2018 ජුනි 30 වන සෙනසුරාදා

කපටි වෙළෙන්දාට පාඩමක්

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

බරණැස් නුවර බඹදත් රජතුමාට යහපත් යුක්තිගරුක ඇමැතියෙක් උන්නා. මේ ඇමැතිතුමා තමයි අධිකරණනායකතුමා වුණේ. එතුමා සාධාරණව නඩු විසඳුවා. එබැවින් රටවැසියන් අතර එතුමා ජනාදරයට පත්වුණා.

එකල බරණැස හිටියා කපටි කෛරාටික වෙළෙන්දෙක්. ඔහුගේ මිතුරු වෙළෙන්දෙක් උන්නා බරණැස් නුවරට ටිකක් දුරින් පිටිසර ගමක. මේ පිටිසර වෙළෙන්දා යකඩ පොදු පන්සියයක් ගෙනත් බරණැස වෙළෙන්දාට දුන්නා විකුණලා දෙන්න කියා. ඔහුත් එය බාරගත්තා. පිටිසර වෙළෙන්දා යන්න ගියා. ටික කලක් ගතවුණා. ඒ වෙළෙන්දා ආවේ නෑ. බරණැස වෙළෙන්දා යකඩ පොලු වික්කා. ඒ මුදල් මිතුරු වෙළෙන්දාට දෙන්න ලෝභ වුණා. එය නොදෙන්න උපායක් කල්පනා කළා.

ඔහුට අදහසක් ආවා. යකඩ පොලු තබා තිබුණ තැන මී බෙටි ගෙනත් දැම්මා. වගට වගක් නැතිව උන්නා. මේ අතර හිටිහැටියේ පිටිසර වෙළෙන්දා බරණැසට ආවා. කපටි වෙළෙන්දා හමුවුණා. සුහදව ආගිය තොරතුරු කතා කළා. ටික වෙලාවක් ගත වුණා. පිටිසර වෙළෙන්දා කොහොමද යකඩ පොලු වික්කාද ඇසුවා.

මිතුර විශ්වාස කරන්න බැරි වැඩක්නේ වුණේ.

ඒ කුමක්ද?

යකඩ පොලු ටික මීයෝ කාලනේ. එන්නකෝ පෙන්නන්න කියා කැඳවා ගෙනගිහින් මී බෙටි ඇති තැන පෙන්නුවා.
පිටිසර වෙළෙන්දා නිහඬව කල්පනා කළා. ඔහුට තේරුණා බරණැස වෙළෙන්දාගේ කපටිකම. හා කමක් නෑ. වුණ දේට මක්කරන්ද? කිව්වා. සද්ද නැතිව ඇවිදින් බරණැස වෙළෙන්දා දුන් අසුනක ඉඳගත්තා. 

ඈ මිතුර ඔක්කොම යකඩ පොලු මීයෝ කෑව හැටිනේද? මගේ වෙලාව තමයි ඔහු කිව්වා. 

ඒකනේන්නම් මටත් මේ වැඩ අස්සේ ඒවා ගැන සොයාබලන්න බැරි වුණා. පස්සේ මතක්වෙලා ගිහින් බැලුවාම උන් කෑල්ලක්වත් ඉතිරි කරලා නෑ. සේරම කාලා ඉවර කරලා.

කමක් නෑ. කියා පිටිසර වෙළෙන්දා වටපිට බලන විට බරණැස වෙළෙන්දාගේ පුතා දැක්කා. ඔහුත් එක්ක පිටිසර වෙළෙන්දා හිනා වුණා. ඒ දරුවත් සුහදව හිනා වුණා.

මිතුර හරියට රස්නෙයිනේ. මට දිය නාන්න ක්‍රමයක් නැද්ද?

අපොයි පුළුවන් ඔය නානතොටුපළ තියෙන්නේ.

කොයි හරියේද තියෙන්නේ.

ඔය ඔතනින් එහෙට ගියාම තොටුපළනේ.

මිතුර මම මේ පළාත ගැන දන්නේ නෑනේ. මේ දරුවට කියන්නකෝ මාත් එක්ක ඇවිත් තොටුපළ පෙන්වන්න.
පුතේ ඔය මාමා එක්ක ගිහින් නානතොටුපළ පෙන්වන්න. බරණැස වෙළෙන්දා කිව්වා.

