2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

යහපත් බවට පත් නපුරු සිටු දුව

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 238

ධනංජය සිටුතුමාගේ දුව විශාකා මහ උපාසිකාවයි එතුමියගේ දුව සුජාතායි. මේ සුජාතා සිටුදුව පරැෂයි. ඇය සරණපාවා ගත්තේ අනේපිඬුසිටුතුමාගේ පුතා. ඇය එම සිටු ගෙදරට ගිය දිනේ සිට සැමියා එක්ක මෙන්ම දැසිදස්සන් සමඟ සුළු දේකටත් කෑකෝ ගැසුවා. රණ්ඩු වුණා. මේ නිසා අනේපිඬු සිටුතුමා කනස්සල්ලෙන් උන්නා.

බුදුරජාණන්වහන්සේ දිනක් දනකට අනේපිඬු සිටුපායට වැඩියා. දන් පිළිගෙන අවසානයේ සිටුතුමා සමඟ කතාබහේ යෙදුණා. ඒ අතර සුජාතා සිය දාසියක් සමඟ කළ කෝලාහලයක් ඇති කරගත්තා. මහහයියෙන් බැණවැදුණා.

සිටාණෙනි! ඒ කිමෙක්ද? බුදුන්වහන්සේ විමසුවා.

ස්වාමිනී! මගේ ගෙදර කලහකරගන්නා යේලියක් ඉන්නවා. ඇය නිතර සැමියා එක්ක මෙන්ම දාසියන් සමඟ රණ්ඩු කරනවා. ඒ හඬ ඇගේ

සිටුතුමනි! ඇය කැඳවාගෙන එන්න.

සිටුතුමා ඇය එක්ක ආවා.

ආ... මේ විශාකා උපාසිකාවගේ දුව නේද සුජාතා. බුදන්වහන්සේ වදාළා.

සුජාතා බුදුන්ට නමස්කාර කළා. පසෙකට වුණා.

සුජාතා ඔබ මහා උපාසිකාවගේ දුව වෙලා මේ කුමක්ද කරන්නේ. සැමියා සහ දැසිදස්සන් සමඟ කහලකරගන්නේ?
සුජාතා නිහඬ වුණා. මුවෙන් නොබැණ උන්නා. 

ඔබ දන්නවාද සැමියකුට අඹුවන් සත්දෙනෙක් ලැබෙන බව.

නැත ස්වාමීනි.

එසේ නම් අහගන්න.

යම් ස්ත්‍රියක්. සිය ස්වාමියාගේ නැදිමයිලන්ට සහ දැසිදස්සන්ට වද දී බැණ වැද වසයි නම් ඇය වධක භාර්යාවක් වෙනවා.

යම් ස්ත්‍රියක් සැමියා උපයා ගත් සම්පත් අනියමින් හිතෙන හිතෙන හැටියට වියදම් කරයිනම් විනාශ කරයි නම් ඈ චෞර භාර්යාවක් වෙනවා.

යම් ස්ත්‍රියක් සැමියා කියන කිසිවක් නොඅසා ඇයට ඕනෑ ඕනෑ හැටියට වසයිනම් ඈ අරිය භාර්යාවක් වෙනවා.
යම් ස්ත්‍රියක් සිය ස්වාමියාට කැවිලි පෙවිලි හදාදී මවක් පුතකුට සලකන්නා මෙන් සලකයි නම් ඈ මාතෘ භාර්යාවක් වෙනවා.

යම් ස්ත්‍රියක් සිය ස්වාමියාට ලජ්ජා භය ඇතිව නැගනියක් මෙන් සලකයි නම් ඈ භගනි භාර්යාවක් වෙනවා.

යම් ස්ත්‍රියක් සිය සැමියාගේ ධනධාන්‍ය රකිමින් නැදිමයිලන්ට උවැටැන් කරමින් ස්වාමියාගේ කර්මාන්තවලට සහාය දෙමින් ඒවා දියුණු කරමින් වසයි නම් ඇය සඛි භාර්යා වෙනවා.

යම් ස්ත්‍රියක් සැමියා දෙන වද වේදනා විඳගෙන දුක්කම් කටොලු ඉවසා ගෙන සිටී නම් ඈ දාසි භාර්යාවක් වෙනවා.
තවදුරටත් උන්වහන්සේ මෙසේ විස්තර කළා. සුජාතාව පුරුෂයන්ට වධක භාර්යාවක්, චෝර භාර්යාවක්, අරිය භාර්යාවක් ලෙසින් ජීවත් වේ නම් ඔවුන් නරකාදීවල ඉපදී බොහෝ දුක් විඳිනවා.

