මැදමුලන අවමඟුල පිළිබඳ කතාබහ අවසන් වූවා පමණි. අලුත්ම කතාව, අරලියගහ මන්දිරයේ මඟුල් කෑම ගැනය.
අපට නම් ඔය කාගේවත් මඟුලකින් ඇති මඟුලක් නැත. ඇත්තෝ කති. බොති. සුඛ විහරණ ලබති. නැත්තෝ ඒවාට විරවති* යනු අප අසා තිබෙන කියමනකි. මේ රටේ ඇතැම් මනාල ජෝඩු, ලක්ෂ ගණන් ණය වී මඟුල් කා, මාස ගණන් හූල්ලති. තවත් සමහරු මිලියන ගණන් වියදම් කරමින්, මහාරාජා ලෙවල් එකේ මංගල්‍ය උත්සව පවත්වති.
මේ රටේ මඟුල්වලින්ද පැහැදිලි වන්නේ, සමාජය තුළ පැහැදිලිවම අන්ත දෙකක් ඇති බවය. එක් අන්තයක ධනවත් දේශපාලනඥයෝ සහ ව්‍යාපාරිකයෝය. අනෙක් අන්තයේ අන්ත අසරණ ජනතාවය.
අරලියගහ මන්දිරයේ මඟුල් උත්සව ශාලාව, පිනට දෙන ප්‍රජාශාලාවක් නොවේ. එය මුදල් ගෙවා ලබාගත යුතු තැනකි. එසේ උපයන මුදලින්, ශාලාවේ වියපැහැදම් පියවාගන්නා බවද අදාළ උදවිය පවසා ඇත. ශාලාව මකුළුදැල් බැඳෙනතුරු වසා තිබෙනවාට වඩා, එබඳු වැඩකට යෙදවීමේ වරදක්ද නැත. එහෙත් මෙතනදී සිදුවූ වරද වන්නේ, රටේ වෙසෙන අවිවාහක තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ටෙම්පල් ට්‍රීස් වෙඩින් එකක් ගැන සිහින මැවීමට පටන් ගැනීමය.
මෙය දැනගත් විට ඔවුන්ගේ අසරණ දෙමව්පියන්ගේ ඇඟ කිළිපොලා යයි. රුධිර පීඩනය, සීනි හා කොලස්ටරෝල් වැඩිවෙයි. එතැන් සිට දුවගේ හෝ පුතාගේ මංගල්ලය කෙරී නිමවනතුරු ඔවුන් ගත කරන්නේ බියකරැ ජීවිතයකි. ඉන් පසුද &නිවනක්* නැත. ජීවිත කාලය පුරා හරිහම්බ කරගත් සබ්බ සන්තකේ නැතුව ගිය බැවින්, ඉදිරි කාලය බොහෝ දුක සේ ගතකළ යුතුය. (එහෙත් මේ කිසිවක් රාජ රාජ මහාමාත්‍යාදීන්ට අදාළ නැත)
බොහෝවිට, මිනිසෙකු කසාද බඳින්නේ එක් වරකි. ඒ නිසා, ඒ උත්සවය තමන්ට ඕනෑ විදිහට, තමන්ට ඕනෑ ආකාරයකට කරගත්තාට කාටවත් ඇති රුදාව මොකදැයි කිසිවෙකු අසන්නට ඉඩ ඇත. අප ද සිටින්නේ ඒ ස්ථාවරයෙහිමය. එහෙත් ඇතැම් මඟුල්වලට ගියවිට, මේ මොන මඟුලක්දැයි සිතෙන තරමට ඒවා විකාරරූපීය.
මෑතකදී මා සහභාගි වූ මඟුල් උත්සවයක මනාල යුවල ශාලාවට කැඳවාගෙන ආවේ, ස්කොට්ලන්තයේ මඟුලකදී මෙනි. කොට ගවුම් ඇඳගත් පිරිමි දෙදෙනෙක් බෑග් පයිප් නම් වූ සංගීත භාණ්ඩය වාදනය කරමින් යුවලට ඉදිරියෙන් ගමන් ගත්හ. ඒ හඬ ඈතට ඇසුණේ මොනරෙකු කෑගසන්නාක් මෙනි.
ඉන්පසු, සිවිලිමේ වදින තරම් උස කේක් එකක් කැපූ යුවල ඉතාම ප්‍රීතියෙන්, සුහද සිනා පාමින් අමුත්තන් අතර ගැවසෙන්නට වූයේ, මෙය ඔවුන්ගේ පළමු අත්දැකීම නොවන්නා සේය. ලජ්ජාවෙන් ඇඹරෙන මනාලියන්, දැන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. කල්තියා රිහර්සල් කර, ෆොටෝ ෂූට්ද පවත්වා ඇති බැවින්, ඔවුන් තුළ දක්නට ඇත්තේ නිදිමත පමණි.
සිරි ලංකාවේ හැම මඟුල් ගෙදරකදී මෙන්ම මෙහිදීද බෑන්ඩ් කරච්චලය ඇරුඹුණි. එතැන් සිට, කිසිවෙකුට කතා බැරිය. සංගීත සංදර්ශනයකදී මෙන් සින්දු අසා සිටිය යුතුය. ඇතැම්විට මනාලයා, මනාලිය පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියෝද වේදිකාවට නැඟ, ශ්‍රැතියෙන් තොර ගීත ඉදිරිපත් කරති. එහිදී, විවාහ මංගල්‍යය සික්ස්ටි ප්ලස් රියැලිටි ෂෝ එකක් බවට පත්වෙයි.
ඉන්පසු මත්පැන්ය. ශාලාව මහා ඝෝෂාවක් බවට පත්වන්නේ, අපේ උදවියගේ හැදියාව ප්‍රදර්ශනය කරමිනි.
සිංහල මඟුල් ගෙවල්වල ඉංග්‍රීසියෙන් කතා පැවැත්වීමද අලුත්ම පැටර්න් එකකි. මනාල යුවලත්, ඔවුන්ගේ ඥාති මිත්‍රාදීනුත් තමන් හා තම පවුල්වල අය සුද්දන්ටත් වඩා ඉංග්‍රීසි දන්නා බව පෙන්වීමට, කල්තියා සූදානම් කරගත් හෝ කටපාඩම් කරගත් කතා පවත්වති. මෙයද අපේ ජාතික හීනමානය පෙන්වන අවස්ථාවකි. (සිංහලයෙන් කතා කිරීම ඔවුනට මදිකමකි. එය කොදෙව් මානසිකත්වයට හොඳම නිදසුනකි)
කෑම මේසයට (බුෆේ) ගියවිටද, ඕනෑ එකයි, එපා එකයි සේරම පිඟානට කඳු ගසාගෙන, පෙර-අපර දෙදිගම මිශ්‍රකරගෙන අජූත කෑමක් කන හැටි පෙන්වීමට අපේ උන්ට ලජ්ජාවක් නැත. ලංකාවේදී තරම් කෑම නාස්ති කරන මඟුල් ලෝකයේ වෙන කොහේවත් නැතුවා විය යුතුය.
අපේ මංගල උත්සව ඇඳුම් පැළඳුම් ගැනද මම මීට පෙර කීපවතාවක්ම ලියා ඇත. සිංහල මඟුල් ගෙවල්වලදී, ලෝකයේ තිබෙන ඕනෑම ඇඳුම් විලාසිතාවක් දැකගත හැකිය. ඊට හේතුව, අපටම කියා මංගල්‍ය උත්සව ඇඳුමක් නොමැතිවීමය. උඩරට ප්‍රභූවරුන්ට පමණක් සීමාවී තිබූ මුළු ඇඳුම දැන් ජනප්‍රිය වී තිබීම නම් හොඳ ලකුණකි. මනාලයා පමණක් එය ඇඳ සිටියදී උත්සව ශාලාවේ සිටින්නෝ, රටේ නැති ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටිති. (පංජාබ්, කුර්තා, සාරි, ඔසරි, ටයි කෝට්, වේස් කෝට්, දිග සහ කොට ගවුම් යනාදී කී නොකී ඇඳුම් ඊට අයත්ය. නැත්තේ දේශපාලනඥයන්ගේ නිලඇඳුම බවට පත්වූ, ජාතික ඇඳුම පමණි!)