ඒ දරුවාත් පිටිසර වෙළෙන්දා සමඟ ගියා. අතරමඟදි ඔහු දරුවා පැහැරගෙන ගොස් දන්න හඳුනන ගෙදරක සැඟවූවා.

පසුව ඔහු නාන තොටුපළට ගියා හොඳට දිය නාගත්තා. ආපසු බරණැස වෙළෙන්දා හමුවට ආවා. අසුනක ඉඳගත්තා.

ඔබ දිය නෑවද?

ඔව් ඇතිවෙන්න නා ගත්තා.

කෝ මගේ දරුවා.

හරි වැඩක්නේ වුණේ.

ඒ මොකක්ද?

දරුවා උකුස්සෙක් ඩැහැගෙන ගියානේ.

බොරු කියන්න එපා. කෝ දරුවා.

බොරු නොවෙයි. මම තොටුපළට බැහැලා දිය නාන විට දරුවා උන්නේ ගොඩ. ඒ අතර උකුස්සා වහා ඇවිත් එකපාරම දරුවා ඩැහැගත්තා. මම අත්පුඩි ගහලා කෑ ගසුවා. කොහේද ඒ උකුස්සා මහ දරුණු එකෙක් ළමයා අතහැරියේම නෑනේ.
මිතුර ඔබ මට විහිළු කරනවාද? එපමණ ලොකු දරුවෙක් කොහොමද උකුස්සෙක් ගෙනියන්නේ මේ බොරු එපා මගේ දරුවට වුණුදේ කියන්න.

මේ ඇත්ත කියන්න. කෝ මගේ දරුවා.

අනේ ඉතින් මම ඇත්ත තමයි කිව්වේ. මට හරි දුකයි. දරුවා උකුස්සා අරන් ගියා.

බරණැස වෙළෙන්දා දැඩි සංවේගයට පත්වුණා. බොරු නොකර මගේ දරුවා ගෙනත් දෙන්න. කියා ඉල්ලා හිටියා.
පිටිසර වෙළෙන්දා උකුස්සා ගෙනගිය වගම කිව්වා.

ඔබ කියන බොරු මම යනවා අධිකරණනායකතුමා ළඟට ගිහින් දරුවා ඔබ අරන් ගිය වගට පැමිණිලි කරනවා. බරණැස් වෙළෙන්දා කිව්වා.

ඉතින් යමු. මාත් වෙච්චදේ කියනවා. කිව්වා දෙන්නම අධිකරණනායකතුමා වෙත ගියා. බරණැස වෙළෙන්දා පැමිණිල්ල කළා. අධිකරණනායකතුමා පුදුම වුණා. පිටිසර වෙළෙන්දා දෙසට හැරුණා.

ඔබ මේ කියන දේ සත්‍ය බවද කියන්නේ. ඔපමණ ලොකු ළමයෙක් කොහොමද උකුස්සෙක් ගෙනියන්නේ.
ස්වාමීනි! යකඩ පොලු පන්සීයයක් මීයන්ට කන්න පුළුවන් නම් උකුස්සකුට ඔච්චර ලොකු ළමයෙක් ගෙනියන්න බැරි ඇයි?

කුමක්ද ඒ යකඩ පොලු කතාව.

එවිට පිටිසර වෙළෙන්දා මීයන් යකඩ පොලු කාපු කතාව කිව්වා.

හරි හරි මට තේරෙනවා. මෙයා කළ කපටිකමට ඔබත් කපටිකමක් කළා නේද?

පිටිසර වෙළෙන්දා නිහඬ වුණා.

අධිකරණනායකතුමා බරණැස වෙළෙන්දාට ඔබ තමයි පළමුව වංචාව කර ඇත්තේ. වහාම මේ අයගේ යකඩ පොලුවල මුදල් ගෙවන්න ඕනෑ හරිද?

එසේය ස්වාමීනි!

එතුමා පිටිසර වෙළෙන්දාට නියෝග කළා දරැවා ගෙනත් බාරදෙන්න.

බරණැස වෙළෙන්දා පිටිසර වෙළෙන්දාට යකඩ පොලුවල මුදල් ගෙව්වා. පිටිසර වෙළෙන්දා ගෙනත් බාර දුන්නා.

කූටවාණිජ ජාතකය ඇසුරින්
♦ බී.පී.කේ. තිලක