2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

බිසවට රැවටුණු රාජ කුමාරයා

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 306

බරණැස බඹදත් රජතුමාට පුත්තු හත්දෙනෙක් උන්නා. වැඩිමහල් පුතා මහපදුම නමින් හැඳින්වූවා. ඒ කුමාරයෝ හත්දෙනාම පියරජතුමාට ලෙන්ගතුව හිටියා. රජතුමා කුමාරවරුන් තරුණ වියට පත්වූ විට රාජ්‍ය සේවයට බඳවාගත්තා. ඔවුන් එපුර වැසියන්ගේ සිත දිනාගෙන රාජකාරිය හොඳින් කළා.

රජතුමා දිනක් සීමැඳුරු කවුළුවෙන් මාර්ගය දෙස බලාසිටින විට පුත්තු හත්දෙනා ගරු ගාම්භීරව සේනා පිරිවරා රජගෙදර සේවයට එනවා දුටුවා. රජතුමාට සැකයක් ඇතිවුණා. ඒ තමාගෙන් රාජ්‍යය පුත්තු පැහැරගනියි කියා. රජතුමා පුත්තු හත්දෙනා කැඳෙව්වා. දරුවනි! මට ඔබ ‍කෙරේ සැකයි.

ඒ කුමක් නිසාද පියාණෙනි! කුමාරවරු ඇසුවා.

ඒ ගැන අහන්න එපා. ඔබ සියලුදෙනා මෙපුරෙන් වහා පිටවී යා යුතුයි. ගිහින් කොහේ හරි ජීවත් වී මා මළ පසු ඇවිත් රජකම බාරගනිල්ලා. දැන්ම මෙපුරෙන් පිටවී යන්න.

කුමාරවරුන් පියරජතුමාගෙන් වැඩි විස්තර අහන්න ගියේ නෑ. බිසෝවරුන් අරන් මඟට බැස්සා. යන මං ගැන නොදැන ගියා. වාලුකා කාන්තාරයට මේ අය වැටුණා. ඒ කතර මැදිනුත් ගියා. සෑහෙන දුරක් යනවිට සයින් සහ පිපාසයෙන් පීඩිත වුණා. තව ටික දිනක් එසේ ගමන් ගත්තා. බැරිම තැන ඔවුන් මඟ නතර වුණා.

කුමාරවරු හත්දෙනා පැත්තකට වුණා. මේ විලසට අපට කුසගින්නේ ඉන්නත් බෑ. යන්නත් බෑ. ඒ හින්දා බිසෝවරු මරාගෙන කා කුසගින්න නිවාගෙන කාන්තාරය තරණය කරමු කියා කතා කරගත්තා. ඒ අනුව බාල සහෝදරයාගේ බිසව පැත්තකට අඬගහගෙන ගොස් මැරුවා. මස් කපාගෙන ආවා. කොටස් දෙක දෙක හත්දෙනා අතර බෙදාගත්තා. මහපදුම කුමාරයා තමන්ට ලැබුණු මස් දෙකොටසින් එක කොටසක් බිසව සමඟ බෙදාගෙන කෑවා. ඉතිරි කොටස සඟවාගත්තා.

එසේ බිසෝවරුන් මරාගෙන කමින් ගමන් ගත්තා. එසේ දවස් හතක් ගෙවුණා. එදිනට මරන්න ඕනෑ පදුම කුමරුගේ බිසව. සහෝදරයෝ හයදෙනා කුමරු ළඟට ආවා. දැන් ඔබේ වාරයයි. බිසව මරන්න මස් කන්න කිව්වා.

මහපදුම කුමාරයා කිව්වා බිසව මරන්න ඕනේ නෑ. මෙන්න මස් කියා සඟවාගෙන සිටි මස් දුන්නා.
කුමාරවරුන් ඒ කොටස් අරගෙන ගියා.

