2018 ජුලි 14 වන සෙනසුරාදා

දුරදිග නොහිතා විනාශ වූ කකුළුවා

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

හිමාල අඩවියේ විශාල විලක් තිබුණා. ඒ විල තුළ ලොකු කකුළුවෙක් උන්නා. ඌ හරිම දරුණුයි. මේ විල අවට ඇත් රංචුවක් වාසය කළා. උන්ට රජෙක් ද උන්නා. ඒ ඇත් රජා යහපත්. හොඳ පාලකයෙක්. සාධාරණ පාලනයක් ගෙනගියා.
මේ විලේ නෙළුම්, ඕලු සරුවට වැවී තිබුණා. ඒවායේ අල කන්න ඇතුන් විලට යනවා. උන් අල කා එනවිට කකුළුවා ඇතකුගේ කකුල කඩාගෙන කන්න පටන්ගත්තා. ඒ නිසා ඇතුන් කීපදෙනෙක් දුක් වේදනා විඳ මියගියා. ඒ දුටු ඇත් රජු ඇතුන්ට විලට යෑම තහනම් කළා. ඇතුන් එය පිළිගත්තා.

මේ අතර එක් ඇතින්නියක් ඇත් රජ නිසා ගැබ්බර වුණා. ඇත් රජ ඇතින්නට කිව්වා වනය ඇතුළට ගොස් ජීවත් වන්න. වනය තුළත් ඇත්තු හිටියා. ඇතින්න ඒ අණ පිළිගත්තා. වනය තුළ උන් අනෙක් ඇතුන් සමඟ මිතුරු වී ජීවත් වුණා. නිසි කල උදා වුණා. ඇතින්නට පැටියා ලැබුණා. ඌ හරිම ප්‍රියමනාප පැටියෙක්. ඒ ඇත් රංචුවේ කාගෙත් ආදර ගෞරව මේ දෙන්නාට ලැබුණා. ඒ නිසා ඇතින්න සිය පැටියත් අරන් විලබඩ ඇත් රංචුව වෙත ආවේ නෑ. වනගත ඇතුන් සමඟම හිටියා.

එසේ කාලය ගෙවී ගියා. ඇත් පැටියා ලොකු මහත් වුණා. හොඳ ලස්සන වුණා. දැවැන්තයෙක් වුණා. වනගත ඇත් රංචුවෙන්ම ඇතින්නියක් පාද පරිචාරිකාව කරගත්තා.

කාලය සුපුරුදු ලෙස ගෙවී ගියා. මේ ඇතා කලක් යනවිට සිය පියා ගැන මවු ඇතින්නගෙන් විමසන්න වුණා.

මවු ඇතින්න පියා ඇත් රංචුවක රජ කෙනෙක් කිව්වා.

“පියා තාම ඉන්නවද?”

“ඔව්”

“කොහේද?”

එවිට මවු ඇතින්නිය සියලු විස්තර කිව්වා.

“අපි එහි යමු.” ඇතා මවට යෝජනා කළා.

ඇතින්නට විලබඩට යන්න මනාපයක් තිබුණේ නෑ. ඒ හින්දා පස්සේ යමු යැයි කියා මඟහැරියා.

ඇතා තමන්ගේ අදහස අතහැරියේ නෑ. නිතරම මවට පියා දකින්න යමු යැයි කරදර කළා. බැරිම තැන මවු ඇතින්න ඊට එකඟ වුණා.

දවසක් දා මේ ඇතා මවු ඇතින්නයි, බිරිය කරගත් ඇතින්නයි සමඟ විලබඩට ආවා. පියා හමුවට ගියා. ඇත් රජු ඒ තිදෙනා ආදරයෙන් පිළිගත්තා. තොරතුරු කතාබහ කළා. මේ රංචුවේ නවතින්න කිව්වා. හැබැයි බැරිවෙලාවත් විලට බහින්න එපා යැයි නියෝග කළා.

“ඇයි ඒ පියාණෙනි?” ඇත් පුතා ඇසුවා.

එවිට කකුළුවා ගැන විස්තරය කිව්වා. ඒ කකුළුවා නිසා දැන් විලට කිසිම ඇතෙක් නොයන බවත් කිව්වා.

“පියාණෙනි ඒ කකුළුවා වනසා දමන්න මට අවසර දෙන්න.” පුතා ඉල්ලා සිටියා.

“ඔබ දන්නේ නෑ උගේ තරම. හරි දරුණු එකෙක්. ඒ කකුළුවා සපා කෑ ඇතුන් මියගිය හැටි දුටුවානම් ඔබ ඔය ඉල්ලීම කරන්නේ නෑ.”

“ඒ කෙසේද පියාණෙනි?”

“දැඩි වේදනා විඳලා. බලා ඉන්න තරම් බැරි ලෙසට.”

“එහෙමනම් පියාණෙනි ඒ කකුළුවා විනාශ කළ යුතුමයි. එය මට බාරදෙන්න.”

ඇත් රජු කිසිවක් කිව්වේ නෑ. එහෙත් පුතා කකුළුවා නසන්න අවසර නිතරම ඉල්ලුවා. එවිට ඇත් රජ “ඔබේ කැමැත්තක් කරගන්න” කිව්වා.

මේ තරුණ ඇතා රංචුවේ වැඩිහිටි ඇතුන් හමුවුණා. “මේ කකුළුවා ඇතුන්ගේ පා අල්ලන්නේ විලට බසින වේලේද? ගොදුරු කන වේලේද? විලෙන් ගොඩට එන වේලේද?” ඇසුවා.

“විලෙන් ගොඩට එන වෙලේ” යැයි උන් කිව්වා.

“එහෙමනම් අපි එකතු වෙලා කකුළුවා වනසා දමමුද?” ඇතා ඇසුවා.

ඒ වැඩිහිටි ඇත්තු ඊට කැමති වුණේ නෑ.

පසුව මේ එඩිතර ඇතා තරුණ ඇතුන් කීපදෙනකු හමුවුණා. කකුළුවා නසමුයැයි කිව්වා. උන් කැමති වුණා. ඊට පසු ඌ උන්ට කිව්වා අපි එක සැරේ විලට බහිමු. ඔබ පළමු කොට එන්න මම අන්තිමට එනවා. උන් එයත් පිළිගත්තා. ඒ අනුව ඇතුන් විලට බැස්සා. ගොදුරු කන්න වුණා. පසුව කතාකරගත් විලසට පළමු කොට අනෙක් ඇතුන් ගොඩට ආවා. අන්තිමට ඇත් රජුගේ පුතා එන්න හැදුවා. ඒත් එක්කම කකුළුවා උගේ පසුපස පාදයක් අල්ලා ගත්තා. ඇතා කකුල ඇද්දා. කකුල සොලවන්නවත් බැරිව ගියා. දැඩි වේදනාවක් ආවා. සිතේ තිබූ නිර්භීතකම පහව ගියා. බිය වුණා. ඇතා මහ හඬින් කෑ ගැසුවා. ඒ හඬට අනිත් ඇතුන් බිය වුණා. වසුරු, මුත්‍රා හළ හළා දිව්වා.

මේ ඇතාගේ බිරිය වූ ඇතින්න දිව්වේ නෑ. පුදුම වී බලා උන්නා. පසුව ඇතා ළඟට ආවා.

“ප්‍රිය සොඳුර මාගේ පසු පාදය කකුළුවා අල්ලාගෙන. ගලවාගන්න බෑ. දැඩි වේදනාවක් දෙනවා.” යැයි දුකින් කිව්වා.
ඒ අසා ඒ ඇතින්න කම්පාවට පත්වුණා. ස්වාමීනි! ඔබ හැර දා මම යන්නේ නෑ කියා කල්පනා කළා. ඇයට හිතුණා කකුළුවාට දුක කියා යාඥා කරන්න. ස්වාමියා ගලවා ගන්න.

මේ ඇතින්නිය කකුළුවාට ඇසෙන ලෙස රන්වන් ප්‍රසන්න රූ ඇති මහා බලසම්පන්න කකුළුවන්ට “නායක කර්කට රාජෝත්තමයාණන් වහන්ස! අනේ මාගේ ස්වාමියා වූ මේ හස්තියා අසරණයෙක් උතුමාණෙනි. එයා අතහරින්න. මගේ මේ ස්වාමියා නැතිව මට ජීවත් වෙන්න බෑ. අනේ එයාට ගොඩට එන්න දෙන්න.” කියමින් ඇතින්න දුක් අඳෝනා කිය කියා ඇඬුවා.

කකුළුවාට ඇගේ යාඥාව අසා දුක හිතුණා. තමන්ට වෙන හානිය නොහිතා ඇතාගේ පය අතහැරියා. ඒ සමගම ඇතා අනිත් පය කකුළුවාගේ පිට තැබුවා. වැරෙන් පෑගුවා. ඌ මැරෙනතුරු පාගාගෙන හිටියා. මැරුණු බව දැනගත්තා. ප්‍රීතියට පත් වුණා. කුංචනාද කළා. ඒ ඇසූ ඈතට දිව ගොස් සිටි ඇත්තු ආපසු විලට ආවා. මියගිය කකුළුවා ගොඩට ගත්තා. තිබුණු තරහට ඒ මැරුණු කකුළුවා සුණවිසුණු වෙනකම් පෑගුවා.

(කර්කටක ජාතකය ඇසුරින්)