විවාහයකදී කෙරෙන ප්‍රධාන කටයුත්තක් වන්නේ, එය නිත්‍යානුකූලව ලියාපදිංචි කිරීමය. එහිදී මනාල යුවල, රෙජිස්ට්‍රාර්වරයා පවසන ප්‍රතිඥාව කියවමින්, ඊට එකඟවන බවට අත්සන් තැබිය යුතුය. එහෙත් කිසිවෙකුට තමන් එදා කියෙව්වේ හෝ ප්‍රතිඥා දුන්නේ මොනවාදැයි මතක හිටින්නේ නැත.
යුරෝපා රටක මනාලයෙක්, පල්ලියේදී බොරු පොරොන්දු දීමට මැලිවිය. කල්තියාම, ප්‍රධාන පියතුමා හමුවීමට ගිය ඔහු මෙසේ පැවසීය.
පියතුමනි, මඟුල් දවසෙදි ඔබතුමා ඉදිරියේ බොරැ පොරොන්දු දෙන්න මම කැමති නෑ. ඒ නිසා මනාලයාගේ ප්‍රතිඥාවෙන් වගන්ති දෙක තුනක් අයින් කරල කියන්න. මම ඔබතුමාට වැඩිපුර ඩොලර් සීයක් දෙන්නං.
මොනවද ඒ වගන්ති?
දිවිහිමියෙන් මගේ බිරිඳට පමණක් පෙම් කරමි. ඇය හා දරුමල්ලන් රුකබලාගනිමි... ඔන්න ඔය වගේ දේවල් අඩුකරල කියන්න.
මුදලට ආශාකළ ඒ පියතුමාද ඊට එකඟ විය. එහෙත්, මංගල්‍ය දිනයේදි පියතුමා පැවසුවේ අමුතුම ප්‍රතිඥාවකි. එහි මෙසේද සඳහන් කෙරුණි.
මම මගේ බිරිඳ හැර අන් කිසිදු ස්ත්‍රියක් දෙස රාගී සිතින් නොබලමි. සෑම උදෑසනකම ඇයට පෙර නැඟිට, කෝපි වත්කර ඇයටද පිළියෙළ කර දෙමි. බිරිඳට කරදර නොකර, කැන්ටිමෙන්ම කෑම කමි. සුරා සූදුව අත්හරිමි. සෑම මසකම වැටුප ඇය අතට ගෙනත් දෙමි.
මෙවැනි වගන්තිවලින් යුත් ප්‍රතිඥාව කියැවූ මනාලයාට, ඉහින් කනින් දහඩිය දැම්මේය. ඔහු පියතුමාට ළංව, මෙසේ ඇසීය.
පියතුමනි, මේ මොනවද කිව්වෙ?
මොනව කරන්නද? ඔයාගේ නෝනත් කලින් ඇවිත්, මට ඩොලර් දෙසීයක් දීල ගියානෙ.
පියතුමා සිනාසී කීවේය. පොරොන්දු පවා මුදලට යටය!
මෙවර හීසරය නිමාකිරීමට යද්දි පාර්ලිමේන්තුවේ වැඩට යන මගේ මිතුරෙකුගෙන් අලුත්ම ආරංචියක් ලැබුණි. අමතර ආදායමක් ලබාගන්නා අරමුණෙන්, පාර්ලිමේන්තුවේ ශාලාවක්ද මංගල්‍ය සහ අවමංගල්‍ය උත්සව සඳහා මහජනතාවට වෙන්කර දීමට යන බවය.
පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනක් ෆියුනරල් පාලර් එකක් වෙන එක නං හොඳ මදි නේද?
මම ඇසුවෙමි.
ජීවත්වෙන මිනිස්සුන්ට සේවයක් කරන්න බැරි එකේ, මළ මිනිස්සුන්ටවත් උදව්වක් කරන එකේ ඇති වැරැද්ද මොකක්ද?
මගේ මිතුරාගේ පිළිතුරෙන් මම නිහඬ වූයෙමි.
කපිල කුමාර කාලිංග