයක් නොවේ. ඒ අතින් දෙරටම ප්‍රශස්ත ආර්ථික දියුණුවක් ලබා ඇත. විචාරකයින් කියන්නේ චීනය දැනට ලබාගෙන ඇති වර්ධනය අභිබවා යෑමට ඉන්දියාවට හැකි වන බවයි. මේ රටවල් දෙකම අපේ මිත්‍ර රටවල් වීම ලංකාවට විශාල වාසියකි. දෙරටම සංවාදයක යෙදෙන්නේ නම් ලංකාව එයට අනුබල දෙන බව ඔවුන් දනී. අප රටට උදා වී ඇති මේ මහඟු අවස්ථාව නූගත් අන්තවාදීන් විසින් කඩාකප්පල් කිරීමට ඉඩදිය යුතු නැත.