මහපදුම කුමරු කල්පනා කරන්න වුණා. අද මස් කොටස් දී බේරුණත් හෙට නම් බිසව මරන්න වෙනවා. එසේ කරන්න මට බෑ. බිසව කෙසේ හෝ බේරාගත යුතුයි තීරණය කළා. එදින රාත්‍රියේ කුමාරවරු නිදාගත් පසුව බිසව ඇහැරවාගත්තා. කුමාරවරුන්ට හොරෙන් මහ රැයේ ගමන් ඇරැඹුවා. එලෙස සෑහෙන දුරක් යනවිට බිසව හොඳටම වෙහෙස වුණා. මට නම් තවත් යන්න බෑ. මහන්සියි. බිසව කිව්වා.

කුමරු ඇය කරේ තබාගත්තා. පිටත් වුණා. තවත් දුරක් යනවිට ඇය හොඳටම පිපාසිත වුණා. පැන් ඉල්ලා අඬා වැටුණා.
කුමරුට කරගත යුතු දෙයක් නැතිව ගියා. සිය උරය පලා බිසවට ලේ පෙව්වා. බොහෝම අමාරුවෙන් කුමරු බිසව කරේ තියන් කතර නිමා කළා. ගඟක් හමුවුණා. ගඟේ දිය බී නා විඩා හැරියා. ඒ ගඟෙන් එතෙර තිබුණේ කැලෑවක්. කුමරු බිසවත් අරන් ගඟ තරණය කළා. කැලෑවට වැදුණා. පලවැල සොයාගෙන කෑවා. පසුව ගඟ අසබඩ අසපුවක් හදාගත්තා. කාලය ගෙව්වා.

එම ගඟේ ඉස්මත්තේ නුවරක් තිබුණා. එහි රජ කෙනෙක් රාජ්‍ය කළා. එනුවර මහා දරුණු හොරෙක් උන්නා. රජතුමා ඔහු අල්ලා අත් පා නාසය කැප්පෙව්වා. පසුව ඔරුවක දමා ගඟේ පා කෙරෙව්වා. ඒ සොර ඔරුවට වී කෑගගහා පාවී ආවා. කෙසේ හෝ ඔරුව කුමරුගේ අසපුව ළඟට ආවා. කුමරු සොරාගේ කෑගහන හඬට ගඟ දෙස බැලුවා. ඔරුව දුටුවා. ගඟට බැස අත් පා කොටා ගොඩට ගත්තා. බිසව කුමරුට කෑගැසුවා. කුමකටද ඔය කොටා ගත්තේ. නැති කරදරයක්නෙ ඔය. ගඟේ පාකර හරින්න කිව්වා.

කුමරු එය ඇසුවේ නෑ. මැස්සක් හැදුවා. එහි කොටා තැබුවා. වන ඔසු සොයා වෙදකම් කළා. ඒ අතර පලවැල සොයන්න වනයේ ඈත ගියා. ඒ දැන් තිදෙනකුගේ කුස පිරවිය යුතු නිසා.

මේ අතර හොඳ වෙද හෙදකම් නිසා කොටාගේ තුවාල සුව වුණා. එහෙත් ඔහුට කිසිවක් කරගන්න බැරි නිසා මැස්සට වී හිටියා. ටික දිනක් යනවිට බිසවට කොටා ගැන හිතක් ඇතිවුණා. කුමරු පලවැල නෙලන්න ගියවිට බිසව කොරා සමඟ ලෝකාස්වාදයේ යෙදුණා. ඉන් පසු ඇය කුමරු ගැන කලකිරුණා. කොටා සමඟ ජීවත් වෙන්න සිතුණා. කුමරු මරන්න තීරණය කළා. එක් දිනක් රාත්‍රියේ බිසව කෑගසාගෙන ඇහැරුණා. කුමරු බිය වී ඇයිදැයි ඇසුවා.

කුමරුනි! මම හීනෙන් බියවුණා.

ඒ කුමකටද?

මහා දරුණු යකෙක් මා මරන්න හැදුවා. මම හිතන්නේ මම වුණු බාරයක් ඉටුනොකළ නිසා වෙන්න ඇති.

කුමක්ද ඒ බාරය?

අප කතර ගෙවා එනවිට මම දැක්කා බොහෝ දුර සිටම ගඟ ළඟ තිබෙන පරුවතය. එවිට මම බාරයක් වුණා. අපට මේ රුදු කතර ඉක්මනට නිමකරන්න පිහිටවෙන්න. එවිට මම පිදිවිලි පුදා බාරය ඔප්පු කරන බවට.