යම් ස්ත්‍රියක් මාතෘ භාර්යාවක්, භගිනි භාර්යාවක්, සඛි භාර්යාවන්, දාසි භාර්යාව සිටී නම් ඔවුන් සදෙව් ලෝකවල ඉපිද බොහෝ සැපසම්පත් විඳිනවා.

ඉතින් සුජාතා ඔබ මේ උතුම් භාර්යාවන් සතර දෙනාගෙන් කොයි භාර්යාවගේ ගුණයෙන් වාසය කරන්න හුරුපුරුදු වෙනවාද?

ස්වාමීනි! මගේ සැමියාට දාසි භාර්යාව ලෙස වාසය කරන්න තීරණය කළා. සුජාතා කිව්වා.

බොහෝම හොඳයි සුජාතා. මව්පියන්ගේ ගෞරවය රැකගෙන ජීවත් වෙන්න. බුදුන් වදාළා. පසුව ජේතවන විහාරයට වැඩිම කළා.

බුදුන් වහන්සේ සුජාතාව යහපත් මාර්ගයට ගැනීම ගැන භික්ෂූන් දැනගත්තා. ඒ ගැන දම්සබා මණ්ඩපයට රැස්වී උන්වහන්සේලා සාකච්ඡා කරමින් උන්නා. ඒ ස්ථානයට බුදුන් වහන්සේ වැඩම කළා.

මහණෙනි! ඔබ සඳහන් කරමින් කතාබහ කළ සුජාතා පූර්වේත් ඔය ලෙසට ජිවත් වුණා. කියමින් අතීත කථාව වදාළා.
පෙරකල බරණැස යහපත් බඹදත් රජ කෙනෙක් උන්නා. එතුමාට නැණවත් දැහැමි පුතෙක් හිටියා. පිය රජතුමාගේ ඇවෑමෙන් පුත්කුමරු රජ වුණා.

ඒ බඹදත් රජතුමාගේ මව්බිසව ඉක්මනින් කෝපගැන් වෙනවා. රජගෙදර සියල්ලන් එක්කම බැණ ගන්නවා. රණ්ඩු කරනවා. මෙය රජතුමාට මහත් කරදරයක් වුණා. කෙසේ මවගේ ක්ෂණිකව ඇතිවන කෝප ගතිය දුරු කරන්නද කියා කල්පනා කළා. එතුමියට මෙය අවබෝධ කරදෙන්න යම් කාරණයක් දැක විනා නිකන් පැවැසීමෙන් පලක් නොවන බවත් රජතුමාට වැටැහුණා. ඉවසා ගෙන උන්නා.

රජතුමා දිනක් පිරවර සමඟින් උයන් කෙළියට යන්න සූදානම් වුණා. මව්බිසවත් ඊට සහභාගී වුණා. ගමන පිටත් වුණා. උයන් කෙළිය පටන් ගත්තා.

ඒ වෙලාවේ එක් කෑරලෙක් උයනේ ළඟම ගහක ඉඳ හඩ නැගුවා. ඒ අසා පිරිවර සේනාවේ බොහෝ දෙනෙක් දෙකන් වසා ගත්තා. මහා අවලක්ෂණ පක්ෂියෙක් කිව්වා. පිළිකුල් කළා.

උයනේ මේ පිරිවර සේනා සමඟ රජතුමා තව ටිකදුරක් යන විට කෙවිල්ලක් නාද කළා. ඒ ඇසූ පිරිවර සේනා සතුටු වුණා. යහපත් ශබ්දයක් කිව්වා. 

ඒ අතර මෑණියන්ට කෝපයෙන් කෑ ගසන සිරිත ගැන කියන්න මේ හොඳ අවස්ථාව බව සිතුවා.

අම්මේ. මේ පිරිවර නපුරු ශබ්දය අසා අප්‍රිය කළා හැටි දුටුවාද? එසේම යහපත් පක්ෂියා නැගූ ශබ්දය අසා සියල්ලෝම ප්‍රිති වුණු හැටි දුටුවාද? එබැවින් අම්මේ නිතර පරුෂ බස් කීම අතහැර මධුර බස් කියන්න පුරුදු වන්න. එවිට හැමෝම ඔබට ආදරය කරනවා. ගරු කරනවා. රජතුමා කිව්වා.

මව්බිසව එවදන් හිටත ගත්තා. තද පරුෂකම් අත්හැරියා. යහපත් මව්බිසවක් වුණා. ඒ බිසව තමායි අද සුජාතා. 

(සුජාතා ජාතකය ඇසුරින්)