බරණැස එක් බඹදත් රජ කෙනකුට දරුවන් හිටියේ නෑ. අගබිසවට තබා අන්තඃපුර බිසෝවරුන්ටද දරුවන් ලැබුණේ නෑ. මේ ගැන රජතුමා පමණක් නොවේ රටවැසියෝද කම්පා වුණා. ඔවුන් රජගෙදර කුමන හෝ බිසවකට දරුවකු ලැබේවා යැයි ප්‍රාර්ථනා කළා. ඒ වෙනුවෙන් යාග හෝම කළා. එසේ කරන කල අගබිසව ගැබ්ගත්තා. වැසියෝ ප්‍රීතියට පත්වුණා.
කාලය ගෙවුණා. අගබිසව පුත් කුමරකු බිහිකළා. මේ කුමරු උපන් දවසේ නාවා කිරි මවක් අතට දුන්නා. කුමරු අඬන්න පටන් ගත්තා. තවත් කිරි මවක් වඩාගත්තා. ඒත් ඇඬීම නතරවුණේ නෑ. එසේ කිරි මව්වරුන් කිහිපදෙනෙක්ම වඩාගත්තා. කුමරු නොනවත්වා අඬන්න වුණා. පසුව මව්බිසව වඩාගත්තා. ඒත් ඇඬුවා. ඊටපස්සේ පුරුෂයෙක් වඩාගත්තා. කුමරුගේ ඇඬීම නතරවුණා. රජතුමා කුමරු රැකබලාගන්න පිරිමින්ට බාරකළා.
අගබිසව මේ ගැන කම්පා වුණා. කුමරුට කිරි දුන්නේ තිරයකට මුවාවෙලා. තනය මෑත්කොට කටේ තබාලයි.
එසේ සිදුවෙමින් කාලය ගෙවුණා. කුමරු තරුණ වියට පත්වුණා. එහෙත් ගැහැනු පෙන්නන්න බැරිව ගියා. රජතුමා කුමරුට වෙනම මාලිගයක් හදා දුන්නා. එහි සේවයට පිරිමින් පමණක් පත් කළා.
කුමරුට සොළොස් විය එළැඹුණා. එහෙත් ගැහැනු ගැන කිසිම හැඟීමක් නැතිවුණා. පෙන්නන්නම බැරිවුණා. රජතුමාට එය වද දෙන්නක් වුණා. කල්පනා කරන්න වුණා. මට ඉන්නේ එක පුතයි. ඒ පුතා මගෙන් පසු මෙපුර රජවෙන්න ඕනෑ. ඉතින් ඔහු කෙසේ රජ කරන්නද? රජෙක් නිතැතින්ම ස්ත්‍රීන් සමඟ පංචකාම අනුභව කරන්න ඕනෑ. මේ කුමරු එය කෙසේ කරන්නද? ස්ත්‍රීන් පෙන්වන්න බෑ. මේක මහ පුදුම දෙයක්. රාජ්‍ය පාලනය කෙසේ කරගෙන යන්නද? රජතුමාට හිතුණා. දැඩි ලෙස කම්පාවට පත්වුණා. එතුමා පමණක් නොවේ, රජගෙදර සියල්ලෝම ඒ ගැන කතාබහ කළා. එපුර වැසියෝද කුමරු ගැන දුකින් කතා කළා. රජතුමා ගැන ද ඔවුන් කම්පා වුණා.
මේ අතර එක් ස්ත්‍රියක් එපුරට ආවා. ඇය රූපත්. වීණාවක් වයා මිහිරි ලෙස ගීත ගැයුවා. ඇයට පුර වැසියන්ගෙන් කුමරු ගැන දැනගන්න ලැබුණා. රජතුමා ද කනගාටුවෙන් සිටින බවද දැනගත්තා.
මේ ස්ත්‍රිය රජතුමා හමුවට ගියා.
ඇයි ඔබ මා හමුවට ආවේ? රජතුමා ඇසුවා.
දේවයන් වහන්ස! ඔබතුමා කුමරු ගැන දුකින් නේද පසුවෙන්නේ.
ඔව්. එය මහා අවාසනාවක්. ඔහුට ගැහැනු දකින්න බෑ.
දේවයන් වහන්ස! කම්පාවන්න එපා.
ස්ත්‍රිය, කම්පා නොවී මම කුමක්ද කරන්නේ?
දේවයන් වහන්ස! මට අවසර දෙන්න. මම ගී කියා වීණා වයා කුමරු වසඟ කරගන්නම්.
ස්ත්‍රිය! මෙපුර යොවුන් රූපශ්‍රියෙන් යුත් ළඳුන් ඔහු වෙත ගියා. ඔහු ඔවුන් කෙළපිඩක් තරම්වත් ගණන් ගත්තේ නෑ. ඉතින් ඔබට පුළුවන් වෙයිද?
දේවයන් වහන්ස! ඔවුන් කොපමණ රුවැත්තියන් වූවත් ස්ත්‍රී මායම් දක්වා නෑ. මම මායම් මෙන්ම උපා දන්නවා. ඒ නිසා මට අවස්ථාවක් ලබාදෙන්න.
රජතුමා රාජපුරුෂයන් කැඳෙව්වා. මේ ස්ත්‍රිය කුමරුගේ මාලිගයට ගෙන යන්න. එහි ඉන්න සේවකයන්ට ඇයට ඕනෑ විලසට හැසිරෙන්න ඉඩදෙන්න අවසර දෙන්න කියන්න. රජතුමා කිව්වා.