හා... බිසව හෙටම අපි බාරය ඔප්පු කරමු. දැන් නිදාගන්න කුමරු කිව්වා. පසු දා කුමරු පළතුරු වට්ටියක් ගෙන බිසව සමඟින් පර්වතය නැග්ගා. ඒ පරුවතයේ මුදුන පටුයි. බිසව කුමරැට කිව්වා ඔය පූජාවට්ටිය ගෙන තෙවරක් මා වටේ කැරකෙන්න. 

එය පිළිගත් කුමරු දෙවරක් කැරකුණා. තුන්වැනි වර කැරකෙන විට බිසව කුමරු තල්ලු කළා. කුමරු ප්‍රපාතයට වැටුණා.
වාසනාවකට වගේ වැටුණේ දිඹුල් ගසක් උඩට. ඒ ගස විශාලයි. එයින් බහින්න අමාරුයි. කුමරු ගහ උඩට වෙලා කල්පනා කර කර හිටියා. මේ ගහට දිඹුල් කන්න විශාල ගොයෙක් ආවා. ඌ කුමරු දැක බියේ ගියා. දෙවැනි දවසෙත් ආවා. බයෙන් වගේ ඈතට වෙලා දිඹුල් කෑවා. එසේ හත් දවසක් ආවා. ඌ කුමරුට බිය නැතිව ගියා. කුමරුත් ඒ දවස් හතේම දිඹුල් කා කුසගිනි නිවාගත්තා. ගොයා කුමරුගෙන් ඇසුවා ගහ උඩ කුමක්ද කරන්නේ කියා. මට මේ ගසින් බහින්න බැරිව ඉන්නේ. කුමරු කිව්වා. මම ඔබ බස්සවන්නම්. මගේ ඇඟ අල්ලාගෙන ඉන්න කිව්වා. ඒ ගොයා කුමරු බැස්සවූවා. කුමරු ගහෙන් බැස මඟතොට ගෙවා බරණැසට ආවා. ඒ වන විට පියරජතුමා මියගිහින්. ඇමැතිවරු කුමරු රජකමට පත් කළා. ඒ මහපදුම කුමාරයා රජවුණු පසු දුගී මගී යාචකයන්ට දන්සලක් පටන් ගත්තා.

මහපදුම රජතුමා දිනක් දන්සල බලන්න ආවා. එතකොට බිසව කොටත් එක්ක දන්සලේ හිටියා. රජතුමා ඔවුන් හඳුනාගත්තා. ඒ දෙන්නා රජතුමා හඳුනාගත්තේ නෑ. ඔවුන් හිතා හිටියේ ප්‍රපාතයෙන් වැටී රජතුමා මියගිහින් කියා. රජතුමා බිසවගෙන් ඇසුවා මේ කවුද කියා. මේ මා සරණ ගිය සැමියා කියා ඇය කිව්වා. තොප ඔය කියන්නේ ඇත්තද? රජතුමා ඇසුවා. ඔව් සත්‍යයයි බිසව කිව්වා. රජතුමා කෝප වුණා. තී මුසා දොඩවනවා. තිගේ පියා අසවල් රජතුමා. මව අසවලා. තී සරණ ගියේ මහපදුම කුමාරයා සමඟ. ඒ කුමාරයා මමයි. තී මා ප්‍රපාතයෙන් තල්ලු කළාම මැරුණා කියා හිතුවද? මම මැරුණේ නෑ. කිව්වා. 

රාජපුරුෂයන් කැඳෙව්වා. මේ ස්ත්‍රියගේ අත් පා නාස කපන්න යැයි අණ කළා. ඈ අහිංසකව රජතුමා දෙස බැලුවා. රජතුමාට හිතුණා නිකම් පව් පුරවාගන්නේ කුමකට කියා. එසේ කරන්න එපා. මොවුන් එළවා දමන්න කිව්වා.

චුල්ල පදුම ජාතකයෙන්
බී.පී.කේ. තිලක

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00