රාජපුරුෂයෝ ඇය මාලිගයට කැඳවාගෙන ගියා.
එහි සේවකයන්ට රජතුමා කී දේවල් කිව්වා. ඔවුන් ඇය මාලිගයට ගත්තා.
මා කුමරුට පෙන්වන්න එපා. එසේම මම නොපෙනෙන දුර සිට ගී ගයා වීණාව වයනවා. එවිට කුමරු කියන දේ මට කියන්න. ඈ කිව්වා.
හොඳයි. රාජපුරුෂයෝ පිළිතුරු දුන්නා.
ස්ත්‍රිය දුර සිට ගී ගැයුවා. වීණාව වැයුවා.
කුමරු එය අසාගෙන හිටියා. කිසිවක් කීවේ නෑ.
දෙවැනි දවසෙත් ඇය ආවා. ගී ගයා වීණාව වයන්න පටන් ගත්තා.
ඒ ගී කියන තැනැත්තිය මගේ ගේ තුළට කැඳවාගෙන එන්න. කුමරු කිව්වා. රාජපුරුෂයෝ එසේ කළා. ස්ත්‍රිය අඟ පසඟ ප්‍රදර්ශනය කර ගී ගයා නටා වෙණ වැයුවා. කුමරු සරාගී වුණා. ඒ ස්ත්‍රිය සමඟ ලෝකස්වාද රතියේ යෙදුණා. කුමරු ඊට දැඩි සේ ලොබ වූවා. උමතු වූවා. මේ සැපත මට පමණක් සීමාවිය යුතු යැයි සිතුවා. කඩුවක් ගෙන වීදියට බැස්සා. දකින හමුවන ගැහැනු මිනිසුන්ට කොටන්න පටන් ගත්තා. ගතවූයේ සුළු වෙලාවයි. විශාල මිනිස් ඝාතනයක් කුමරු කළා. ඊට බියේ මිනිස්සු ගෙවල් දොරවල් හැරගියා. රජතුමා කලබල වුණා. රාජපුරුෂයන් ලවා කුමරු අල්වාගෙන ආවා. ස්ත්‍රියත් කැඳෙව්වා. ඇගෙන් රජතුමා විස්තර දැනගත්තා. දෙන්නම එපුරෙන් පිටමං කළා.
මේ දෙන්නා හිමාලය වනයට ගියා. ඔවුන්ට ඒ වනයේ ගඟක් හමුවුණා. ඒ ගඟ නුදුරින් සමුද්‍රය. එතැන නවතින්න හොඳ තැනක් බව ඔවුන්ට හිතුණා. එහි අසපුවක් හදාගෙන පදිංචි වුණා. කුමරු ස්ත්‍රියට දැඩි සේ ආදරය කළා. ඇය අසපුවේ නවතා වනයේ ඈත ගොස් පලවැල ගෙනාවා. ඒවා කා දෙන්නා ප්‍රීතියෙන් කල්ගත කළා.
මේ ගඟට එහා සමුද්‍රයේ දූපතක් තිබුණා. එහි ධ්‍යාන බලය ඇති තවුසෙක් උන්නා. ඔහු පලවැල සොයා අහසින් ආවා. එවිට දුමක් නගිනවා දැක්කා. ඔහු විමසිලිමත් වුණා. ඒ දුම අසපුවෙන් ආවේ. තවුසා බිමට බැස අසපුව වෙත ගියා. කතා කර පැන් බඳුනක් ඉල්ලුවා.
ස්ත්‍රිය ආවා. තවුසා අසපුව තුළට ගත්තා. පැන් දුන්නා. මායම් පා තවුසා රාගී කළා. ඔහුත් සමඟ අනාචාරේ හැසිරුණා. ඒ වන විට කුමරු පලවැල සොයා ගිහින් හිටියේ. ඒ පලවැල අරන් කුමරු ආවා. තවුසයි ස්ත්‍රියයි අසපුවේ. කුමරු කෝපවූවා. කඩුව ඇදගත්තා. තවුසා පැන දිව්වා. කුමරු ඔහු පසුපස පැන්නුවා. තවුසා බියේ සමුද්‍රය ළඟට ගියා. අහසට පැන්නා. ධ්‍යානය බිඳිලා බිම වැටුණා.
කුමරු කල්පනා කළා. මොහු ධ්‍යාන බලය තිබූ කෙනෙක්. ස්ත්‍රිය නිසා එය පිරිහිලා. කුමරුට දුක හිතුණා. කඩුව කොපුවේ දාගත්තා. තවුසා ළඟට ගියා. ඔබ ස්ත්‍රිය නිසා බලය නැතිකරගත්තා. ස්ත්‍රිය ලැව්ගින්නකි. අපි ඔවුන්ට මුලාවෙයි. ඔවුන් විශ්වාස නැත. සර්පයන් මෙනි. අවස්ථාව ආ විට දෂ්ට කරයි. කුමරු කිව්වා. ආපසු හැරුණා. අසපුවට ආවා. ස්ත්‍රිය සමඟ කෝප වූයේ නෑ. හොඳින් කතා කළා. අපි බරණැසට යමු කිව්වා. ඇයත් සමඟ ආවා. මඟදී ඔබ මට එපා. යන අතක යන්න කිව්වා. කුමරු තනියම බරණැසට ආවා.
(චූලපලෝභන ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක